භාණ්ඩාගාර බිල්පත් මගින් ආණ්ඩුව ණය ගනිද්දී වාර වෙන්දේසි මගින් මහ බැංකුව රු.කෝටි 7000ක් අච්චු ගහලා

1542

හිටපු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න

රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර පසුගිය සතියේ මහ බැංකුව විසින් වාර වෙන්දේසි මගින් රුපියල් බිලියන 70 ක මුදලක් අච්චු ගසා ඇතැයි සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

“මේ ආණ්ඩුවත් සල්ලි අච්චු ගහනවා. ණය ගන්නවා. කබ්රාල්, ගෝඨාභය යුගය අපිට නැවත මතක් වෙනවා. දැන් කෙටිකාලීන මුදල් සම්පාදන යාන්ත්‍රණය ලෙස ක්‍රියාත්මක වාර වෙන්දේසිය හා එක් රැය වෙන්දේසිය හරහා මහ බැංකුව මුදල් මවමින් සිටිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 25 වැනිදා රුපියල් බිලියන 36.16 ක මුදලක් වෙන්දේසියක් හරහා රටේ මුදල් පද්ධතියට පොම්ප කර තියෙනවා. එහි සරල ව්‍යවහාරික අර්ථය ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 36.16 ක් එමගින් අච්චු ගසා තිබෙන බවයි. පසුගිය සතියේ දින 7 තුළ මහ බැංකුව වාර වෙන්දේසි මගින් අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන 70 ක්.

පසුගිය 25 වැනිදා වන විට මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැන්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව රුපියල් බිලියන 193.4 ක්. එම අතිරික්ත ද්‍රවශීලතාව රු. බිලියන 138 ක් ලෙස පැවතුණා. ඒ අනුව මසක් තුළ අතිරික්ත ද්‍රවශීලතාව බිලියන 55.4 කින් ඉහළ ගොස් තියෙනවා.

භාණ්ඩාගාර බිල්පත් හරහා ඊයේ (28දා) දිනයේ තවත් කෝටි 14,500 ක් හෙවත් රු. මිලියන 145,000 ක ණයක් ලබා ගැනීමට මහ බැංකුව කටයුතු කරනවා. රටේ උද්ධමනය පාලනය වෙන්නටත් ආර්ථික ස්ථාවරත්වය ඇති වන්නටත් සල්ලි අච්චු ගැසීම පාලනය විය යුතුයි. නමුත් ඉතා පැහැදිලිවම රටේ ආර්ථිකය අඳුරු වැරදි මාවතකට ඇතුළු වන බව පෙනෙන්නට තියෙනවා”

අකිත පෙරේරා


advertistmentadvertistment