ඉදිරි දින කීපයක ඇතුළත මැකො නම් ඉල්ලයි
ඊයේ සාකච්ඡාවට නොගිය හේතුව පොහොට්ටුවේ ලේකම් සාගර කියයි
දුරකථනයෙන්වත් මම සහභාගි වුණේ නෑ – දිලිත්
සජබ තවදුරටත් සාකච්ඡාවල
නායකත්ව කතාව නොකළ යුතුව තිබූ සඳහනක් – ගම්මන්පිල
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් පෙරේදා (14දා) පැවැත්වූ සාකච්ඡාවේ එකඟතා ඊයේ (15දා) වන විට අර්බුදයකට ලක්ව තිබිණි. එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහ ඒවායේ තනතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධව ඊයේ කැඳවා තිබූ දෙවැනි සාකච්ඡාව පක්ෂ නායකයන් වර්ජනය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (14දා) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට සහභාගි වූ නමුත් ඊයේ පක්ෂ මහ ලේකම්වරුන් සමග කැඳවා තිබූ සාකච්ඡාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.
කාරියවසම් මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
“අපි පක්ෂයක් හැටියට වෙනම ගමනක් යන පිරිසක්. සමගි ජන බලවේගයත් එහෙමයි. එම නිසා අපි අතර බලය පිහිටුවීමට සන්ධානගතවීමක් නැහැ. එම නිසා අපි එවැනි තැනකට ලඝුවීමේ සූදානමක් නැහැ. අපි බලය පිහිටුවීම සඳහා කටයුතු කරන්නේ ජනතාව ලබාදුන් වරම මත සිට. ජනතාව විසින් ජාතික ජන බලවේගයට බලය ලබාදුන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ඒ අයට ඇති අයිතියට අපි බලපෑම් කරන්නේ නැහැ. නමුත් බහුතර පළාත් පාලන ආයතනවල ආණ්ඩුවට විරුද්ධව දී ඇති ඡන්ද ප්‍රමාණය තමයි බහුතරය. ඒ කැමැත්ත ආණ්ඩුවට විරුද්ධ නිසා අපි ඒ අනුව කටයුතු කරනවා” යැයි කීය.
මේ අතර සර්ව ජනබලවේගයේ නායක දිලිත් ජයවීර මහතා පෙරේදා පැවති සාකච්ඡාවට දුරකථනයෙන් එක්වූ බවට එජාපය මාධ්‍ය නිවේදනයක් මගින් සඳහන් කර තිබුණ ද තමා එවැන්නකට සහභාගි නොවූ බව දිලිත් ජයවීර මහතා ඊයේ ප්‍රකාශ කර තිබිණි.
පෙරේදා පැවති සාකච්ඡාවෙන් පසුව එජාපය ප්‍රකාශ කර තිබුණේ එම බලය පිහිටුවීම පිළිබඳ සන්ධානගතවීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සිදුවනු ඇති බව ප්‍රකාශයට පත් කිරීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
“මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ අනවශ්‍ය කරුණක් ඉදිරියට දැමීම නිසා මෙම සාකච්ඡා පළුදුවීමක් සිදුව ඇති බවයි. ආණ්ඩුවක් පිහිටුවීමේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යභාරය වෙනම කරුණක් වුවත්, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඔහුගේ කාර්යභාරය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් විය හැකි බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂයක් හැටියට බලය පිහිටුවීමට කැමති බවත්, එය සිදුවිය යුත්තේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නම් වඩා උචිත වනු ඇති බවත්ය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් සෙසු පක්ෂවල නියෝජිතයන් සඳහන් කළේ තමන්ට හැකි අයුරින් සාකච්ඡා සඳහා සහභාගි වන බවයි.
මේ අතර පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන්ගේ තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී ඇත.
අදාළ තොරතුරු ලද වහාම පළාත් පාලන ආයතන අනුව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පළාත් පාලන ආයතනවලට සභිකයන් නම් කළ යුතු ආකාරය ඉකුත් සතියේදී මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇත.
මේ අතර බහුතර බලයක් ලැබූ ආයතනවලට සභාපති හෝ නගරාධිපති නම් කර එවන ලෙස ද පසුගියදා පක්ෂවලට කොමිසම දැනුම් දී තිබුණි.
රනිල් ධර්මසේන, සුජීව තත්සර, චමින්ද සිල්වා, අරුණ බෝගහවත්ත