උසාවි අවසර නැතිව හරක්කටා එළියට ගෙනයන්න තහනම්

119

අභියාචනාධිකරණයෙන් සීඅයිඩීයට අතුරු තහනම් නියෝගයක්

ප්‍රබල අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා තම අධිකරණයේ අවසරයකින් තොරව මේ වන විට රඳවා සිටින ස්ථානයෙන් පිටතට ගෙනයෑම වළක්වමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසකට ඊයේ (17 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම අතුරු තහනම් නියෝගය ලබන 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සිය පුත්‍රයාව පරීක්‍ෂණ පවත්වන මුවාවෙන් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ සැලසුමක් ඇති බවත්, එකී ප්‍රයත්නය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment