අඟහරු මත ජීවය සොයන එක්සොමාර්ස් රෝවරයේ තාක්ෂණික ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්

2082

අඟහරු මත ජීවය සොයන එක්සොමාර්ස් රෝවරයේ තාක්ෂණික ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ඉන්ද්‍රජිත් මහිලාල් ද සිල්වා මහතාය.

අඟහරු ලෝකයේ ජීවය පිළිබඳව පර්යේෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන රොබෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන Exomars නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස ඔහු ක්‍රියා කරයි. ඔහුට පැවරී ඇති වගකීම වන්නේ, Exomars රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීමයි. “මම මේ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්මික ඉන්ජිනේරු ශිල්පියා විදිහට කටයුතු කරනවා. එක්සොමාර්ස් රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීම මට පැවරිලා තියෙනවා ” යැයි මහිලාල් ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

1976 වසරේ උපත ලැබූ මහිලාල්, පාසල් තුනකදී සිය ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය හැදෑරීය. පිළිවෙළින් එම පාසල් වූයේ, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි.

“මගේ පාසල් කාලය මගේ වෘත්තීය සහ අධ්‍යාපනික සාර්ථකත්වයේ පිළිබිඹුවක්. මම අධ්‍යාපනය ලැබුවා වගේම, 19 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු විදිහට කටයුතු කළා. මගේ අම්මායි තාත්තායි මේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපෑවා. ඔවුන් තමයි මට කියලා දුන්නේ ජීවිතයට දර්ශනයක් තියාගන්න අවශ්‍යයි කියන එක සහ තමන් ගැන විශ්වාස කරන්න කියන එක” මහිලාල් ද සිල්වා මතකය අවදි කළේය.

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වූයේ 1999 වසරේදීය. ලන්ඩන්හි කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු කාර්මික ඉන්ජිනේරු ශිල්පය සම්බන්ධයෙන් උපාධියක් ලබා ගෙන තිබේ. 2020 වසරේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කර තිබූ Exomars රෝවර් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ අඟහරු ග්‍රහයා මත ජීවය ඇත්දැයි පරීක්ෂා කිරීම ය. මෙය යුරෝපයෙන් අඟහරු වෙත යැවෙන පළමු රෝවරය වනු ඇත. එහෙත් රුසියානු යුක්‍රේන යුද්ධය නිසා මෙහි කටයුතු තරමක් අඩාළ වී තිබේ. Exomars රෝවරය අඟහරු මතුපිට පෘෂ්ටයේ මීටර් 2ක් පමණ ගැඹුරට හාරා පස් සාම්පල ගැනීමට නියමිත අතර, එම පාංශු සාම්පලවල ජීවීන් හෝ පොසිල බවට පත්වූ ක්ෂුද්‍රජීවීන් අඩංගු වේ ද යන්න පරීක්ෂා කිරීමට නියමිත බව බීබීසී සිංහල සේවය වාර්තා කර තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment