ලක්‍ෂ 50කට වැඩි පරිත්‍යාග ලැබුණා – රජයෙන් වෙන් කළ තඹ දොයිතුවක් එපා

313

පහසුකම් දෙන්න බැරිනම් රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කරන්න එපා
මිහින්තලා විහාරාධිපති හිමියෝ කියති

මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා මේ වන විට දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බවත්, රජයෙන් වෙන් කළ ලක්ෂ 31 න් තඹ දොයිතුවක්වත් අවශ්‍ය නැති බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහැර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩසටහන් සඳහා ඇස්තමේන්තුගත මුදල ලක්ෂ 225ක් වන බවත්, ඉතුරු ලක්ෂ 150 කට වැඩි මුදල කෙසේ හෝ සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බවත් උන්වහන්සේ පැවසූහ. මූල්‍ය කළමනාකරණය පිළිබඳව සිඟාලෝවාද සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කර ඇති බවත්, ආර්ථික ඝාතකයන් ලෙස හඳුන්වන පුද්ගලයන් විසින් මූල්‍ය කළමනාකරණය සංඝරත්නයට ඉගැන්විය යුතු නැති බවත් උන්වහන්සේ පැවසූහ.

ඊයේ මිහින්තලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

‘ඊයේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින්, විවිධ ජාතිකයන්, විවිධ ආගමිකයන් මිහින්තලාවේ පොසොන් උත්සවය සඳහා හැකි පමණින් දායකත්වය ලබා දී තිබෙනවා. ඒ අතර ආදිවාසීන්ද සිටිනවා. පිරිසක් දෙවුන්දර තුඩුවේ සිට චාරිකාවකින් එන්න සූදානම් වෙලා සිටිනවා. කැස්බෑවේ පදිංචි ආනන්ද මහතා ඔහුගේ පදනමින් චාරිකාවකින් පැමිණ පරිත්‍යාගයක් කිරීමට සූදානම්. විශේෂයෙන් මීගමුව හලාවත කතෝලික ප්‍රජාව දායකත්වය දක්වනවා. අපේ මේ මහා සංඝරත්නය අරහත් ධජය පැළඳගෙන ඉන්නේ, දානය වළඳන්නේ, මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළ නිසයි.

ආණ්ඩුව මාධ්‍ය නිවේදන නිකුත් කරනවා බෙලිඅත්තේ සිට අනුරාධපුරයට දුම්රිය සේවා දාලා තියෙනවා කියලා. අමතර බස් සේවාවන් රැසක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඇයි මේ ආණ්ඩුව රටේ මිනිස්සු අන්දන්නේ? එම ජනතාව එනකොට මිහින්තලේ රථගාල් දහයක් තියෙනවා. පොදු වැසිකිළි 100ක් තියෙනවා. ලියාපදිංචි දන්සල් 30කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ පොසොන් පහන් කූඩු දර්ශනයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය 1000ක් මුර සංචාරයේ යෙදෙනවා. මාර්ග බාධක රැසක් තිබෙනවා. කෝ මේවට විදුලිය?

විදුලිය ආලෝකය නොමැති වීම නිසා අනුරාධපුරයේ හෝ මිහින්තලාවේ කිසියම් හෝ අනතුරක් වුණොත් සම්පූර්ණයෙන් එහි වගකීම ආණ්ඩුව බාර ගත යුතුයි. පහසුකම් නොදී බස්රථවලින් දුම්රියෙන් මගීන් ගෙන්වාගෙන ඒවගෙනුත් සල්ලි හම්බ කරන්න හදන්නේ. මීට පස්සෙ උත්සවය රාජ්‍ය උත්සවයක් බවට ගැසට් කරන්න එපා. පහසුකම් ලබා දෙන්න නොහැකි නම් රාජ්‍ය උත්සව යනුවෙන් සඳහන් කරන්න එපා.”
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment