මංගල මහා සෑයට මල් නෙළන සුවඳවත් නැති ජීවිත

411

මල් කඩ පේළිය අලි කඩලා අවුරුදු තුනක් වෙනවා සේරුනුවර ප්‍රාදේශීය සභාව අලුත්වැඩියා කරන්නෙ නෑ…

කොරෝනා පැතිරිලා රට වහලා තිබුණු කාලෙටත් කඩ කුලී අය කරන්න හැදුවා…

මාසෙකට එක දවසක් එක් අයකුගෙන් රුපියල් 15000ක මල් සේරුවිල පන්සලට ගන්නවා…

මල් කඩන්න වැවට බහින්නෙ පාන්දර පහටත් කලින්…කිඹුල්ලු දිය කූඩැල්ලො පිරිලා…

සේරුවිල පන්සලට යන පාරේ මල් විකුණන කිසිම කෙනෙක්ට හරි හැටි නිවසක් නෑ…

එදින ලෝක කාන්තා දිනයයි. ඒ පසුගිය මාර්තු 08 වැනිදාය. ලොව පුරා දුක්විඳින කාන්තාවන් සහ දිරිය කතුන් ගැන කතා කෙරෙන දිනයකි. සමාජ මාධ්‍යයට වැඩ අධික දවසකි. එමෙන්ම ලොව පුරා සියලු මාධ්‍ය විශේෂයෙන් කාන්තාවන් ගැන කතා කරන දිනයකි. කාන්තාවන්ට විශේෂ වූ එදින හිමිදිරියේ සුදුවතින් සැරසී මල් පිරුණු බේසම් හිස මත තබාගෙන සේරුවිල මංගල මහා විහාරය දෙසට ගමන් කරන කාන්තාවන් කිහිප දෙනෙක් අපට මුණගැසිණි. හිමිදිරි පාන්දර දෙනෙත් හි රැඳුණු ඒ දසුන් පෙළට සිත පහන් විය. ඒ පින්වත් කාන්තාවන් අසළ මගේ දෙපා නතර විය.

‘මල් බේසම් උස්සගෙන කොහේද මේ යන්නෙ…’ මම ඔවුන්ට පුංචි පැනයක් ඉදිරිපත් කළෙමි.

‘සේරුවිල පන්සල ළඟ මල් විකුණන්න…’ සිනා මුව පළල් කළ කාන්තාවක් එසේ පිළිතුරු දුන්නාය.

ජීවන වියදම, ඉන්ධන මිල දරාගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇති කාලෙක සේරුවිල වැනි දුර බැහැර සිද්ධස්ථානයක් වෙත වන්දනාකරුවන් පැමිණීම අතිශය අවම මට්ටමක පවතින බව සැබෑය. එවැනි පසුබිමක එකඳු මලක් හෝ විකුණා ගැනීමට නොහැකි වන දවස් අනන්තවත් ඇති බව ද නොරහසකි. එහෙයින් අනුරාධපුර රුවන්මැලි මහා සෑය ආසන්නයේ, කතරගම කිරිවෙහෙරට යන පාරේ මල් වෙළෙඳාම තරම් සේරුවිල මල් වෙළෙඳාම පොහොසත් නැත. සේරුවිල මංගල මහා සෑය ඉදිරිපිට මල් විකුණන කාන්තාවන්ගේ ජීවිත මල් මෙන් පිවිතුරු නැති බව ද ඔවුන්ගේ කතාවෙන් අපට හැඟිණි. එහෙයින් එම කාන්තාවන්ගේ ජීවන තතු තව, තවත් හාරා ඇවිස්සීමට මට සිතිණි.

සේරුවිල පන්සල ළඟ මල් විකුණන අය කී දෙනෙක් ඉන්නවද? කතාව ඉදිරියට පවත්වාගෙන යෑමට තවත් කෙටි පැනයක් යොමු කළෙමි.

‘සේරම තිස්දෙනෙක් ඉන්නවා. ඒත් හැමදාම ඔක්කොම එන්නෙ නෑ. හැමදාම බිස්නස් ඇත්තෙත් නෑ. හොඳටම බිස්නස් තියෙන දවසටත් රුපියල් දෙදහක මල් විකුණගන්න බෑ. ඒ වගේ බිස්නස් එකක් වැටෙනවා නම් මාසෙ ගෙනියන්න හොඳටම ඇති. ඒත් එහෙම නෑ…’ ඒ හඬ නිල්මිණිගේය. වයස අවුරුදු පනස් හයකි. 2009 වර්ෂයේ සිට සේරුවිල මංගල මහා සෑය ඉදිරිපිට මල් විකුණන නිල්මිණීට දරුවෝ තිදෙනෙකි. ලොකු දුව විවාහ වී වෙන් වී සිටින නිල්මිණිගේ එකම පුතා පෞද්ගලික ආයතනයක
රැකියාවක නිරත වී සිටින්නේය. දෙවැනි දුව තවමත් පාසල් යන්නීය. ස්ථිර රැකියාවක් නොමැති තම සැමියා, පාසල් යන දියණියත් ඇයත් ජීවත්වනුයේ මල් වෙළෙඳාමෙන් ලැබෙන ආදායමෙන් බව ඇය අපට කීවේ සතුටු සිතින් නම් නොවේ. එමෙන්ම සේරුවිල මංගල මහා සෑයට යන පාරේ මල් වෙළෙඳාම් කරන කාන්තාවන් බහුතරයකගේ ස්වාමිපුරුෂයන් ස්ථිර රැකියා නොකරති. බහුතරය කුලී රස්සා කරන අතර දෙතුන් දෙනෙක් වගා කටයුතුවල නිරත වී සිටිති.

“කොරෝනා කාලෙ මේ ගම්වල මිනිස්සුන්ට කන්න නැතිව හාමත් වුණා. තේ උගුරක් බොන්න සීනි, තේ කොළ ටික ගන්න වත්කමක් තිබුණේ නෑ. කන්න නැතිව ළමයි කලන්තෙ දාල වැටෙන බව සේරුවිල පන්සලේ නායක හාමුදුරුවන්ට ආරංචි වෙලා එක දිගට මාස හතරක් මේ අවට සියලුම ගම්මානවල පවුල්වලට රෑට පිසූ ආහාර වේලක් ලබා දුන්නා. උදේටයි, දවාලටයි එක වේලක් මොනවහරි කාලා, රෑට අපි බඩ පිරෙන්න කෑවා…” ජීවන දුක එසේ වචන කරනු ලැබූයේ සුමනලතාය. වයස අවුරුදු පනස් දෙකක් වන ඇය සයදරු මවකි. දියණියන් සතර දෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනකුගේ දිරිය මවකි. එක් පුතෙක් හැර සෙසු දරුවන් පස්දෙනාම විවාහ වී සිටිය ද සුමනලතා අදට ද ජීවත්වනුයේ මල් විකුණා ලබන ආදායමෙන් බව ඇය අපට කීවේ ආඩම්බරයෙනි.

එහෙත් මලෙක මෙලෙක තරම් පෙළෙගැසෙන කතාව සියුමැලි නැති බව හැඟේ. ඉන්ධන නොමැතිව රට ගිනියම් වූ කාලයේදී, එකදු වන්දනාකරුවෙක් හෝ සේරුවිලට පැමිණ නැත. මිනිසුන්ට කුලී රස්සාව නැත්තටම නැති වී තිබේ. වගා කිරීමට තෙල්, පොහොර නොමැතිව හේන්, කුඹුරු වල් වැදී ඇත. කරකියා ගැනීමට කිසිවක් නොමැති තැන මල් විකුණන කාන්තාවන් සියලු දෙනා එක්ව සේරුවිල මංගල මහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හාමුදුරුවන් බැහැදැක හදවත් දවාලන ජීවන ගින්න වචන කර ඇත. ජාති, ආගම් බේදයකින් තොරව මිනිසුන්ගේ දුක, වේදනාව සමනය කිරීමට නොපැකිළිව උපකාර කරන අළුදෙණියේ සුබෝධි හාමුදුරුවෝ මල් අම්මල වෙනුවෙන් ද පිහිට වී ඇත. සුළු වශයෙන්ම නොව මංගල මහා සෑයට යන පාරේ මල් විකුණන තිස්දෙනාට මාසිකව රුපියල් පහළොස්දහසක ආදායම් ලැබෙන ආකාරයට එක් අයකුගෙන් දවසකට රුපියල් පහළොස්දහසක මල් මිලදීගෙනය. මල් විකුණන කාන්තාවන් ඉදිරියේදීම, මල් පින්කම සිදුකරන ආකාරය ගැන විමසා බැලීමට දුරකථනය ඔස්සේ අළුදෙණියේ සුබෝධි හාමුදුරුවන්ව අපි සම්බන්ධ කර ගත්තෙමු.

“ඒක හරිම සංවේදී කතාවක්. මාස ගාණකට ඉස්සර දවසක ඔය අම්මලා පන්සලට ඇවිත් මාව මුණගැහිලා ඔවුන් පීඩාවිඳින ජීවන ගැටලු පැහැදිළි කළා. ඒ හැම කෙනෙක්ම කතා කළේ කන්න නැතිව දුක්විඳින දරුවෝ ගැන. මා මුණගැහෙන්න ආපු සමහර අම්මලගේ නිවෙස්වල දවස් ගාණකින් බතක් ඉදිලා තිබුණේ නෑ. පස්සෙ මම කල්පනා කරලා ඔවුන්ට මාසිකව ස්ථිර ආදායම් ලැබෙන විදිහට මල් ගන්න සැලසුම් කළා. ඒත් ඉතිං මුදල් අතින්වත් නොඅල්ලන්න අපි ළඟ සල්ලි නෑ. දවසකට පහළොස්දහස බැගින් දවස් තිහකට හාරලක්‍ෂ පනස්දහසක මුදලක් අවශ්‍ය වෙනවා. විදෙස් රටවල සිටින අපේ පින්වත් දායක, දායිකාවන් කිහිපදෙනකුට කතා කර මල් පින්කම ගැන පැහැදිලි කළාම ඔවුන් හැකි උපරිමයෙන් පින්කමට දායක වුණා. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මල් පින්කම කරගෙන යනවා. හැමදාම උදෑසන එක අම්මා කෙනෙක් රුපියල් පහළොස්දහසකට සෑහෙන්න මල් ප්‍රමාණයක් පන්සලට ගෙනත් භාර දෙනවා. අපි ඒ මල් පුන්කලස්වල තැන්පත් කර උතුම් ලලාට ධාතූන්වහන්සේට පූජා කරනවා. එම පින්කම ආරම්භ කිරීමත් සමඟ සෑම දිනකම මංගල මහා රජුන් අභියස පූජාසන මහා පින්කමක් සිද්ධ කෙරෙනවා. අපිටත්, මූල්‍ය දායකත්වය ලබාදෙන පින්වත් දායක, දායිකාවන්ටත්, මල් රැගෙන එන අම්මලටත් පින්කමට දායක වන සියලුදෙනාට උතුම් පිනක් රැස් වෙනවා…” අළුදෙණියේ සුබෝධි නායක හාමුදුරුවන්ගේ කෙටි දේශනාවෙන් පසු නැවත අපි මල් විකුණන අම්මල දෙසට යොමු වීමු. ඔවුන් පවසන ආකාරයට දැන් සේරුවිල වන්දනාකර ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් ද වැඩි වෙමින් තිබේ. මාසිකව ලැබෙන ස්ථිර ආදායමට දෛනික මල් වෙළෙඳාමෙන් ලැබෙන ආදායමත් සමඟ සතුට දනවන මුදලක් අත ගැවසෙන බව ද ඔවුහු සතුටින් පැවසූහ. එහෙත් කාලයකට පෙර අලි කඩා විනාශ කර දැමූ මල් කඩ පේළිය අලුත්වැඩියා කිරීමට වචනයක්වත් කතා නොකරන සේරුනුවර ප්‍රාදේශීය සභාව, මල් වෙළෙඳාම් කළත් නොකළත් මාසිකව අය කරන රුපියල් 1220 ක කඩ කුලිය නියම වෙලාවට අය කරන බව මල් විකුණන කාන්තාවන් පැවසුවේ කනගාටුවෙනි. කඩ කුලී ගෙවීමට මාසයක් ප්‍රමාද වූ විට රුපියල් 60 ක දඩ මුදලක් අය කරන බව ද ඔවුහු අපට කීහ.

“මේ කඩ පේළියට වල් අලි පහර දීලා දැන් අවුරුදු තුනක් වෙනවා. අලුත්වැඩියා කරන කතාවක්වත් නෑ. ඒත් කොරෝනා පැතිරිලා රට වහලා තිබුණු කාලෙටත් අපෙන් කඩ කුලී අය කරන්න හැදුවා. සේරුවිල පන්සලේ නායක හාමුදුරුවො මැදිහත් වෙලා තමයි ඒක නතර කළේ. 2021 අවුරුද්දේ අලියෙක් ගහලා මම අවුරුදු දෙකක් එක්තැන් වෙලා හිටියා. ඒ කාලයටත් අපේ කඩේට මාසික කුලිය අය කළා. කිසිම තෙතමනයක් නැති නිලධාරීන්. ආදායමක් තිබුණත් නැතත් අපෙන් කඩ කුලිය අය කරනවා…” තවමත් නොණ්ඩි ගහන ශ්‍රියානි ගුණවර්ධන සිවුදරු මවකි. දියණියන් දෙදෙනෙක් සහ පුතලා දෙදෙනෙකි. ඇයට වයස අවුරුදු හතළිස් අටකි. වයසට වැඩි පෙනුමැති හේ ඇවිදිනුයේ අසීරුවෙන් බව දැනුදු පෙනේ. ඇය දෙසින් ඈත් වූ මගේ දෙනෙත් වල් ලියලන මල් කඩ පේළියෙහි නතර විය. වල් වැදෙන ඒ වෙළෙඳ කුටි ඇස ගැටෙන විට දවා හළු වූ හේනක් සේ සිත් මණ්ඩිය ම පාළු වී ගියේය. වැඩි වියදමක් නොමැතිව අලුත්වැඩියා කළ හැකි කඩ පෙළ නවීකරණය නොකිරීම මහා අපරාධයකි. වෙළෙඳ කුටි දෙස බලාගෙන පාර අද්දර මල් විකුණන අසරණ කාන්තාවන්ගෙන් පාවිච්චියට නොගන්නා කඩවලට කුලී ගාස්තු අය කිරීම ද මහා අසාධාරණයකි.

මංගල මහා සෑයට මල් නෙළන සුවඳවත් නැති ජීවිත
අලි කැඩූ මල් කඩ පෙළ

එමෙන්ම සේරුවිල සිංහල ගම්මානවල බොහෝ පවුල් ජීවත් කරනුයේ කාන්තාවන්ය. පිරිමි බහුතරය මත්පැන්වලට ඇබ්බැහි වී පවුල් බර අතහැර කාලකණ්ණි ජීවිත ගත කරන බව ද සැබෑය. කුලී වැඩක් කර පවුල පෝෂණය කරන්න උනන්දු නොවන ඇතැම් පිරිමි හැන්දෑවට කසිප්පු භාගයක් බීමට කෙසේ හෝ රුපියල් පන්සීයක් සොයා ගන්නා බව වටින් ගොඩින් ආරංචි විය. කාවන්තිස්සපුර ගමේ ගෙදරක පෙරන කසිප්පු සේරුවිල ගම් යායටම බෙදාහරින බව පොලිසිය දැන සිටිය ද නීතිය ක්‍රියාත්මක නොකිරීම ප්‍රදේශවාසීන්ට ගැටලුවකි. ‘මහා පරිමාණයෙන් කෙරෙන කසිප්පු තිප්පොළ’ ගැන ගමේ කෙනෙක් පොලිසියට ඔත්තුවක් දෙන සැණින් ‘කසිප්පු ජාවාරම්කාරයා’ දැනගන්නේ කෙසේද යන්න ද ප්‍රදේශවාසීන්ට ගැටලුවකි. පොලිසියේ රාළහාමිගේ සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ව මුදලට යට කරගෙන සිටින ‘කසිප්පු ජාවාරම්කාරයා’ ප්‍රදේශයේ චණ්ඩියෙකි. ගමේ චණ්ඩියාගේ අමන කෙරුම් ගැන අප හොඳින් දැනුවත්ය. එහෙත් පෙළගැසෙන කතාවට ඒවා අදාළ නොවන නිසා නැවත අපි සේරුවිල බේබදු තාත්තලගේ කාලකණ්ණිකම ගැන තව ටිකක් කතා කරමු. ඇතැම් තාත්තලා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට උනන්දු නොවන අතර, තම දරුවන්ට අකුරක් ඉගැන්වීමට දහදුක් විඳින අම්මලාගේ කකුළෙන් ඇද බාධා කරන බව ද අපට වාර්තා විය. දරු පවුල පෝෂණය කරන මල් වෙළෙඳාම කරගෙන යෑමට සැමියගෙන් කිසිදු උපකාරයක් නොලැබෙන බව ඇතැම් මල් අම්මලා කතා කළේ දැඩි වේදනාවෙනි. එමෙන්ම මල් නෙළීමට විඳින දුක ගැන ඔවුන් කතා කළේ දෑස් රතු කරගෙනය. නෙළුම්, දිය බෙරළිය මල් නෙළීමට ඇතැම් කාන්තාවන් වැව්වලට බසිනුයේ පාන්දර පහටත් පෙරය. සේරු විල, සුමේධංකර වැව, කිරිකැටිය වැවේ මල් නොතිබෙන්න ඈත වැව්වලට යෑමට සිදුවන බව ද ඔවුහු අපට පැවසූහ. ඒ පොදු හඬ අතරින් චමිලගේ හඬ ඉස්මතු විය. ඇය තිස්හත්හැවිරිදි තිදෙරු මවකි. වැඩිමහල් දියණිය කසාද බැඳ වෙන් වී සිටින්නීය. දෙවැනි දියණිය හත වසර පන්තියේ සහ තෙවැනි දියණිය හතර වසර පන්තියේ අධ්‍යාපනය ලබන්නාහ.

“වැවට බහින්න ඉස්සර වෙන අයට හොඳයි. අපි දෙතුන් දෙනා එකට වැවට බහින්නෙ. ඒ වගේම දවස් තුනකට සෑහෙන්න නෙළුම් මල් කඩාගන්නත් පුළුවන්. ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි කඩා ගන්නෙ එදිනෙදාට අවශ්‍ය මල් ටික විතරයි. සතියේ දවසකට නෙළුම් මල් විසිපහක්, තිහක් තිබුණොත් හොඳටම ඇති. සතිඅන්ත දවසකට මල්, හැට හැත්තෑවක් විකිණෙන දවස් තියෙනවා. මල් ටිකක් වැඩියෙන් කඩාගන්න ඕන දවසට උදේ හතරටත් ඉස්සර වෙලා වැවට බහින්න වෙනවා. හොඳට වැස්සොත් වැව පිරෙනවා. ඒ දවස්වලට මල් කඩන්න යන්න බෑ. අපි මල් කඩන්නෙ වැවේ බැහැලා, ඇවිදගෙන ගිහින්. වැස්ස දවසට බෙල්ල ළඟට ගිලෙන වතුරේ ගිහින් මල් කඩන අවස්ථා තියෙනවා. ඇඟ පුරා දිය කූඩැල්ලො නඟිනවා. කිඹුල්ලු ඉන්නවා. ඒත් අපි මල් ටිකත් හිස මත තබාගෙන උදේ 7.00 විතර වෙනකම් වැව පුරා ඇවිදිනවා. ලලාට ධාතූන් වහන්සේගේ පිහිටෙන් කිසිම දවසක අනතුරක් නම් වෙලා නෑ…”

“ඉස්සර නම් මල් කඩන්න ගිහින් ගමේ කිහිපදෙනකුට කිඹුල්ලුන්ගෙන් කරදර වෙලා තිබුණා. අවුරුදු දහයකට ඉස්සර මල් කඩන්න වැවකට බැහැපු අයියා කෙනකුගේ කකුළක කෑල්ලක් කිඹුලෙක් කඩාගෙන ගිහින් තිබුණා. මල් කඩන්න කොච්චර දුක්වින්දත් ගෙයක් දොරක් හදාගන්න තරම් ලොකු ආදායමක් මල් වෙළෙඳාමෙන් ලැබෙන්නෙ නෑ. මෙතැන මල් වෙළෙඳාම් කරන කිසිම කෙනෙක්ට හරි හැටි නිවසක් නෑ. මගේ ගෙදර තවම බිමට සිමෙන්ති දාගන්න බැරි වුණා. දැන් නම් ගෙයක් දොරක් හදාගන්න හිතන්නවත් බෑ. හම්බ කරන මුදල ලයිට් බිල්, වතුර බිල ගෙව්වට පස්සෙ කෑමටවත් ඉතුරු වෙන්නෙ නැති තරම්. මේ සැරේ වතුර බිලත් දෙදහස් ගාණක් ඇවිත් තිබුණා. ලයිට් බිල වැඩි වෙලා තියෙන විදිහ හිතාගන්නවත් බෑ. මේ වෙනකම් කලා, ඇඳලා සතුටින් හිටියේ අපේ නායක හාමුදුරුවො හදලා දුන්න ස්ථාවර ආදායම් මාර්ගය නිසයි. දැන් ඒ මුදල ලයිට්, වතුර බිල්වලට ගෙව්වට පස්සෙ ඉවරයි. එහෙමයි කියලා මලක් විකුණන ගාණ වැඩි කරන්න බෑ. අපි මේ වෙළෙඳාම කරගෙන යන්නෙ සල්ලිවලට එහා ගිය පින්කමක් හිතේ පෙරදැරි කරගෙන. ඒ වගේම මේ වෙළෙඳාම කරගෙන යන්නෙ හරිම සතුටින්. ලලාට ධාතූන් වහන්සේට පූජා කරන්න මල් දෙන්න ලැබීම අපි සංසාරයේ කරපු පින් බලවත්වීමක්. ඒ වගේම අළුදෙණියේ සුබෝධි නායක හාමුදුරුවෝ සේරුවිල පන්සලට වැඩම කිරීම මේ ප්‍රදේශයට අලුත් ඉරක් පෑව්වා හා සමානයි. අද අපි සතුටින් ඉන්නවා නම් ඒ උන්වහන්සේට පින්සිද්ධ වෙන්න…” එක දිගට කතා කරගෙන ගිය චමිලාගේ කතා පෙට්ටිය වැසිණි.

පිවිතුරු සිතින් වැටකොලු මලක් රැගෙන මහා සෑයක් වන්දනා කරන්න ගිය එක් මවකට අතරමගදී ගවයෙක් ඇන මියගොස් දෙව්ලොව ඉපදුණු කතාව මගේ මතකයට නැඟිණි. සිත් පහදවාගෙන මල් පූජා කරන්න ගිය ගමනේදී අනතුරට ලක් වී මියගොස් දෙව්ලොව ඉපදුණා නම් පහන් සිත් උපදවාගෙන මල් පූජා කළා නම් ඒ පින කෙසේ වේද? මල් පූජා කිරීමේ පිනේ අනිශංස මෙතෙකැයි කිව නොහැකි තරම්ය. ලලාට ධාතූන් වහන්සේට පූජා කිරීමට මල් විකුණන මේ අම්මලා පින් සිත පෙරදැරි කරගෙන එම කටයුත්ත කරන්නේ නම් මේ දුක්ඛිත ජීවිතයෙන් මිදීමට අපහසු නැති බව සැබෑය. එහෙයින් දිවි සැරිය පැද යෑමට කරන මල් වෙළෙඳමේ මහත්ඵල මහානිශංස අවබෝධ කරගෙන වෙළෙඳාමෙන් ඔබ්බට ගොස් පින්කමක් සේ කරගෙන යෑමට සිත් පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි ඔවුන්ගෙන් සමුගත්තෙමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment