බීමතින් පාසල් සිසුන් ගෙනයද්දී කටුපොත සිසුසැරිය රියැදුරු අතේ මාට්ටු

11

කටුපොත නගරයේදී බීමතින් පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි ‘සිසු සැරිය’ බස් රථයක රියැදුරකු පෙරේදා (19 දා) අත්අඩංගුවට ගත් බව කටුපොත පොලිසිය පවසයි.

කටුපොත නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ බස් රථය නවත්වා පරීක්ෂා කිරීමේදී රියැදුරු බීමත්ව සිටින බව හෙළි වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

බස්රථ රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එතුළ පාසල් සිසු සිසුවියන් 16 දෙනකු හා මව්වරුන් දෙදෙනකු ගමන් කරමින් සිට ඇත.

බස් රථය ද පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකාර රියැදුරු 52 හැවිරිදි කටුපොත රදලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි. මේ පිළිබඳව කටුපොත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පික ගුණරත්න මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ පොලිස් සැරයන් ජයවික්‍රම (75005) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මේ වනවිට පොලිසිය බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment