ශිෂ්‍යත්ව පන්ති නිමවී නිවසට යමින් සිටි දරුවා සුදුවැල්ල ජනපද ඔයට වැටී මරුට

248

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ දරුවකු පාසල නිම වී එහි අතිරේක ශිෂ්‍යත්ව පන්තියට ද සහභාගි වී නිවස කරා යමින් සිටියදී අධික වර්ෂාවෙන් දෙගොඩතලා ගිය සුදුවැල්ල ජනපද ඔයට වැටී ගසාගෙන යාමෙන් මිය ගොස් සිටියදී හමුවී ඇතැයි ගලහා පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙල්තොට ලිට්ල් වැලි කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාන්දීපන් දීවාන් නමැති දස හැවිරිදි සිසුවායි. මෙම සිසුවා නිවෙස වෙත යමින් සිටියදී අනාරක්ෂිත පාලමකින් ඔයට වැටී ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටියදී ගලහ පොලිසිය සහ ප්‍රදේශවාසීන් සොයා බැලුවද රාත්‍රිය එළැඹි නිසා සොයා ගැනීමට නොහැකි වී ඇත.

පසුදින දින දරුවා වැටී සිටි කුඩා පාලමේ සිට කිලෝ මීටර් තුනක් පමණ ගසා ගෙන ගොස් කුඹුරුවත්ත, හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී දරුවාගේ සිරුර සොයා ගෙන තිබේ. පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පන්තියට සහභාගි වූ මෙම සිසුවා යළි නිවසට ගොස් ඇත්තේ තනිවම බව පොලිසිය පවසයි. අධික වර්ෂාව සමග මෙම කුඩා ඔයේ සහ මාර්ග වල ජලය වැඩි වී තිබී ඇති අතර දරුවා මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි බව යමකු දැක තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment