ලෝකයට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්තය ක්‍රිකට් පොතේ සඳහන් වන තුන් ඉරියව්වෙන්ම පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ බෙංගලූරු හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) සමත් වූයේය.
එම ජයග්‍රහණය එක් දින ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ අඛණ්ඩ 05 වැනි ජයග්‍රහණය වූ අතර ඊට පෙර පිළිවෙළින් ශ්‍රී ලංකාව 2007, 2011, 2015 සහ 2019 වසරේදී එංගලන්තය පරාජයට පත් කර තිබේ.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් පස්වැනි ස්ථානයේ තම නම සටහන් කර ගත්තේය.
තරගයේ කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 157 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එම ලකුණු සංඛ්‍යාව පන්දු වාර 25.4කදී කඩුලු 2ක් පමණක් දැවී ඉක්මවා යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
එංගලන්තය ලබා දුන් පහසු ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 77ක් ලබා ගත් අතර එම අර්ධ ශතකය ඔහු මෙම තරගාවලියේ අඛණ්ඩව ලැබුණු හතරවෙනි අර්ධ ශතකය වූයේය.
ජයග්‍රහණය සඳහා එල්ල කළ 6 පහරද ඇතුළත්ව පැතුම් ඊයේ දිනයේදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 කින් ක්‍රීඩාංගණය අලංකාර කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සධීර සමරවික්‍රම ද මෙම තරගාවලියේ සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 65 ක් ලැබීය.
ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සඳහා පන්දු 122 කදී ලකුණු 137 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැඟුණු අතර ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 2 ඩේවිඩ් විලී ගේ නම ඉදිරියේ ලියැවිණි.
පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් ද පෙර තරගවලට සාපේක්ෂව බෙහෙවින් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.
මාස හතරකට පසුව කණ්ඩායමට එක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ එම දක්ෂතාවල පෙරගමන්කරුවා වූ අතර සෙස්සෝ ඔහු අනුගමනය කරමින් තරගයට මනා අවතීරණවීමක් ලබා ගත්හ. පළමු පන්දු වාර හය නිමාවන විට එංගලන්ත ඉනිමට ප්‍රවේගවත් ආරම්භයක් ලබාදෙමින් සිටි ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මලාන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 45 දී බිඳ දමන්නට සමත් වූ මැතිව්ස් එහිදී ඩේවිඩ් මලාන් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේය.
වමත් පිතිකරු ඩේවිඩ් මලාන්ගේ පිත්තේ අග දාරයේ පන්දුව ගැටීමට සලස්වමින් එය කුසල් මෙන්ඩිස් රැක ගැනීමත් සමග තෙවන විනිසුරුගේ සහාය ඇතිව මලාන් පිටියෙන් ඉවත් කිරීමට මැතිව්ස් සමත් වූයේය.
අනතුරුව පිටියට පැමිණි ජෝ රූට් ගේ කඩුල්ල ලකුණු 03 කට දවා ගැනීමට විශිෂ්ට පන්දු රැකීමක නිරත වූ මැතිව්ස් පොයින්ට් කලාපයේ සිට දක්ෂ පන්දු රැකීමක සහ පන්දු යොමු කිරීමක නිරත වූයේය.
ඩිල්ශාන් මධුසංඛ ක්‍රියාත්මක කළ තරගයේ පළමු පන්දුව විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවට යොමු නොකිරීම නිසා කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව හිමිවූ ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ එංගලන්තයේ 3 වැනි කඩුල්ල ලෙස කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වාට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.
එංගලන්ත නායක ජොස් බට්ලර් ලකුණු 6 කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වීම ශ්‍රී ලංකාවට විශාල අස්වැසිල්ලක් වූ අතර එංගලන්තයේ පළමු පන්දු වාර 15 නිමා වුණේ ලකුණු 77 කට කඩුලු 4ක් ලෙසය.
එංගලන්ත කණ්ඩායමේ කඩුලු එකිනෙක බිඳ වැටීම නිසා එක් අන්තයක් ආරක්ෂා කර ගෙන පන්දුවට පහර දෙමින් සිටි බෙන් ස්ටෝක්ස් ගේ කඩුල්ල විශිෂ්ට පන්දුවකින් දවා ගැනීමට ලහිරු කුමාර සමත් වූ අතර ඔවුන් ගේ 8 වැනි කඩුල්ල ලෙස ස්ටෝක්ස් ඉවත් වනවිට ඔහු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේය. පන්දු 73 කදී ස්ටෝක්ස් ලකුණු 43 ක් ලබා ගත් අතර එම කඩුල්ල වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ තුන්වැනි කඩුල්ල වූයේය. ලහිරු ඊට පෙර ලියාම් ලිවින්ස්ටන් ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත්ව සිටියේය.
ආරම්භක කඩුල්ලේ ලකුණු 45 සම්බන්ධතාවයට පසුව එංගලන්තය වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙස බෙන් ස්ටෝක්ස් සහ මොයින් අලී දෙදෙනා ගොඩනඟමින් සිටි සම්බන්ධතාවයේ අවදානමද මැතිව්ස් විසින් මොයින් අලී ලකුණු 15 කට දවා ගැනීමට සමත් වීමත් සමග නිමා වූයේය. පන්දු යවන අන්තයේ සීමා ඉරෙන් පිටත සිටීමේ වරද මත එම කඩුල්ලට කෙළින්ම පන්දුව යොමු කිරීමෙන් අඩිල් රෂීඩ් දවා ගැනීමට කඩුලු රකින කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ක්‍රිස් වෝක්ස් දවා ගැනීම සඳහා සධීර සමරවික්‍රම රැක ගත් උඩ පන්දුව ද අනර්ඝ එකක් වූයේය.
ලකුණු සාරාංශය
එංගලන්තය 156/10 (33.2)
ජොනී බෙයාර්ස්ටෝ 30, ඩේවිඩ් මලාන් 28, ජෝ රූට් 03, බෙන් ස්ටෝක්ස් 43, ජොස් බට්ලර් 08, මොයින් අලී 15, ක්‍රිස් වෝක්ස් 00, ලියාම් ලිවින්ස්ටන් 01, ඩේවිඩ් විලි නොදැවී 14, මාක් වුඩ් 05, අඩිල් රෂීඩ් 02, අතිරේක 07.
පන්දු යැවීම
ඩිල්ෂාන් මදුශංක 5-37-0 කසුන් රජිත 7-36-2 ඇන්ජලෝ මැතිව්ස් 5-14-2 මහීෂ් තීක්ෂණ 8.2-21-1 ලහිරු කුමාර 7-35-3, ධනංජය ද සිල්වා 1-10-0
ශ්‍රී ලංකාව 160/2 (25.4)
පැතුම් නිශ්ශංක නොදැවී 77, කුසල් ජනිත් 05, කුසල් මෙන්ඩිස් 11, සධීර සමරවික්‍රම නොදැවී 66
අතිරේක 03
පන්දු යැවීම
ඩේවිඩ් විලී 5-30-2 ක්‍රිස් වෝක්ස් 6-30-0 මාක් වුඩ් 4-23-0, අඩිල් රෂීඩ් 4.4-39-0, ලියාම් ලිවින්ස්ටන් 3-17-0, මොයින් අලී 3-21-0
කුෂාන් සුබසිංහ බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සිට