බෙලිඅත්ත – මහනුවර දුම්රිය මැදිරියකින් ටී – 56 පතුරොම් 57 ක් හමු වෙයි

444

බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙහි මැදිරියක තිබී ටී. පනස් හය වර්ගයේ ජීව පතුරොම් 57 ක් සහිත බෑගයක් හමුවී ඇත.

එම දුම්රිය ඊයේ (29දා) උදෑසන 06.30ට මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වී ඇති අතර පසුව දුම්රිය ගමනාන්තය අවසන් කොට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙහි ගාල් කොට තිබේ. එම දුම්රිය නැවත බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය ලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතව තිබූ අතර ධාවනයට පෙර දුම්රිය පරීක්ෂා කිරීමේදී එක් මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක් තිබෙනු දුම්රිය සේවකයකු දැක ඇත.

ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුවත් කොට පරීක්ෂා කිරීමේදී එහි තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමූ කොටසක් හමුවී තිබේ.

දුම්රිය සේවකයන් මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය පැමිණ දුම්රියත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයත් පොලිස් නිල සුනඛයන් යොදවා පරීක්ෂා කර ඇත. මේ හේතුවෙන් බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය ධාවනය ද ප්‍රමාද වී තිබේ.

අකිත පෙරේරා


advertistmentadvertistment