මගේ අත්දැකීම් – 71 කැරැල්ලට 54යි

1375

71 අප්‍රේල් අරගලය ජීවිතයේ අමතක නොවන සිදුවීම් රැසක් එක් කළ කාලවකවානුවක්. ඒ දවස්වල මම සේවය කළේ ලේක්හවුස් ආයතනයේ. අප්‍රේල් කැරැල්ල සිදුවෙන කාලය තුළ මට ඔරියානා පලචි හඳුනාගන්න ලැබුණා.

ඇය ඔය කියන යුගයේ ලෝකෙ ජනප්‍රියම පුවත්පත් කලාවේදිනිය ලෝකේ වැඩිම ආදායමක් ලබන පුවත්පත් කලාවේදිනිය ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඇය කොතැනකට ද යමක් ලියන්නේ, එය නැවත වෙනත් රටවල පවා උපුටාගෙන පළ කරනු ලබනවා.

මගේ අත්දැකීම් - 71 කැරැල්ලට 54යි

ඉතාලි ජාතික පුවත්පත් කලාවේදිනියක් වූ ඇය මෙතරම් ජනප්‍රිය වීමට හේතු වුණේ අරගලයත් සමග සම්බන්ධ මාධ්‍යවේදිනියක් වීම.

කොතන ද ජනතාවගේ නැඟී සිටීමක් වෙන්නෙ, අරගලයක් එන්නෙ, ඔරියානා අනිවාර්යයෙන්ම එතන ඉන්නවා. ඒ හේතුව නිසා ඇය ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම කැරලි හා සම්බන්ධව වියට්නාම් යුද්ධය වේලාවේ එතන ප්‍රධාන චරිතයක් ලෙස ඇය හිටියා. කාම්බෝජයේ සටන්වල ප්‍රධාන චරිතයක්. ඒ නිසයි ඇයට වටිනාකමක් ආවේ.

කැස්ත්‍රෝලා, චේලා විතරක් නෙමෙයි සදාම් හුසේන්, එතකොට මැදපෙරදිග රජවරු හැමෝම වගේ පෞද්ගලික මිත්‍රයන් වගේ ඇසුරු කළා. මාධ්‍ය නිසා ඇයට එවැනි සම්බන්ධතාවක් ගොඩනැඟුණා. ඔය වගේ පසුබිමක් තියෙන ඔරියානා පලචි ලියපු ‘මෑන්’ කියන කතාවේ පනාහෙලින් කියන ප්‍රධාන චරිතය අහනවා, මම මෙච්චර වධ විඳිනකම් මට වධ දෙනකම්, මට මරණ දඬුවම නියම කරනකම් මගෙ නඩු විභාග කාලේ උඹ කොහෙද හිටියෙ කියලා.

මගේ අත්දැකීම් - 71 කැරැල්ලට 54යි

එතකොට ඔරියානා උත්තර දෙනවා ලාඕස්, කාම්බෝජ්, නොමිපෙන්, ට්‍රයිකන් අතරෙ කොළඹ කියලත් කියනවා. මගෙ නම් ඇඟ හිරිවැටිලා ගියා කොළඹ කියලා තියෙන කොට. මොකද කොළඹ ඇවිත් මාව තමයි මුණගැසුණේ ඔරියානා.

රෙක්ෂි සිල්වා වීක් එන්ඩ් පත්තරේ. ඒ කාලේ ඔරියානා ගියාට පස්සේ වීක් එන්ඩ් එකේ හෙඩ් ලයින් එකේ ගියා ‘හයස්ට් ෆස්ට් ජර්නලිස්ට් ඉන් ද වර්ල්ඩ් කේම් ඇන්ඩ් ගෝන්’ කියලා. ඔරියානා ඇවිත් යනකම් කිසි කෙනෙක් දන්නෙ නැහැ.

මට හැකි උපරිමයෙන් ඒ කාලෙ ඔරියානා සමග එක්වී මාධ්‍යයට සහ අපේ කැරැල්ලට සෑහෙන වැඩ කොටසක් කළා. ලෝකයේ මම පිළිගන්න ප්‍රධාන ම මාධ්‍යවේදිනිය ඇයයි. ඇය ලංකාවට එන්නෙ 71 කැරැල්ල හේතු කරගෙනයි. ආණ්ඩුව මගින් අප්‍රේල් 5දා කැරැල්ල මර්දනය කිරීම ඇරඹීමත් සමග ඇය ලංකාවට පැමිණියා.

ඔරියානා පලචි මා මුණගැසීමට පැමිණියේ ඔබ්සවර් පුවත්පතේ සිටි ඒ වන විට කැනඩාවේ වාසය කළ කීර්ති අබේසේකරගේ මඟපෙන්වීමෙන්. කීර්ති ලංකාවේ සිටි අවධියේ ගවේෂණාත්මක පුවත්පත් කලාව සම්බන්ධයෙන් උනන්දු වූවෙකි.

ඔරියානා ලංකාවට පැමිණ මා මුණගැසුණා. මම අපේ උදව්වට චන්ද්‍රගුප්ත වීරවර්ධන ද එක්කර ගත්තා. බොහෝවිට බොහෝ ස්ථාන වෙත චන්ද්‍රගුප්ත, මම, ඔරියානා එක්ක ගියා. 71 කැරලි සමයේ ඔරියානාට අවශ්‍ය වුණා යම් යම් අය මුණගැසෙන්න. ඇයට අවශ්‍ය වුණේ අරගලය මෙහෙය වූ අය මුණගැසීමට නොවෙයි. සාමාන්‍ය සටන්කාමීන් හමුවීමයි ඇයට අවශ්‍ය කළේ.

අපි ඉතාම රහසිගත විදියට සටන් තිබුණු පැතිවලට ගියා. ඒ සටන්කාමීන් කීපදෙනකු හමුවුණා. ඒ අතර ඔරියානාට අවශ්‍ය කළා අරගලයට සම්බන්ධව සිරගත වූවන්ගේ කාන්තාවන් හමුවීමට. අපි ඒ අවස්ථාවත් ඇයට උදාකර දුන්නා. අරගලයට සම්බන්ධව සිරගත වූ ස්වාමිපුරුෂයන්ගේ භාර්යාවන් හා ඔරියානා මුණගැසුණේ රහසිගතව කොළඹ කොටුවෙ හෝටලයකදී. ඔරියානා ඒ කළ සම්මුඛ සාකච්ඡා හරි වැදගත් ඒවා.

71 කැරැල්ල පිළිබඳ ලෝකයම දන්නවා. ඔරියානාට අවශ්‍ය කළා කැරලිකරුවන් කැරලිකාරියන් සමග සම්මුඛ සාකච්ඡා කරන්න. ඒ ගොල්ලෙන්ගෙ දේ බලන්න.

ඔරියානා සති තුනක් පමණ ලංකාවේ ගත කර යන්නට පෙර පැවසූ දෙයක් මට අද වගේ මතකයි. ‘මම ලෝකෙ හැමතැනම කැරලිකාරයෝ එක්ක සම්මුඛ සාකච්ඡා කරලා තියෙනවා. ඒත් මට මේ වගේ බුද්ධිමත් පිරිසක් ලෝකෙ කිසිතැනක හමුවෙලා නෑ’ කියලා.

ඒ කාලේ අපි තැනින් තැනට ගියේ පොඩි ෆොක්ස්වැගන් මොරිස්මයිනර් ටැක්සිවල. මට ඉස්සරවෙලා ඔරියානාට තේරෙනවා ටැක්සිය කවුරුහරි ලුහුබඳින බව. දෙතුන් වතාවක් ම කවුරුහරි අපිව ලුහුබැන්දා. ඉතින් අපි ඒ වගේ අවස්ථාවල ටැක්සිය මාරු කළා. නැත්නම් ගමන නැවැත්තුවා. අපි ලුහුබැන්ද පිරිස පොලිසිය හෝ රහස් පොලිසිය විය හැකියි. මම විදේශිකයෙක් එක්ක යන එක ගැන ඒ අය උනන්දු වෙන්න ඇති. මොකද ඔරියානා ගැන, ඔරියානා යනකම් කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. එහෙත් මා පිළිබඳ විශාල සැකයක් ඒ අවධියෙ පොලිසියට තිබුණා.

ලංකාවේ බොහෝම දෙනෙක් ඒ කාලෙ ඔරියානා පලචි ගැන දන්නෙ නැහැ.

මාධ්‍යවේදියෝ කියන්නෙ කොච්චර සුන්දර වස්තුවක් ද කියලා මට හිතුණා. ඔරියානා පලචි මොනතරම් කැප කිරීමක් ද කරන්නේ. සත්‍ය සොයාගෙන සත්‍ය පස්සෙ ලුහුබඳිනවද? ඒ අතරම කොච්චර ලස්සනට වටහාගෙන තියෙනවද? මේ ජනතාව රජයකට විරුද්ධව නැඟී සිටීමේ සාධාරණත්වය. රටවල්වල කුමන්ත්‍රණ තියෙයි. ඒත් ජනතා නැඟීසිටීම කියන්නෙ ඊට වැඩිය වෙනස් දෙයක්.

ඔරියානා මාත් සමග පෞද්ගලිකව කතා කරනවිට කියපු දෙයක් තිබුණා. ‘මේ වගේ තමයි ලෝකෙ හැම තැනකම බුද්ධිමත් තරුණ පරපුර තමයි නැඟී සිටින්නෙ. ඒ අය රටේ ජනගහනයෙන් සුළු කොටසක් වෙන්න පුළුවන්. ඒක තමයි රටක තියෙන බලසම්පන්න ම දෙය. ඔවුන් මර්දනය කරනවා ලෝකෙ හැමතැනම. එහෙත් කවදා හෝ මහ ජනතාව තේරුම් ගනියි ඔවුන් හරි කියලා.’

වියට්නාම් යුද්ධය අවස්ථාවේදීත් ඇය යුද බිමට ගියා. ඒ අවස්ථාවල කන ළඟින් වෙඩි උණ්ඩ ගිය හැටි ඇය ‘මෑන්’ පොතේ සටහන් කර තිබෙනවා.

අපේ 71 කැරැල්ල සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර සිටියේ එය ඉතාම සාධාරණ කැරැල්ලක් බව අපේ අරගලය මෙහෙය වූ පිරිස හා බුද්ධිය සම්බන්ධයෙන් ඇය තුළ ඉතාමත් පැහැදීමක් තිබුණා.

ආණ්ඩුවේ මර්දනයට හැමදාම ඇය විරුද්ධයි. ඇය දන්නවා රටක ජනතාව නැඟී සිටින්නේ නිකං සෙල්ලමකට නෙමෙයි කියලා. පීඩාව තියෙන රටවල්වල තමයි ජනතාව නැඟී සිටින්නේ. විශේෂයෙන්ම තරුණ පරපුර, එය ඇය අත්දැකීමෙන් දන්නවා.

ඔරියානාගෙ වටිනාකම තවදුරටත් වැඩි වෙන්නේ මාධ්‍යවේදියා කියන්නේ කවුද කියන එක ඇය දන්නවා. මාධ්‍යවේදියා කියන්නේ රටක ආණ්ඩුවකට කඩේ යන කෙනෙක්වත් ආණ්ඩුව ජනතා නැඟී සිටීමක් මර්දනය කිරීම හමුවේ එය සාධාරණීකරණය කරන කෙනෙක්වත් නෙමෙයි. මේක මුළු ලෝකෙටම පොදුයි. කොතන ද අරගලය එතැන ඉන්න මාධ්‍යවේදිනියක් හැටියට ඔරියානා ප්‍රසිද්ධයි. ඒකෙන් තමයි ඇය ලෝකයේ ජනප්‍රියම මාධ්‍යවේදිනිය බවට පත්වුණේ.

ඇය ලංකාවෙන් ගිහිල්ලා කාලෙකට පස්සේ ජේ.ආර්. බලයට ආවා. ඒ වෙලාවේ ඇය මට ලියුමක් ලියලා අහනවා පසුගිය වකවානුවට වැඩිය දරුණු වකවානුවක් දැන් තියෙනවා කියලයි පේන්නේ. ඉතින් එදා කැරලි ගහපු තරුණ තරුණියෝ දැන් කෝ? අද ඔවුන් මොකද කරන්නේ? කෝ ඒ දේ නැති වුණා ද කියලා ඇය ප්‍රශ්න කළා.

හැත්තෑ එකේ මගේ පෞද්ගලික අත්දැකීම් වචනවලට පෙරළන්න අපහසු තරම්. ජේ.වී.පී. අප්‍රේල් 05 කැරැල්ල ඇරඹෙන්නට මාස ගාණකට ඉස්සර වෙලයි සී.අයි.ඩී. එක අපේ ගෙදරට ආවේ. ජේ.වී.පී. එක පෝස්ටර් ගහන්න කලින් මම කොල්ලො ටිකක් එකතු කරගෙන පෝස්ටර් ගැහුවා. ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරුද්ධව. ඒ වෙන කොට මම දන්නැහැ ජේ.වී.පී. කියලා එකක් තියෙනවා කියලා. අප්‍රේල් 05 ගහනවා කියලා මම දැනගෙන හිටියා. වැල්ලවායෙ පොලිසියට ගැහුවා කියපුවාම හිතට දැනුණෙ ලොකු ප්‍රබෝධයක්. මම හිතනවා ජ.වි.පෙ. හැත්තෑ එකේ අනුගමනය කළේ කියුබාව කරපු දේ. ක්‍රැස්ත්‍රෝ කරපු දේ කියලා. ගැහුවා ගන්න පුළුවන් කියන එක. ඒත් ක්‍රැස්තෝටත් බැරි වුණා ඒක. මේගොල්ලොත් බැලුවා ගහලා ගන්න බැරිවුණා. පස්සේ පසු බැසලා ක්‍රැස්ත්‍රොල් වගේ ගරිල්ලා සටනක් කරනවා කියලා හිතන්න ඇති. මොකද එක විදිහට විප්ලව කරන්න බෑ රටවල් දෙකක. මොකද සමාජ පසුබිම, මිනිසුන්ගේ සිතුම් පැතුම්, භූගෝලීය තත්ත්වය, පරිසරය, සංස්කෘතිය ඔක්කොම බලන්න ඕන. හැබැයි එකක් තියෙනවා ලංකාවේ ඉතිහාසය වෙනස් කළ කැරැල්ලක් හැටියට එය හැඳින්විය යුතු වෙනවා. මම පිළිගන්න හැටියට ලංකාවේ සිදුවෙච්ච විශාලතම දේශපාලන ක්‍රියාවලිය 71 කැරැල්ලයි. මොකද එතැනින් මහා ජනතාවක් අවදි වුණා. ලොකු අවබෝධයක් ජනතාව ලැබුවා. සන්නද්ධ අරගල කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා. ඒ අවබෝධය දීපු එකම වටිනවා. ඉතිහාසය විසින් කවදා හරි තීරණය කරයි විජේවීර, ජනතා විමුක්ති පෙරමුණ එදා කරපු දේ හරි ද වැරදි ද කියලා. අද වෙනතුරු ලංකා දේශපාලනයේ වැදගත්ම දේ තමයි 71 කැරැල්ල.

හැබෑ නිර්ධන පන්තියක් ඉන්නවයි කියන එක පෙන්නුවේ ජනතා විමුක්ති පෙරමුණ හැත්තෑ එකේ.

ඉන්පසු 88, 89 යුගයේ රට තුළ පැවැති තත්ත්වය හා 71 සංසන්දනය කළහොත් අහසට පොළව වගේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකියි. මොකද එදා විජේවීර වුණත් ඇතුළෙ හිටියා. ගත්ත හැටියෙ මැරුවෙ නැහැ. 88, 89 වුණේ මර්දනයක් නෙමෙයි ඊටවඩා වෙනස් භයානක තත්වයක්.

හැත්තෑ එකේ සිදුවුණේ විප්ලවයක් කරන්න උත්සාහ කරපු කැරැල්ලක්. ඒ පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය ලබා ගැනීමට ඔරියානා කළ සේවය ඉමහත්. අවසන් වශයෙන් මම එක ප්‍රාර්ථනයක් කරන්න කැමැතියි. ඔරියානා වගේ මාධ්‍යවේදිනියක් නැවත බිහිවෙයි කියලා හිතන්න අපහසුයි. එහෙත් ඇයගේ එක දශමයක ලක්ෂණ තියෙන මාධ්‍යවේදියො හෝ බිහි වෙනවා නම් ඉතා වැදගත්.

මේ වෙලාවේ මට ඔරියානා එවපු ලිපියක් සම්බන්ධව මම දිනපොතේ ලියපු සටහනක් මතක් වෙනවා. එය මා සටහන් කළේ 1986 අගෝස්තු 4දා.

ඔරියානා පලචිගේ හුඟාක් කාලයකට පස්සෙ අද ලියමනක් ලැබුණා. ඇය මගේ ජීවිතයට නව පණක් දුන්නා. ඔරියානා මුලින්ම හමු වූ දිනය මට මතක් වෙනවා. නවසිය හැත්තෑ එකේ අප්‍රේල් මාසයේ එක් දිනයක මට ඇගෙන් පණිවුඩයක් ලැබුණා.

එදා රජය කී අන්දමේ ත්‍රස්තවාදියකු හමු වී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ඇය ආශාවෙන් හිටියා. මාඕ සේතුංලා, චේ ගුවේරලා, ක්‍රැස්ත්‍රෝලා හමුවී ලෝකයට විප්ලවයේ සත්‍යය පැවැසූ ඔරියානා පලචි එදා මොන තරම් සුන්දර දවසක් ද? මම මගේ ‘ත්‍රස්තවාදී මිතුරකු’ සමග ඇය හමුවීමට ගියෙමි. ඇය ඇසූ ප්‍රශ්නයක් මට අද වගේ මතකයි.

“විප්ලවයක් කරන්නට හැදුවේ ඇයි…?”

“පීඩිත පන්තියට විමුක්තියක් ලබාදීමට” පිළිතුරු දුන්නේ මොන තරම් ආඩම්බරයකින් ද?

“උඹේ රටේ පීඩිත පන්තිය කියන්නේ කවුද?”

“මේ රටේ සියයට අනූ නවයක්ම පීඩිත පන්තිය. ඒක අපි දන්නවා.”

“උඹලා මැරෙන්න බය නැද්ද?”

“අපෝ නැහැ. මැරෙන්නට බය නැති නිසයි විප්ලව කරන්න ගියේ. අපි මැරුණත් අපි කරන දේ හරිනම් ප්‍රශ්නයක් නැහැ.”

එදා ඔරියානා පලචි චේ ගුවේරා ගැනත්, මාඕලා ගැනත් ලෙනින්ලා, මාක්ස්ලා ගැනත් කතා කළ හැටි මට මතකයි.

“මේ රටේ තරම් බුද්ධිමත් තරුණ කොටස් මට ලෝකයේ කිසිම තැනක හම්බවෙලා නැහැ.”

මගේ ‘විප්ලවවාදී’ මිත්‍රයා සිප ගනිමින් ඇය එසේ කී අයුරු මට මතකයි.

මගේ අත්දැකීම් - 71 කැරැල්ලට 54යි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවංගත
සුනිල් මාධව පේමතිලක
(2001 ‘සැරිසර’ට ලියූවකිනි)


advertistmentadvertistment