පොළොන්නරුව ලංකාපුර ප්‍රා. කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි

645

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ නිවසට ඊයේ (04දා) අලුයම ඇතුළු වූ කිසියම් පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.

මෙසේ ඝාතනය වී ඇත්තේ ලංකාපුර, තල්පොත, අංක 16/1 හි පදිංචිව සිටි එම්. එම්. යමුණා පද්මිණි (45) නම් දෙදරු මවකි.

පොලිසිය පවසන අන්දමට ඊයේ අලුයම 2.00 ට පමණ නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු නිවසේ උඩු මහලේ නිදන කාමරයේ ඇඳ අසල දී තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි. මෙම ඝාතනය පිළිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නැති අතර නිවස මංකොල්ල කෑමට පැමිණි නාඳුනන පුද්ගලයකු මෙම ඝාතනය සිදු කොට පළා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය වූ යමුණා පද්මිණී මහත්මිය වයස අවුරුදු 5ක සහ අවුරුදු 11 ක දියණියන් දෙදෙනකුගේ මවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය මූලික විමර්ශන අරඹා ඇති අතර මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය (04දා) සිදුකිරීමට නියමිතව තිබුණි.

කරුණාරත්න ගමගේ, රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment