බුදු දහමින් ප්‍රකටවන මිනිස් ඒකීය තත්ත්වය

146

ඇලෙක් රොබට්සන් ලියූ ලිපියක පරිවර්තනයකි

මේ විශ්වයෙහි මිනිසාට ඒකීයවූ ද වැදග්තවූ ද තත්ත්වයක් දෙමින් මිනිසා දෙවිවරුන්ට ද වඩා උච්ච ස්ථානයක තබන ලද එකම ශාස්තෲන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වේ. සැබැවින්ම මෙලොව මිනිසාට වඩා උතුම් වූ දෙයක් නොමැති අතර මිනිසා තුළ සිතට වඩා උතුම් දෙයක් නොමැත.

බුදු දහමින් ප්‍රකටවන මිනිස් ඒකීය තත්ත්වය

ආගමික ශාස්තෲවරයන් අතුරින් බාහිර ආධාරයක් නොමැතිව ස්වකීය විමුක්තිය වෙනුවෙන් ක්‍රියා කිරීමට මිනිසා සතුව ඇති බලය තත්වාකාරයෙන් දැනගත් එකම උතුමා ද බුදුරජාණන් වහන්සේ වේ. මනුෂ්‍යත්වය නඟාලීමෙහිලා ක්‍රියා කරනු ලබන ආකාරයට නියම උතුමකුගේ අගය මනිනු ලබනුයේ නම් ශ්‍රේෂ්ඨ උත්තමයා ලෙස බුදුරජාණන් වහන්සේ හැර අන් කවරකු හැඳින්විය හැකිද? මිනිසාට ඉහළින් අන් කෙනකු තබා මිනිසා පහත හෙළනු වෙනුවට බුදු රජාන් වහන්සේ මිනිසා ප්‍රඥාවේ හා කරුණාවේ මුදුන් පෙත්තටම නැංවූ සේක.

භෞතික දැයෙහි ඇලී ගැලී සිටින නූතන මිනිසාට ආධ්‍යාත්මික ආලෝකය වෙත්ම කායික හා මානසික බැමිවලින් මිදීමෙන් ලැබ ගන්නා අවසාන විමුක්තිය කෙරෙහි යොමුව ඇති මාර්ගය දැක්වීමෙන් බුදු දහමින් සැනසීම ලැබේ. මානසික හා ආධ්‍යාත්මික වහල් භාවයෙන් ඈත්ව අන් ආගම් මගින් විශේෂ වරප්‍රසාද ලත් තැනැත්තකු වෙනුවෙන් වෙන්කොට තබා ඇති සාමකාමීවූ ද සමන්තභද්‍රවූ ද දුලබ ආධ්‍යාත්මික වාතාවරණයකට ගමන් ගන්නා අන්දම බුදුරජාණන් වහන්සේ මිනිසාට දක්වා වදාරා ඇත. එසේ කිරීම මගින් උන්වහන්සේ මිනිසාට ඉහළම ගෞරවය දී වදාරා ඇත.

සම්භාවනීය දර්ශනවාදියකු මෙන්ම පඬිවරයකු ද වන රාධක්‍රිෂ්ණතුමා ඉහත දැක්වෙන අදහස සනාථකර ඇති අන්දම පහත සඳහන් පාඨයෙන් පැහැදිලි වේ. “ස්වකීය වගකීම් භාරය බාහිර මගකින් ඉටුවනතුරු මිනිසා බලා සිටින තාක් ඔහු ජීවිතයේ ශුභ අංශය නඟා ගැන්ම සඳහා තමා සතුව පවත්නා බලය නොයොදවන බව ලොව දෙස බැලීමෙන් බුදුරජාණන් වහන්සේට වැටහුණි. වඩා ඉහළ තත්ත්වයකට හදිසියෙන් පත්වීම සඳහා මොවුහු දේව ප්‍රාතිහාර්යයක්, ක්‍රියාකාරීත්වයක් බලාපොරොත්තුවෙන්, බාහිර බලවේගයක් ගැන විශ්වාසයක් තැබීම වනාහී සාමාන්‍ය වශයෙන් පුරුෂ ධෛර්යය අත්හැර දැමීම ජනප්‍රිය දෙවිවරුන් නොසිටිතැයි බුදුරජාණන් වහන්සේ නොපවසන ලද අතර ඔවුන් උසස් තත්ත්වයක වැජඹෙන එසේ වුවද අනුශාසනා ලැබිය යුතු මෙන් සලකන ලදී. ආදර්ශයෙන් හා උපදේශයෙන් උන්වහන්සේ අල්පේච්ඡ ජීවිතයක් පිළිබඳව දේශනා කොට වදාළ සේක. ලෝකය නිර්මාණය කර ඇත්තේ දෙවියන් හා දේවදූතයන් නොව, මිනිසාගේ කැමැත්ත පරිදි වේ. මිනිස් ඉතිහාසය වනාහි පූර්ණ වශයෙන් මිනිස් ජීවිතයේ සටින මිනිසුන්ගේ නිගමනයන් හා අත්දැකීම්වලින් පිරී ඇත්තකි.

බුදු දහමට අනුව මිනිසා සංශෝධනය කළ නොහැකි පව්කාරයකු ලෙස ද සදාකාලික වැරදිකරුවකුගේ ඉරණමකට මුහුණ පා සිටින්නකු ලෙස ද හඳුන්වනු නොලැබේ. පව් කරන තැනැත්තා අඥාන මෝඩයකු පමණක් වන අතර අවශ්‍ය මඟ පෙන්වීම හා උපදෙස් ලැබුණු කල්හි ඔහුට යහපත් කෙනකු වී ආධ්‍යාත්මික ආලෝකය හා සර්ව නිර්දෝෂී තත්ත්වය ලබාගැනීමට ද ඉඩ ඇත. බුදු දහමට අනුව ආලෝකයේ ළමයා සහ අඳුරේ ළමයා අතර ද සදාකාලික මෝක්‍ෂයෙහි හා සදාකාලික අපාය අතර ද කිසිම වැදගත් වෙනසක් නොසැලකේ. ඒ වෙනුවට අධ්‍යාත්මික සංවර්ධනයෙහිලා අප්‍රමාණ අවස්ථා ඇති බවද මේ තත්ත්වයනට පත්වීමේදී සත්ත්වයා ඒ ඒ භවයන්හිදී කරන ලද ක්‍රියාවනට අනුව උසස් වීම හෝ පහත වැටීම සිදුවේ. බිහිසුණු සොරකුවූ අංගුලිමාල චරිතය ගැන සලකා බලන කල්හි දරුණු මිනී මරුවකුට පවා යහපත් උපදෙස් ලැබීම හේතුවෙන් එක් භවයක දීම රහත් තත්ත්වය ලබාගතහැකි බව පැහැදිලිය. සත්‍ය වශයෙන්ම අංගුලිමාල මිනීමරුවා රහතන් වහන්සේ කෙනකු බවට පරිවර්තනය කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසිනි.

මහා පව්කාරයකු පවා අන්තිමේදී සර්ව නිර්දෝෂී වන අන්දම දේවදත්ත චරිතයෙන්ද පැහැදිලිවේ. ඈත අනාගතයේ දී දෙව්දත් තෙර පසේ බුද්ධත්වයට පත්වනු ඇත. සර්ව නිර්දෝෂී තත්ත්වයට පත්වීම වෙනුවෙන් මිනිසා සතුව පවත්නා අසීමිත බලය මෙයින්ම සනාථ වන්නේය.

මිනිසා බාහිර දෙව් කෙනකු කෙරෙහි විශ්වාසය නොතබා ස්වකීය උත්සාහයෙන් හා අප්‍රතිහත ධෛර්ය මගින් විමුක්තිය ලබාගැන්මෙහිලා ක්‍රියාකිරීමේ අගය බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන්ම දක්වා වදාරා ඇත. කෙනකුට විමුක්තිය ලබා

ගැන්මෙහිලා ආධාර වීමට බුදු කෙනකු පවරා අසමත් වේ. විමුක්ති මාර්ගයට ඉවහල් වන බලපත්‍රය ශීල, සමාධි, ප්‍රඥාවෙන් සමන්විත වේ. නිශ්ශබ්ද යැදීම නොව, ක්‍රියාකාරී වෙර වැඩීම එයට ඉවහල් වේ. මේ ගැන බුදුරජාණන් වහන්සේ “ධම්මපදයෙහි” මෙසේ වදාරා ඇත.

“තුම්මෙහි කිච්චං ආතප්පං – අක්ඛාතාරො තථාගතා” ඔබ ඔබලාට උත්සාහ ගතයුතුවේ. බුදුවරු මඟ පෙන්වන්නෝ පමණක් වෙති.

ඉහත කී පාඨයෙන් පළවන අදහස බුදුරජාණන් වහන්සේ මෙසේ අවධාරණයෙන් දක්වා ඇත.

“මහණෙන,ි භික්‍ෂුවක මගේ සිවුරු කොනෙහි එල්ලී මා පසුපස පියවරෙන් පියවරට ගමන් ගනිතත් ඔහු මසුරු බවින් යුක්ත නම්, කම් සැප කෙරෙහි තද ඇල්මක් දක්වනුයේ නම්, ක්‍රෝධ කරයි නම් සිතින් හා ආධ්‍යාශයෙන් දූෂිතනම් ඒ තැනැත්තා මා කෙරෙන් ඈත්වම සිටින්නේය. මම ද ඔහු කෙරෙන් ඈත්ව සිටින්නෙමි. මෙයට හේතු කවරේ ද? මහණෙනි, ඒ තැනැත්තා ධර්මය නොදකියි. එහෙත් මහණෙනි, එම භික්‍ෂුව මා කෙරෙන් යොදුන් සියයක් ඈත්ව විසුව දඔහු මසුරු නොවේ නම් කම්සැප කෙරෙහි තදින් එල්බ නොගනුයේ නම් ඔහු මා සමීපයෙහිම සිටින්නේය. මම ද ඔහු සමීපයෙහිම සිටින්නෙමි. මෙය මෙසේ වනුයේ ඇයි? එම භික්‍ෂුව ධර්මය දක්නේය. ධර්මය දැකීමෙන් හෙතෙම මා දකින්නේය.

කෙනකු සුපරීක්‍ෂාවෙන් බෞද්ධ ග්‍රන්ථයන් කියවනුයේ නම් විමුක්ති මාර්ගය ඔස්සේ දියුණුව ලබාගැනීමෙහි ලා පුද්ගලික වෑයමෙහි තමා කෙරෙහි විශ්වාසය තැබීමෙහි හා අප්‍රමාදයෙහි ඇති අගය පිළිබඳව අවධාරණයෙන් සඳහන් කොට ඇති අන්දම පැහැදිලි වනු ඇත. ඉන් අවස්ථා කිහිපයක් මෙසේ උපුටා දැක්විය හැක.

සූත්‍ර නිපාතයෙහි බුදුරජාණන් වහ්නසේ මෙවැනි ප්‍රබෝධ කරවනසුලු වාග් මාලාවකින් භික්‍ෂුනට අවවාද කර වදාරා ඇත. “අවදිවනු, උදාසීන නොවනු චිත්ත සමාදානය වෙනුවෙන් අනලස්ව ක්‍රියා කරනු.”

අංගුත්තර නිකායෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයාට මෙසේ අවවාද දී වදාරා ඇත. “මහණෙන,ි මේ ධර්මය උත්සාහවන්තයන්ට, කාර්යශූරවූ, කාර්යක්‍ෂමවූ, ධීරවූ තැනැත්තාටම වේ. අලසයාට, කුසීතයාට නොවේ” නැවතත් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායෙහිදී අනුස්මරණීයවූ ද සිත්ගන්නාසුලුවූ ද වාග්මාලාවකින් මෙසේ භික්‍ෂුන් අමතා ඇත. මහණෙන,ි සැබැවින්ම උත්සාහවත් තැනැත්තාට මෙලොව ලබාගත නොහැකි සැපත කුමක්වේ ද? සම්, ඇට, නහර පමණක් ඉතිරිවී ශරීරගත ලේ, මස් වියළී ගිය ද පුරුෂ ධෛර්යයෙන්, වීර්යයෙන් හා අප්‍රමාදයෙන් ලබාගත හැකි එම තත්ත්වය ලබාගන්නා තුරු එම ධෛර්යයෙහි නම් අඩුවක් ඇති කර ගතයුතු නොවේ.”

තවද අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායෙහි මෙසේ ශ්‍රාවකයන් ධෛර්යමත් කර ඇත. පුබුදුවී වෙර වඩනු ශාසනයෙහි වෙර වඩා ක්‍රියා කරනු. ඇතකු පිදුරු වහලක් විනාශ කර දමන්නාක් මෙන් මෙසේ මාර සෙනඟ (කෙලෙස්) පලවා හරිනු. මේ ශාසනයෙහි යම් කිසිවකු” සතියෙන් හා සුපරීක්‍ෂාවෙන් කල් ගෙවනුයේ නම් ඒ තැනැත්තාට සසර දුකින් විමුක්තිය කරා ගමන් කිරීමෙහිලා මිනිසා සතු බලය මින් අපට පැහැදිලි වේ. මහා පඬිරුවනක්වූ රීස් ඩේවිඩ්ස් මහතා මෙසේ පවසා ඇත. මෙතරම් චාම් ස්වභාවයක් උසුලන්නාවූ ද අධි මානුෂික බලවේගයන් කෙරෙන් නිදහස්වූ, නිවහල්වූ එමෙන්ම මැවුම්කරු දෙවි කෙනකු කෙරෙහි විශ්වාසය තැබීමක් ගැන විරුද්ධවූ මෙවැනි විමුක්ති මාර්ගයක් ගැන ලෝක ඉතිහාසයෙහි කිසි කලෙකත් දක්නට නොලැබුණි. මේ ක්‍රමය සාවi හෝ නිරවi හෝ වේවා ආත්ම දමනය හෝ ආත්ම වගාව වෙනුවෙන් වෙර වැඩීමෙන් චිත්තාභ්‍යයන්තරයෙහි ගතහැකි වෙනස පිළිබඳව ශෝධකයකු විසිසන් කැමැත්තෙන් ඉදිරිපත් කරන ලද මිනිසාගේ ආගම් පිළිබඳ ඉතිහාසයෙහි අමුතු පිටුවක් පෙරළන ලද්දකි.

බයිබල් සත්‍යය මෙන් නොවරදිනසුලු ආගමික ග්‍රන්ථයන් කෙරෙහි විශ්වාසය නොතබා කරුණු විග්‍රහ කර බැලීමෙන් තමාට ඒ ඒ දෑ අවබෝධ කර ගැන්මෙහි ලා මිනිසා සතුව ඇති ඒකීය මෙන්ම ශ්‍රේෂ්ඨ බලයක් ඇති බව බුදුරාජණන් වහන්සේ පිළිගත් සේක. පහත දැක්වෙන පාඨය මෙකරුණ මනාසේ පැහැදිලි කරයි.

“වාර්තාවලින්, මුඛ පරම්පරාගත දෙයින් සපයා ගන්නා ලද දෑ පිළිබඳව පෙනෙන්නට ඇති දක්‍ෂකම්වලින්, එසේත් නැතිනම් කරුණු සලකා බැලීමෙන් පසු එසේත නැතිනම් යම්කිසි සිද්ධාන්තයක් පිළිබඳව මෙනෙහි කොට එය පිළිගැනීමෙන් පසු, එසේත් නැතිනම් එය පිළිගත යුතු දෙයක් මෙන් පෙනෙන් බැවින්, එසේත් නැතිනම් එවැනි දෘෂ්ටියක- පිහිටා සිටින පරිබ්‍රාජකයකු කෙරෙහි ගෞරවයෙන් වැරදි මඟ නොයා යුතුයි. එහෙත් කාලාමයෙනි, ප්‍රාඥයන් විසින් මෙවැනි දෑ පිළිකුල් කරනු ලබන බව ඔබ දන්නා කල මෙවැනි දෑ ක්‍රියාත්මක වූ කල එය අලාභයට හා ශෝකයට තුඩුදෙන කල සත්‍ය වශයෙන්ම එවැනි දෑ ඔබ විසින් අත්හල යුතුවේ. එහෙත් ඕනෑම අවස්ථාවකදී මෙවැනි දේ කෙනකුගේ වාසියට ඉවහල් වනුයේ නම් ඒවා දෝෂ සහගත දේ නොවේ. කෙනකුගේ වාසියට හා ප්‍රීතියට ඉවහල් වන එවැනි දේ පිළිගැනීමෙන් පසු ඔබ ඒවා පිළිපැදිය යුතුයි. (අංගුත්කර නිකාය)

මිනිසුන් තම අත්දැකීම් නොසලකා හරිමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගයෙහි අන්ධයන් මෙන් ගමන් කිරීම උන්වහන්සේ විසින් අනුමත නොකරන ලදී. තමන් ඒ ගැන නිගමනයට බැසීමෙන් පසු පමණක්ම යම්කිසි ඉගැන්වීම් විශේෂයක් අනුගමනය කිරීම බුදුරජාණන් වහන්සේ ස්වකීය අනුගාමිකයන් ගෙන් බලාපොරොත්තු වූ සේක. මෙසේ ශතවර්ෂයන් මුළුල්ලෙහි පෙළ අටුවාවන් සිය ගණන් බුදු දහමට අනුව ලැබුණි. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය විස්තර සහිතව පුළුල්කොට ලිවීමට ඔවුනට නිදහස ඇති බැවිනි.

ඉහත සඳහන් බුදු වදන් ස්වාමි විවේකානන්දතුමා ඉතා රමණීය අන්දමින් මෙසේ දක්වා ඇත. “බුදුරජාණන් වහන්සේ ගැන සලකා බලනු. උන්වහන්සේගේ මනස වනාහි විශ්මය ජනක මනසකි. ඒ වනාහි හැඟීම් සමුදායක් නොවේ. ඒ මහා මනස කිසි කලෙකත් මිථ්‍යා මතවලට ඉඩ නොතබන ලදී. නුවණින් හීනවූ දුර්වල සිතැති, ළාමක සිතැති නැතැන්තා සත්‍යය සොයා ගැන්මෙහි අසමත් වේ. කෙනකු නිවහල් විය යුතුය. ආකාශය මෙන් නිදහස් විය යුතුයි. තවද පළිඟුව මෙන් පැහැදිලි මනසක් ඔහුට තිබිය යුතුවේ. සත්‍යය එය තුළ බබළනු හැකිවන්නේ ඒකල්හි පමණක් වේ.”

භෞතික විද්‍යා හා ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයෙහි මිනිසා විශාල දියුණුවක් ලබා ඇත. මනුෂ්‍ය සිතෙහි බලය හේතුවෙන්ම මිනිසා අද ඇති සැප පහසුකම් හා ප්‍රීතිය භුක්ති විඳිනු ලබන්නේය. සියලු සැපපහසුකම් හා බාහිර ප්‍රීතිය ලබාගැන්ම උදෙසා මිනිසා ජයගත නොහැකි භෞතික අවහිරකම් අබිබවා ඇත. එහෙත් ඔහු ස්වකීය සිත පිළිබඳව පවත්නා ගුප්ත දැය හෙළිකර ගැන්මට හා ස්වකීය චිත්තාභ්‍යන්තරයෙහි සාමය හා ප්‍රීතිය පිළිබඳව පවත්නා මහා නිධානයක් සොයාගැන්ම ද වෙනුවෙන් ස්වකීය ශක්තිය හා උත්සාහය නොයෙද වීම කනගාටුවට කරුණකි. ඔහු අවකාශ තරණයට වැර වඩන නමුදු තවමත් ඔහු තමා ජය ගැන්මට සමත්වී නොමැත. විද්‍යාව හා කාර්මික ඥානය සම්බන්ධයෙන් එතරම් දියුණුවක් ලබාගැන්මට ඔහු සමත්වූයේ නම් එම උනන්දුව හා උත්සාහය ජීවිතයේ උසස් හා උතුම් දෑ පිළිබඳව දක්වනු ලබනුයේ නම් සර්ව සම්පූර්ණත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨවූ ද අධ්‍යාත්මිකවූ ද උච්ච ස්ථානයකට නැඟීමේ සමත් වන බවට සැකයක් නොමැත. මනුෂ්‍යත්වය දියුණුව කරා ගමන් කරවීමට ඉවහල් වූ සැම දෙයක්ම මිනිසා අතින්ම සිදුවී ඇත. ඔහුගේ සංවර්ධනය ඇතිවිය යුත්තේ ඔහුගේ උත්සාහය හේතුවෙන්ම වියයුතු වේ. බාහිර දැයින් තොරව දියුණුව කරා ගමන් කරන තුරු දියුණුව කරා යොමු වූ කිසිම පුද්ගලයකුට පූර්ණ මානසික හා සුචරිතමය දියුණුවකට පත්විය නොහැක. බුද්ධාගම පිළිබඳව දක්නට ලැබෙන සම්භාවනීය මෙන්ම පැහැදිලි ලක්ෂණයක් නම් භාවනාව මගින් නිදහස් කරන ලද, දමනය කරන ලද සිතක පවත්නා බල මහිමය පිළිබඳ අසීමිත විශ්වාසය තැබීම වේ. මේ විශ්වාසය සම්බන්ධව පාලි පෙළෙහි බෙහෙවින් කියවීමට ලැබේ. මේ ගැන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි මෙසේ දක්වා වදාරා ඇත.

“මහණෙනි, දමනය නොකරන ලද සිත තරම් පාලනය යටතට ගැන්මට අමාරු අන් කිසිවක් නොමැත. අසංවර සිත වනාහි සැබැවින්ම පාලනයට දුෂ්කර දෙයකි. මහණෙන,ි දමනය කරන ලද සිත තරම් තමා යටතට ගතහැකි අන් කිසිවක් මම නොදනිමි. සැබැවින්ම වඩන ලද සිත පාලනය කළ හැකිවේ. තවද මහණෙනි, වගා කරන ලද සිත පමණ කෙනකුගේ ඉමහත් වාසියට, දියුණුවට හේතුවන්නා වූ අන් කිසිවක් ගැන මම නොදනිමි.

මිනිසා විසින් අද වනතුරු පූර්ණ වශයෙන් සොයාගෙන නොමැති බලයක් මිනිස් සිත සතුව ඇත. අප ප්‍රයෝජනයට යොදා ගනුයේ අප මනසින් කොටසක් පමණි. බටහිර මනෝවිද්‍යාඥයන් පවසන පරිදි ඒ වනාහි 2%ක් (සියයට දෙකක්) පමණ වන අතර මනසින් 98%ක් (සියයට අනූ අටක්) පමණ ප්‍රයෝජනයට ගෙන නොමැත. එම 98% ගැබ්ව පවත්නා ශක්තියෙන් හා මහා නිධානයෙන් ප්‍රයෝජන ගතහොත්, සිත සැබැවින්ම රන් ආකරයක් වනු ඇත. අධි මානසික විද්‍යාව නමින් හඳුන්වනු ලබන විද්‍යාංශයෙහි මේ සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක උනන්දුවක් පළ කරනු නොබෝදා දක්නට ලැබුණි. මනෝ ව්‍යවච්ඡේදක හා මනෝ චිකිත්සකයන් විසින් මිනිස් සිත යම්කිසි අරමුණක් උදෙසා යොමු කළ හැකි නොසිඳෙන ශක්ති විශේෂයකින් යුත් නියම ඩයිනමෝවකට සමාන කොට දක්වා ඇත. භාවනාව වැනි දෙයකට යොමු කිරීමෙන් රෝගී අයට අභ්‍යන්තරයෙන් නීරෝගි බව ලැබීමට කරුණු යෙදේ. චිකිත්සා අංශයෙන් හැරුණුවිට, සෑහෙන ප්‍රමාණයකට සිත දියුණු කර ඇති අයට මෙම ශක්ති විශේෂය හේතුවෙන් පුදුමාකාර දේ වන දිබ්බචක්ඛු, දිබ්බසොත, පූර්ව දැනුම, මානමිති යනාදිය ලබාගැන්මට සමත් වන අතර මේවා පිළිබඳව පමණක් සත්‍යතාවය විද්‍යාත්මකව ද ඔප්පු කර ඇත. මේ ඊණියා අරුම පුදුම මෙන්ම ප්‍රාතිහාර්යාත්මක දෑ මිනිස් සිතෙහි පවත්නා බල මහිමය හේතුවෙන් මිස සර්ව බලධාරී සියල්ල දන්නා බාහිර බලවේගයක් කරණකොට ඇති වන්නක් නොවේ. සත්‍ය වශයෙන්ම මිනිස් චිත්තාභ්‍යන්තරයෙහි පවත්නා මෙම බලය ගැන බුදුරජාණන් වහන්සේ මීට වර්ෂ 2600කට පෙර පෙන්වා වදාළ සේක.

මිනිස් සිත පිළිබඳව පවත්නා මහා බලය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධම්මපද දේශනාවෙහි මෙසේ අවධාරණයෙන් දක්වා ඇත.

“මනො පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයා
මනසාචෙ පසන්නෙන – භාසතිවා කරොතිවා
තතො නං සුඛ මන්වෙති – ඡායාව අනපායිනි

සියල්ලට ම සිත ප්‍රධාන වේ. සිතම ශ්‍රේෂ්ඨ වේ. සියල්ල සිතින්ම හටගනී. කෙනකු පිරිසිදු සිතින් යුතුව කතා කරත්නම්, ක්‍රියා කරත් නම්, ඔහු අත්නොහැරම පවත්නා වූ ඡායාව මෙන් ප්‍රීතිය ඔහු පසුපස ගමන් ගන්නේය.

තමා තමාට සරණක් වෙන් ද බාහිර සරණක් නොසොයා ධර්මය තමාට දූපතක් ලෙස ද සරණක් ලෙස ද ගෙන ජීවත් වන්නේ නම්, මහණෙන,ි ඔවුන්ම මගේ ශාසනයෙහි විනයධරයන් අතුරින් අග්‍රස්ථානය ගන්නෝය.”

(මහා පරිනිබ්බාන සූත්‍රය)
පර්වර්තනය – ජයසුමනා ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment