බාල පොහොර සොයන විමර්ශන සීරුවෙන් – ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව නියමිත ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ පොහොර මිටි 161 ක් විකිණීමට හෝ ප්‍රවාහනය කිරීම සඳහා ළඟ තබා ගත් ගිරාඳුරුකෝට්ටේ පොහොර වෙළෙඳසලකට අයත් ගබඩාවක් මුද්‍රා තැබීමට සමත් විය.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිරිපුර පොහොර වංචාවට සම්බන්ධ අයගේ ඥාතියකුට අයත් ගිරාඳුරුකෝට්ටේ නව නගරයේ අංක 12 ස්ථානයේ පවත්වාගෙන යන පොහොර වෙළෙඳසලකට අයත් ගබඩාවකි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර මහතා –
පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ බාල පොහොර වංචාව කළ අයගේ ජාලයේ තවත් එක් ස්ථානයක් අපි හඳුනා ගත්තා. මෙම පොහොර තොගයද, නියමිත ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ ඒවා බව බැලූ බැල්මට පෙනී යනවා. කෙසේ නමුත් අදාළ පොහොර සාම්පල් ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ පැමිණිල්ලකට අනුවයි අපි මේ වැටලීම සිදුකළේ. දින කිහිපයක්ම මෙම ස්ථානයට ආවත් මෙම ස්ථානය විවෘත කර තිබුණේ නෑ. එදින මීගහකිවුල, මහියංගණය යන නගරවලත් පොහොර වෙළෙඳසල් පරීක්ෂා කළා. ඒ මේ බාල වර්ගයේ පොහොර තිබෙනවා දැයි බලන්නයි. ඒ අතරේ එදින අපි හවස් වරුවේ ගිරාඳුරුකෝට්ටේ නගරයේ මුද්‍රා තැබූ වෙළෙඳසලට ආවා. එහි හිමිකරුවන් ඒ අවස්ථාවේදී වෙළෙඳසලේ සිටියා. මා ඇතුළු කණ්ඩායම වහාම ඔවුන්ගේ ගබඩාව පරීක්ෂා කළා. සැක සහිතව තිබූ පොහොර මිටි එකසිය හැට එකක් හමුවුණා. ඒවා අලෙවි කරන්නට හෝ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු ඒවා. ඒවායේ නිදර්ශක (සාම්පල්) අපි ලබා ගත්තා. ඔබට මතක ඇති පහුගිය දිනක දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පොහොර ලොරියක් අත්හැර දමා තිබුණු බවට ප්‍රවෘත්තියක් පළ වුණා. පසුව එම ලොරිය දෙහිඅත්තකණ්ඩිය පොලිසිය භාරයට ගෙන තිබුණා. එම ලොරියේ තිබුණු පොහොර මිටි සීයක් අපිට හමුවුණා. ඒවායේ නිදර්ශක (සාම්පල්) අපි ගත්තා. එම අවස්ථාවට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ද සහභාගි වුණා. ඒ අතරෙම දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේ පෞද්ගලික නිවසක බාල වර්ගයේ පොහොර තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව අපි එහි ගියා. එම නිවසේ පොහොර මිටි 250ක් තිබුණා. එම නිවසටද මුද්‍රා තබා, නිදර්ශක (සාම්පල්) ගත්තා. මෙලෙස සකස් කරන ලද පොහොර මේ ප්‍රදේශ පුරාම බෙදාහැර ඇති බවයි අපේ විශ්වාසය. අපි දිගටම වැටලීම් සිදුකරනවා. මේ බාල වර්ගයේ පොහොර අපි ඉවත් කරනවා. බැලූ බැල්මට මෙම පොහොර මිටිවල නියමිත ප්‍රමාණයට නයිට්‍රජන් නැති බව ඕන කෙනකුට තේරෙනවා. මෙහි තිබෙන අභාග්‍යසම්පන්න කාරණය තමයි ලංකාවේ නම ගිය ප්‍රසිද්ධ පොහොර සමාගම්වල නම සහිත අසුරන භාවිත කර තිබීම. එමෙන්ම මෙම පොහොර අළෙවි කරන්නේද නියමිත නයිට්‍රජන් තිබෙන ප්‍රමිතියෙන් යුත් පොහොර විකුණන මිලටම වීම පුදුමසහගතයි.
ගොවි ජනයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සමාජ ක්‍රියාධර සිරි සමන් බණ්ඩාර මහතා,
මේ හොරකම අද ඊයේ සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. කොවිඩ් කාලේ ඊට ඉස්සල්ලා ඉඳලා මේක තිබුණද දන්නෙත් නෑ. කවුද ඒ ගොල්ලන්ගේ වැඩ පිළිබඳව හොයලා බලන්න යන්නේ. පහුගිය කාලෙ අපි දැක්කා වී මලු සීයක් ගන්න කුඹුරකින් ආවේ වී මලු පනහක්, හැටක් වගේ බොහොම අඩු ගාණක්. අපිට මේ ගැන සැකයක් තිබුණෙත් නෑ. අපි හිතුවේ අපේ සාත්තුවේ දෝෂයක් වෙන්න ඇති කියලා. ගොයම කහවෙලා. බොල් වෙලා, නැත්නම් වෙන මොකක් හරි ලෙඩක් කියලා අපි හිතුවේ. සහගහනවා මේ වගේ අපරාධවලට.
මේ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය හෝ පොලිසිය මැදිහත්වීමෙන් කටයුතු කරන බවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් සැරයන් 64941 ජයවීර මහතා විසින් පවත්වනු ලබයි. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බණ්ඩාර මහතා සමග එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.බී. දිසානායක මහතාද මෙම වැටලීමට එක්වූහ.
මහියංගණ – රංජිත් කරුණාවීර