ඔස්ට්‍රේලියාවේදි තල්මසුන් 51ක් මරුට

446

පෙරේදා (25දා) දිනයේ බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළක අතරමංවූ තල්මසුන් 51 දෙනෙකු හඳුනානොගත් හේතුවක් මත මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර අතරමං වී සිටි තවත් තල්මසුන් 46 දෙනෙකු ඔස්ට්‍රේලියානු වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ. බටහිර ඔස්ට්‍රේලියාවේ චෙයින්ස් වෙරළට ඇළුණු පොකුරක් සේ ගසාගෙන පැමිණ ඇති කුඩා ප්‍රමාණයේ නියමු වර්ගයට (පයිලට් වේල්ස්) අයත් තල්මසුන් පිරිසෙන් කොටසක් මෙසේ මිය ගොස් තිබේ. බේරාගන්නා ලද තල්මසුන් පිරිස වනජීවී නිලධාරීන් විසින් ඊයේ (26දා) දිනයේ නැවත මුහුදට මුදා හැරීමට නියමිතව තිබිණි.

මෙසේ අතරමං වී මියගිය තල්මසුන්ගේ මරණවලට හේතු වූ කරුණ තවමත් අභිරහසක්ව පවතින අතර වනජීවී විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ඔවුන් වෙරළට ගසා ගෙන ඒමට පෙර හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමේදී එම තල්මසුන් කිසියම් ආතතියකින් හෝ අසනීප තත්ත්වයකින් පෙළීම නිසා එම තත්ත්වයට පත් වන්නට ඇති බවයි. ඩොල්ෆින් පවුලට අයත් මෙම නියමු වර්ගයේ තල්මසුන් සමාජශීලි වන බවත් එක් අයෙකුට අපහසුතාවයක් ඇති වුවහොත් එම වර්ගයේ සෙසු තල්මසුන් පිරිස එකට එක් වන පුරුද්දක් පවතින බව අනාවරණය වී තිබේ. ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් තල්මසුන් 51 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා තිබේ. මේ හා සමාන වූ සිදුවීමක් ඉකුත් 16 වැනිදා බටහිර ස්කොට්ලන්තයෙන් වාර්තා වී තිබූ අතර ස්කොට්ලන්තයට අයත් ලුස් දූපතේ වෙරළකට ගසා ගෙන විත් තිබූ අතරමං වූ තල්මසුන් 55 දෙනෙකුගෙන් 45 දෙනෙකු අභිරහස් ලෙස මිය ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment