ඉතිහාසය ඉගෙන ගන්නා ආධුනිකයින්ට අතිශයෙන්ම ප්‍රයෝජනවත් වාර්තා නොඑක් රටවල වූසූ සංචාරකයින් විසින් සපයා තිබේ. හියූං සාං, මාකොපෝලෝ, ඉබන්බතුතා, අල්බරූනි එබඳු සංචාරකයින් අතර කීර්තිමත් අය වූහ. මේ කිසිවෙකුගේ කීර්තියට දෙවන නොවන කීර්තියක් ඇති කෙනෙකි ෆාහියන්. ඔහුගේ කීර්තිය අද පවා රැව් පිළිරැව් දෙන්නේ ඔහු අතින් සැපයුන සංචාරක වාර්තාව ඉතා උසස් ඓතිහාසිය වටිනාකමක් ඇති එකක් නිසයි. එසේම එය ඒ ගණයට වැටෙන පැරණිතම වාර්තාවලින් එකක් ලෙසද සලකනු ලැබේ.
ක්‍රි.ව. පූර්ව දෙවන ශත වර්ෂයේදී පවා ඉන්දියාවත් චීනයත් අතර ව්‍යාපාරික සම්බන්ධතාවක් පැවති බවට ඇතැම් ඓතිහාසිය වාර්තා දෙස් දෙයි. මේ සම්බන්ධතාව වඩා ස්ථිර වූයේ බුදු සමය චීනයට ගෙන ගියාට පසුවය. ඉතිහාස වාර්තාවලට අනුව බෞද්ධාගම චීනයට ගෙන ගියේ හං රාජවංශයට අයත් මිං අධිරාජයාගේ කාලයේදීය. (ක්‍රි.ව. 58-75)
ක්‍රි.ව. දෙවන සියවසේදී භාරතයෙන් පමණක් නොව තවත් අනෙක් රටවලින්ද චීනයට භික්ෂුන් වහන්සේලා වැඩම වූ බව පෙනේ. එසේම බෞද්ධ ධර්මය ප්‍රචාරය කරනු පිණිස නොයෙක් රටවල ගිහියෝද එහි ගියහ. මෙසේ ක්‍රිව. 2,3,4 යන සියවස්වල චීනයට පැමිණි විදේශීය භික්ෂුන්ගෙන් බොහෝ දෙනෙක් තම කාලය ගත කළේ ත්‍රිපිටක ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කිරීමටය. ෆාහියන් පෙර භික්ෂුන් වහන්සේලා විසිපස්නමක් පමණ මේ කාර්යයෙහි නිරත වූ බවද පෙනේ. ක්‍රි.ව. දෙවන සියවසේ සිට තෙලෙස්වන සියවස තෙක් භික්ෂුන් වහන්සේලා දෙසැටක් පමණ චීනයට වැඩමකොට බෞද්ධ ධර්ම සූත්‍ර පරිවර්තනය කළ බව ඓතිහාසීය වාර්තාවලින් පෙනේ. මේ වකවානුවේදී තවලම් උපයෝගී කොටගත් දියුණු වෙළඳාමක් නොයෙක් රටවල පැවැත්තේය. බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම පිණිස මේ වෙළඳාම අතිශයෙන්ම උපකාරි විය. තවලම් සමග ගමන් කිරීමෙනුත් ඒවායේ මාර්ගයෙන් පණිවුඩ හුවමාරු කරගැනීම් යනාදියෙනුත් ධර්ම ප්‍රචාරක කටයුතුවලට ඒවා උපයෝගි කොටගත් බව පෙනේ. පස්වන සියවසේදී ජීවත් වූ කීර්තිමත් ෆාතු භික්ෂුව ප්‍රසිද්ධ ඉන්දියානු වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකි. ෆාතු උපන්නේද කියාසි පළාතේය. මෙසේ චීනය අසල්වැසි රටවල් සමඟ වෙළඳ සම්බන්ධතා ඇතිව සිටි බවට නිදර්ශන තවත් කොතෙකුත් තිබේ.
පැරණිතම බෞද්ධ ග්‍රන්ථ චීනයට ලැබුණේ භාරතයෙන් නොව මධ්‍යම ආසියාවේ බෞද්ධ රාජධානිවලිනි. බෞද්ධ ධර්මය හැදෑරීම පිණිස බලවත් ආශාවක් දැක්වූ චීන භික්ෂුන් වහන්සේලාට මෙසේ ස්වල්ප වශයෙන් ලැබුණු ග්‍රන්ථ කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඒ නිසා ඉමහත් දුෂ්කරතාවලට මූණපාමින් ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැතිව චීන ගිහි පැවිදි දෙපක්ෂයම දහම් පොත් සෙවීම පිණිස භාරතයට ගියහ. තවද මේ කාලයේදී චීනයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ශීඝ්‍රයෙන් වැඩිවන්ට වූයෙන් ආරාම සංඛ්‍යාවද වැඩිවිය. භික්ෂුන් වහන්සේලාගේ සහ ආරාමවල විනයානුකූල පාලනය පිණිස විනය පිටකය හැදෑරීම ක්ෂණික අවශ්‍යතාවක් ලෙස චීන භික්ෂුන් වහන්සේලාට හැඟී ගියේය.
ෆාහියන්ගේ ඉන්දියා ගමනට ප්‍රධාන හේතුව වූයේ මෙකී අවශ්‍යතාවය. උන්වහන්සේගේ සංචාරයෙහි පරමාර්ථය, බුදු රජුන් ජනිත වූ රටට පැමිණ වන්දනාමාන කිරීම නොවේ. බෞද්ධාචාර්යවරුන් සෙවීමද නොවේ. උන්වහන්සේගේ සබ්‍රම්සරුන් වහන්සේලාට අත්‍යවශ්‍යව තිබූ විනය සහ සූත්‍ර ග්‍රන්ථ සෙවීමය ඒ සංචාරයෙහි එකම පරමාර්ථය. ෆාහියන්ට පෙර භාරතයට පැමිණි චීන භික්ෂුන් වහන්සේලා එහි උතුරෙහි පමණක් සංචාරය කළහ. එහෙත් විනය පිටකය උත්තර භාරතයෙහි මුඛ පරම්පරාවෙන් ගෙන එනු ලැබූ නිසා ෆාහියන් මධ්‍ය භාරතයට ගියේය. පාඨලීපුත්‍ර නගරයේදී ඔහුට බලාපොරොත්තු පොත් බොහොමයක් ලබාගන්ට පුළුවන් විය.
ඔහුගේ සංචාරක ගමන ආරම්භ කළේ ක්‍රි.ව. 399 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු හැටපහකි. මේ ගමනේදී කාන්තාර සහ පාමීර් වැනි කඳු වැටි තරණය කොට භාරතයට පැමිණීමට සිදුවිය. උත්තර, මධ්‍යම සහ දක්ෂිණ භාරතයෙහි සංචාරය කළ උන්වහන්සේ ලංකාව සුමාත්‍රා ආදී දිවයින් කීපයකටම ගොස් ක්‍රි.ව. 413දී චියංකා නමැති ස්ථානයට ළඟාවිය. එවිට ඔහුගේ වයස අවුරුදු 79කි. ඔහු සමඟ සංචාරය පිණිස පිටත් වූ දස නමක් පමණ වූ ඔහුගේ මිත්‍ර භික්ෂුන් වහන්සේලාගෙන් සමහරෙක් අතරමඟදී මරුමුවට පත්වූහ. සමහරෙක් භාරතයේ නතර වූ අතර කීපදෙනෙක් ෆාහියන් සමඟ ආපසු ස්වකීය රටට යෑමේ භාග්‍යය ලද්දෝය.
ඔහු සංචාරක වාර්තාව ලිවීමට ප්‍රථම තමා විසින් ගෙනගිය බෞද්ධ ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කළේය. ඉක්බිති ක්‍රි.ව. 414දී තම සංචාරක වාර්තාව ලියන ලදී.
ෆාහියන් භාරතයට ගියේ දෙවන චන්ද්‍රගුප්ත රජු දවසය. එවකට ඉන්දියාවේ පැවැති බෞද්ධ තත්ත්වය කුමක්දැයි ඔහු සියැසින් දුටුවේය. ඔහු ගිය සෑම තැනකම වාගේ ඔහුට බෞද්ධයින් අතින් බොහෝ සැලකුම් ලැබුණේය. එනිසා ඔහුට මුණගැසුණවුන්ගේ මිම්මෙන්ම අන්‍යයින්ද මැන්නේය. මිනිසුන්ගේ ගුණ සම්පන්නභාවය අවිහිංසාවාදී බව සාධාරණ දිවිපෙවෙත් යනාදිය ඔහු සිත තුළ තදින්ම කාවැදුණු බව ඔහුගේ වාර්තාවෙන් පෙනේ. එවකට ඉන්දියාවේ බෞද්ධාගමය උසස් ලෙස ෆාහියන් වාර්තා කළද ඇත්ත වශයෙන් නම් බෞද්ධාගමට මෞර්ය යුගයේදී ලැබී තිබුණු උසස් තත්ත්වය තිබුණේ නැත. එය තරමක් පරිහානි පක්ෂයට වැටී තිබුණු බවද සිතීමට කරුණු තිබේ.
ඒ කෙසේ වෙතත් බෞද්ධාගමයෙන් බාහිර දේ පිළිබඳ ෆාහියන් දී තිබෙන විස්තරයෙහි උසස් ඓතිහාසීය වටිනාකමක් ඇත. ඔහුගේ වාර්තාවට අනුව භාරත මධ්‍ය දේශය එනම් ගංගා මිටියාවත ජනාකීර්ණ ප්‍රදේශයකි. ප්‍රීතිමත් ජීවිත ගත කළ ඔවුහු රජයේ ඉඩම් වගාකොට ලැබෙන ආදායමින් එක්තරා කොටසක් රජයට දුන්නෝය. එහි මිනිසුන් සුරාපානය සහ ප්‍රාණඝාතය නොකළ බවද ඌරන්, කුකුළන් ඇති කිරීමත් මැරීම පිණිස සතුන් විකිණීමත් ඔවුන්ගේ සිරිත නොවන බවද ෆාහියන් කියයි. මේ සියල්ලටම වඩා ඔහු මවිත වූයේ ‘පාඨලීපුත්‍ර’ නගරයෙහි තුබුණු ධර්මාශෝක නරේන්ද්‍රයාගේ කැටයම් සහිත ගලින් කළ මාලිගාව දැකීමෙනි. එසේම ඒ නගරෙයහි මහායාන හීනයාන ආගම්වලට අයිති භික්ෂුන් හයසියයක් හත්සියයක් පමණ වාසය කළ විශාල ආරාම දෙකක් ගැනද ඔහු සඳහන් කරයි. සමාජ සේවක කටයුතු ද මේ ප්‍රදේශයෙහි ඉතා හොඳින් පවත්වා ගෙන ආ බවද පෙනේ. වෛශ්‍ය පවුල්වල ප්‍රධානීන් පුණ්‍යාධාර දීම පිණිස නගරවල මධ්‍යස්ථාන ඇතිකොට තිබුණේය. දුගීන්ට, අනාථයින්ට, වැන්දඹුන්ට, අංග විකලවුන්ට, රෝගීන්ට මේ ස්ථානවල බෙහෙත් ආහාර යනාදිය සපයා දී අවශ්‍ය සියලු සැප පහසුකම්ද සලස්වන ලදී.
මෙසේ ඉන්දියාව පිළිබඳ ඔහු විසින් දෙන ලද විස්තරයට වඩා අතිශයෙන් ප්‍රයෝජනවත් ඒවා නම් මධ්‍යම ආසියාවේ එවකට පැවති බෞද්ධ රාජධානිවල තොරතුරය. සාමාන්‍යයෙන් මේ වකවානුවේදී මධ්‍යම ආසියාවේ බෞද්ධ රාජධානිවල නියම තොරතුරු සොයා ගැනීමට ඇති මාර්ග ඉතා විරලය. මොහුගේ වාර්තාවෙන් එහිවූ නොයෙක් රාජධානිවල ස්වභාවික පිහිටීම, ඒවායේ පාලකයින්ගේ නම් ගොත් මිනිසුන්ගේ ආගමික ඇදහීම් ප්‍රධාන ආරාම ආදිය පිළිබඳ තොරතුරු රාශියක් ලබාගත හැකිය. එනිසා ඒ අතින් ෆාහියන්ගේ සංචාරක වාර්තාව උසස් ඓතිහාසිය වටිනාකමක් ඇති එකක් බව කිය හැකිය.
1955 බෞද්ධායතන සඟරාවකට ලේඛකයා ලියන ලද්දකි.
ශාස්ත්‍රාචාර්ය ජයදේව ගුණතිලක
පාහියංගල
පස්යොදුන් සහ කුකුළු යන දෙකෝරළයේ මායිම්ගලව පාහියංගල පර්වතය හමුවේ ඊට එම නාමය ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලුවහොත් විවිධ ජනප්‍රවාද පවතී. ක්‍රි. ව. 5 වන සියවසේ මුල් භාගයේ පමණ අනුරාධපුර රාජධානියේ රජකම් කළ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්‍ෂුව මේ ලෙනෙහි වැඩ වාසය කළ හෙයින් පසු කලෙක මායිම්ගල පාහියංගල නම් ලද බැව් ජනප්‍රවාදයේ පවතී. සුප්‍රකට දේශ සංචාරකයකු වූත්, ධර්ම ගවේෂකයකු වූත් චීන ජාතික පාහියන් භික්‍ෂුව ලංකාවට පැමිණ දෙවර්ෂයක් පමණ මෙරට නොයකුත් පළාත්වල සංචාරය කොට ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඓතිහාසික තොරතුරු රැස්කර ගෙන සිය රටට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. පාහියන්ගේ ගමන් විස්තරය නමින් ඔහු විසින්ම රචිත ඓතිහාසික ග්‍රන්ථයෙන් උන්වහන්සේගේ ගමන් බිමන් සහ ඇස දුටු දේ පිළිබඳව සවිස්තරයක් පැනෙන මුත් ශ්‍රී ලංකාවේ ගතකළ දෙවර්ෂය තුළ වැඩ වාසය කළ ස්ථාන පිළිබඳව සඳහන් නොකරන ලද බැව් එය පරිශීලනය කළ අයගේ අදහසයි.
පාහියන් භික්ෂුව මෙම ලෙනෙහි වැඩ වාසය කළා යැයි යන මතය සාක්ෂාත් කිරීමට තරම් ඓතිහාසික සාධකයක් පෙන්විය හැකිව නැති නමුත් චීන ජාතිකයන් අතර මේ පිළිබඳව බලවත් විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 1940 දී පමණ ලංකාවට පැමිණි චීනයේ තායිෂු සංඝරාජ තුමා දිවයිනේ ගතකළ කාලය තුළදී සිය ජාතික ඉතිහාසයට ආලෝකයක් ගෙන දුන් පාහියන් නාමයට ගරුකරනු වස් මෙම ලෙනට පැමිණ තොරතුරු පරීක්‍ෂා කර ගිය බවට වාර්තා වේ. මෙතුළින් චීන ජාතිකයන් අතර පවත්නා විශ්වාසය මැනවින් පිළිබිඹු වේ.
(අන්තර්ජාලයෙනි)