නිර්මලා සීතාරාමන්ට පසු උතුරට ගිය චීන තානාපති

258

ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් එරට වෙසෙන බලවත්ම කාන්තාවන් අතර ප්‍රමුඛ වේ. පසුගියදා මෙරට සංචාරය කළ ඇය යාපනයේ මෙන්ම ත්‍රිකුණාමලයේද හින්දු කෝවිල් වැඳපුදා ගැනීමට අමතක නොකළාය. දින තුනක් පුරා මෙරට සංචාරය කළ නිර්මලා සීතාරාමන් සිය ගමනේ අවසන් දිනයේ යාපනය නල්ලූර් කෝවිලටද ගියාය. දෙමළ හින්දු කතක් වන ඇය මේ සංචාරය හරහා යාපනය වැසියන්ටද සුහදත්වය දිගු කළාය. ඉන්දීය මුදල් ඇමැතිතුමිය නොවැම්බර් 01 වැනිදා ලංකාවට පැමිණි පසු මුලින්ම ගියේ මහනුවරටය. මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදුටුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහය අගය කරන බව එහි දී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ ඉන්දීය ඇමැතිනිය හමුවේ පවසා තිබිණි. ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලංකීය ජනතාවගේ කෘතඥතාව ඇයට හිමිවන බව ද උන්වහන්සේ සඳහන් කර තිබිණි. මෙම සංචාරයේදී ඉන්දීය ඇමැතිනිය මෙරට බෞද්ධ විහාරස්ඨාන සඳහා සූර්ය පැනල සවි කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 15ක පරිත්‍යාගයක්ද සිදු කළාය. ණය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර තිබුණේ පසුගිය ජුලි මාසයේ බව අපට මතකය. ලංකාව අර්බුදයට පත්ව සිටි අවස්ථාවේ මෙරටට ඩොලර් බිලියන තුනක ආධාර ලබා දීමට මුල්වූයේ මේ ඇමැතිනිය බව පැහැදිලිව සටහන් කළ යුතුය.

නිර්මලා සීතාරාමන්ගේ මෙරට ගමන ගැන විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු කළ සංචාරය ගැන කොළඹ චීන තානාපති කාර්යාලයද පසුවූයේ බලවත් විමසිල්ලෙනි. ඉන්දීය නියෝජිතයා ලංකාවෙන් පිටව ගොස් දින දෙකකට පසු මෙරට චීන තානාපති කී සෙන්හොං ගේ දෙවන උතුරු සංචාරය සිදු කරන ලදී. යාපනය, වවුනියාව, මුලතිව් මන්නාරම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල තෙදින සංචාරයක් සඳහා ගිය අතර එහිදී ඔහු ආධාර ලබාදීම් කිහිපයකට සහභාගි වූ අතර තානාපතිවරයා උතුරු – නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන කිහිපයකටද ගොස් තිබිණි. මේ සංචාරය ගැන කොටි හිතවාදී වෙබ් අඩවි මගින් වැඩි අවධානයක් යොමුකර තිබිණි. චීන තානාපතිවරයා පසුගිය දෙසැම්බරයේ උතුරේ සංචාරය කරන විට ඉන්දීය මාධ්‍ය මේ ගැන විශේෂ පුවත් පල කර තිබූ බව අපට මතකය. එම සංචාරයේදී වේට්ටියකින් සැරසුණු චීන තානාපති නල්ලූර් කෝවිලට පැමිණීම සුවිශේෂ විය. චීන තානාපතිගේ පළමු උතුරු පළාත් සංචාරය පිළිබඳව ඒ දිනවල සමාජ මාධ්‍යවල විවිධ ප්‍රතිචාර දක්නට ලැබිණි. ඇතැමුන් එය යහපත් පියවරක් ලෙස හඳුන්වා දෙමින් කියා තිබුණේ, “අඩුම තරමින් දෙමළ සමාජයට චීන ජනතාවගේ හැසිරීම තේරුම්ගත හැකිය, එය ඉන්දියානුවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය” යනුවෙනි. චීන තානාපතිවරයා යාපනයේ කළ සංචාරය සංස්කෘතික දූත මෙහෙවරක් ලෙස සැලකිය හැකිය. වේට්ටියකින් සැරසී ඔහු උතුරේ දෙමළ ජනයාට විශේෂ පණිවුඩයක් ලබා දුන්නේය. අපි උතුරු ප්‍රදේශයෙත් ව්‍යාපෘති කරන්න කැමතියි. බීජිං හා යාපනය එක්කරන්න කැමති කියන සුබදායී පණිවිඩයක් ලබා දීමට චීන තානාපති කටයුතු කළ බව පෙනේ. “මෙතෙක් දෙමළ ජනයා චීන ජාතිකයන් සමඟ එතරම් මිත්‍රත්වයක් පවත්වා ගෙන නැහැ මෙම සංචාරය දෙමළ ජනතාව සමඟ සබඳතා වැඩිදියුණු කර ගැනීමට විය හැකියි.” යනුවෙන් යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියන් එක්ප්‍රස් පුවත්පත හා ප්‍රකාශ කර තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ හිටපු සාමාජිකයකු වන යාපනයේ පදිංචි ශ්‍රීතරන් තිරුනාවක්කාරසු පැවසුවේ, චීන රාජ්‍ය තාන්ත්‍රිකයකු විසින් සිදුකළ මෙම සංචාරය වඩා සුවිශේෂ බවයි.

2021 වසරේ මුල් භාගයේදී ඩෙල්ෆ්, නාගදීපය, සහ අනලතිව් දූපත්වල පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමට එරෙහිව ඉන්දියාව, ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළ කර තිබිණි. මෙම කොන්ත්‍රාත්තුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරෙන, ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සැපයෙන ආධාරක විදුලි සැපයුම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොටසකි. කෙසේ නමුත් පසුගිය 2022 දෙසැම්බර් 01 වැනිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන දෙමුහුන් විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බවයි. “තුන්වන පාර්ශ්වයකින් ඉදිරිපත් වූ ‘ආරක්ෂාව පිළිබඳ ගැටලු’ හේතුවෙන්” එම පියවර ගත් බව එම නිවේදනයේ සඳහන් විය. තුන්වන පාර්ශ්වය අන් කවරෙක්වත් නොව ඉන්දියාව බව පැහැදිලිය. “සයිනෝ සෝ හයිබි්‍රඩ් ටෙක්නොලොජි” සමාගම ශ්‍රී ලංකාව අතහැර මාලදිවයින් දූපත්වල සූර්ය බලාගාර 12ක් පිහිටුවීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් 29 වැනිදා මාලේ ආණ්ඩුව සමග ගිවිසුමකට අත්සන් කර තිබිණි.

සිය දෙවැනි උතුරු සංචාරයේදී චීන තානාපතිවරයා විසින් ෆාහියන් භාරය මගින් ලංකාවට ලබා වියළි ආහාර ද්‍රව්‍ය පෙට්ටි පන්දහසක් උතුරු පළාතේ ජනතාවට පරිත්‍යාග කර තිබිණි. මෙහි වටිනාකම රුපියල් මිලියන 40කට අධිකය. එසේම උතුරේ විහාරස්ථාන කිහිපයකටද ආධාර පරිත්‍යාග කිරීම සිදු කර තිබිණි. උතුරේ ජනයාද ආර්ථික අපහසුතාවයෙන් පීඩා විඳින අතර චීන බෞද්ධයන් විසින් සිදුකරනු ලැබූ මේ ආධාර පෙට්ටි ඔවුනට අස්වැසුමක් වනු ඇත. එසේම චීන – ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමය මගින් මන්නාරමේ මාතොට බෞද්ධ විහාරයේ පානීය ජල පද්ධතියක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. ඇත්තෙන්ම චීනයේ බෞද්ධ විහාර තිස්තුන්දාහක් ඇති අතර එරට වෙසෙන මිලියන ගණනක්වූ බෞද්ධ ජනතාව සමග මෙම ආධාර එකතු කර ඇත. ඒ ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින මෙරට ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහාය. චීන බෞද්ධ විහාර මගින් ෆාහියන් පදනම් පිහිටුවා ඇති අතර ඒ හරහා මෙරට බෞද්ධයන් වෙනුවෙන් උපකාර කෙරේ. චීනයේ සිටින භික්ෂූන් ප්‍රමාණය ලක්ෂ දෙක ඉක්මවයි. එම භික්ෂුන් වහන්සේලා එරට විහාරස්ථානවලදී ලංකාව වෙනුවෙන් ආධාර එකතුකරන අයුරු චීන තානාපති කාර්යාල ට්විටර් ගිණුමේද දක්වා තිබිණි. මේ ආධාර බෙදීමේ වැඩපිළිවෙළ මුලින්ම ආරම්භ වූයේ අනුරාධපුර අභයගිරි විහාරයෙනි. ඒ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

උතුරේ ධීවරයන්ගෙන් මත්ස්‍ය නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා බව පසුගිය සතියේ යාපනයේ පැවති හමුවකදී චීන තානාපති කී සෙන්හොං මහතා පොරොන්දු වී තිබේ. එය ඇත්තෙන්ම යාපනය ආර්ථිකයට මෙන්ම පොදුවේ මෙරටට වාසිදායකය. “චීනය දෙවන විශාලතම ආර්ථිකයයි. අපට විශාල වෙළෙඳපොළක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරගකාරී නිෂ්පාදන චීනය වෙත අපනයනය කිරීම අපි සාදරයෙන් පිළිගන්නවා. අපට විශාල හැකියාවක් තිබෙනවා… චීන ආයෝජකයන්ට, චීන ව්‍යවසායකයන්ට උතුරු පළාතට පැමිණීමට විශාල උනන්දුවක් තිබෙනවා. චීන ආයෝජකයන් සහ සංචාරකයන් උතුරු පළාතට පැමිණි විට උතුරු පළාත ද ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙන් තානාපතිවරයා සඳහන් කර තිබිණි. යාපනයේ ජනතාව පැවසුවේ චීන තානාපතිවරයාගේ දෙවැනි උතුරේ සංචාරය සම්බන්ධයෙන් මුලදී යම් දෙගිඩියාවක් ඇති වූ නමුත් චීනය ලබා දුන් ආහාර හා වෙනත් පහසුකම් පිළිබඳව යාපනයේ සිවිල් වැසියන් සතුටු වන බව යාපනයේ සිවිල් සංවිධාන ප්‍රධානියෙක් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබිණි.

ඉන්දියාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික බල අරගලයක නිතර වෙමින් සිටින බව අමතුවෙන් කිවයුතු නැත. එම නිසාම කොළඹ චීන තානාපති කී සෙන්හොංග් නැවත උතුරේ සංචාරයක නිරතව වීම පිළිබඳව දිල්ලි බ්‍රාහ්මණයන් උනන්දු වන බව රහසක් නොවේ. දිල්ලිය වඩාත් කලබලවන්නේ උතුරේ චීන ආයෝජන ගැනයි. උතුරේ ජනයාට පොදුවේ චීන විරෝධයක් නැති වුවත් ඉන්දියාව එයට අකමැතිය. නමුත් චීන ආයෝජන හරහා උතුරේ දියුණුව වේගවත් වන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා රජය නොපැකිලිව ඉඩ දිය යුතුය. පසුගිය දෙසැම්බරයේ සිදු කළ උතුරු සංචාරයෙන් පසුව කොළඹ චීන තානාපති කාර්යාලය පවසා සිටියේ, දෙමළ ප්‍රජාවගේ ජීවනෝපාය සහ අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තමන් සොයා බැලූ බවයි. උතුරේ ජනයාට කිව යුත්තේ නිර්මලාගෙන් මෙන්ම චීනයෙන්ද සහය ලබා ගැනීමට කිසිම විටක පසුබට විය යුතු නැති බවයි. උතුර සම්බන්ධයෙන් ඉන්දියාවේ අනවශ්‍ය කලබලය නම් ප්‍රශ්නයකි. චීනය දෙමළ ජනයා අතර ජනප්‍රිය වනු දැකීම දිල්ලියේ අපේක්ෂාව නොවේ. එහෙත් ඒ අපේක්ෂාව ලංකාවට නම් ප්‍රශ්නයකි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment