නෙළුම් කුලුන ආතල් වැඩක්
ප්‍රධාන චරිත කළ චිත්‍රපට හතරක් එන්න තියෙනවා
උපන් රට අතහැරීම දුකක්

ඉලංගෝ රාම් අධ්‍යක්‍ෂණයෙන් තිරන්‍යා පෙරේරා නිෂ්පාදනයෙන් තිරගත වීම ආරම්භ කළ නෙළුම් කුලුන සිනමා නිර්මාණයෙන් අපට කාලෙකට පස්සෙ තුසිත ලක්නාත්ව දැකගන්න හම්බවෙනවා. තුසිත මේවෙනකොට ලංකාවේ නෑ. හැබැයි ඔහුගේ රඟපෑම් රිදී තිරයෙන් අපිට දකින්න ලැබෙනවා. තුසිත ලංකාව දාල ගිය හේතුව වගේම ඔහු දැන් මොකද කරන්නේ? ආපහු ලංකාවට එනවද? ඔහු රඟපෑ නෙළුම් කුලුන ගැන ඔහුට මොකද හිතෙන්නේ කියලා දැන ගන්න අපි තුසිතට කතා කළා.

මට දැන් ලංකාවේ බිම් අඟලක්වත් නෑ…

තුසිත කොහොමද ඉතිං?

හොඳින් ඉන්නවා.

දැන් ලංකාවේ නැහැ නේද?

මම ඇත්තටම දැන් අවුරුදු තුනක විතර ඉඳලා ජීවත් වෙන්නේ එක්සත් රාජධානියේ. මගේ පශ්චාත් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි ලංකාවෙන් ආවේ. දැන් අධ්‍යාපන කටයුතු අවසන්.

ඇයි ඔබ ලංකාවෙන් ගියේ?

මට ලංකාවේ තිබුණ සියලුම ඉඩකඩම් එහෙම විකුණලා දාලා තමයි ආවේ. දැන් මට ලංකාවේ බිම් අඟලක්වත් නැහැ. මෙහේ ජීවත් වෙනවා කියන අදහසක තමයි දැනට ඉන්නේ. දැන් මමයි මගේ බිරිඳයි මෙහේ රස්සාවක් කරනවා.

මට දැන් ලංකාවේ බිම් අඟලක්වත් නෑ…

ඔබ ගැන ලංකාවේ මේ දවස්වල කතාබහ වෙනවා?

ඔව්. කතාබහ ගොඩනැඟෙමින් තිබෙනවා කියලා මටත් පේනවා. මීට අවුරුදු තුනකට කලින් මම රඟපෑ මගේ අවසන් චිත්‍රපටය ඉලංගෝ රාම් අධ්‍යක්‍ෂණය කළ ‘නෙළුම් කුලුන’ මේ දිනවල ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කරලා තිබෙනවා. එහි ප්‍රධාන චරිතයක් මමත් නිරූපණය කරනවා. ඒ පිළිබඳව යම්කිසි කතා බහක් ගොඩනැඟිලා තිබෙනවා මමත් දැක්කා.

නෙළුම් කුලුනේ පොඩි පුතා ගැන කතා කළොත්?

පොඩි පුතා කියන්නේ දිනපතාම මත්පැන් පානය කරන තාත්තා එක්කත් මත්පැන් පානය කරන ජීවිතය ගැන ලොකු බරක්පතලක් ඇතිව ජීවත් නොවන පවුලේ බාලයා නිසාම දඩබ්බර ගතියක් තිබෙන චරිතයක්. පොඩි පුතාගේ විශේෂත්වය ගොඩනැඟෙන්නෙත් ඒ පවුලේ තිබෙන විශේෂත්වය හින්දයි. චිත්‍රපටයක් විදිහට ගත්තොත් නෙළුම් කුලුන මගේ ජීවිතයේ සුවිශේෂී චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

මට දැන් ලංකාවේ බිම් අඟලක්වත් නෑ…

මෙහි අධ්‍යක්‍ෂ ඉලංගෝ රාම් ඔබට මුණ ගැසෙන්නේ කොහොමද?

ඉලංගෝ රාම්ව මට මීට කලින් හමුවෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් අධ්‍යක්‍ෂවරයෙක් විදිහට. චිත්‍රපටයකදී පළමු වතාවට හමුවෙන්නේ මේ චිත්‍රපටයේදී. මෙහි විශේෂත්වය වන්නේ අධ්‍යක්‍ෂ පිටපත් රචක සහ කැමරා අධ්‍යක්‍ෂ කියන කාරණා තුනේදීම තමයි මට ඉලංගෝව මුණගැසෙන්නේ. මට අනෙක් අධ්‍යක්‍ෂවරුන්ට වඩා ඉලංගෝ සුවිශේෂියි. තමන්ම නිර්මාණය කරපු පිටපතක් මත පදනම් කරගෙන ඒක අධ්‍යක්‍ෂණය කරන ගමන් ඒකෙ රූප අමුණනවා කියන එකත් සුවිශේෂී වැඩක්. ඒ තුනම එකට කරන අධ්‍යක්‍ෂවරු හරි අඩුයි. ඒක බරපතළ කටයුත්තක්. මේක අපිට නිතර දකින්න නොලැබෙන බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපටයක්.

පොඩි පුතා වෙනුවෙන් මොන වගේ කැපකිරීම් ද කරන්න සිදුවුණේ?

මම හොඳට රඟපෑවා කියලා ප්‍රේක්‍ෂකයෝ කියපු ගොඩාක් චරිතවල මට පොදු ලක්‍ෂණයක් තිබුණා. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතුළේ මගේ විශේෂ ලක්‍ෂණයක් දැක්ක නම් ඒ දැකපු කතාන්දරවල පොඩි සුවිශේෂත්වයක් තිබුණා. ඒකට මූලිකම හේතුව තමයි තුසිත ලක්නාත් වන මම තාත්තත් එක්ක තියෙන සම්බන්ධය කොයි වගේද කියන එක ඩිපෙන්ඩ් වුණා, මම දක්‍ෂ විදිහට රඟපෑවා කියන චරිත එක්ක. තාත්තා එක්ක ගොඩනැඟුණ චරිතයක් තමයි මට කරන්න හම්බවුණේ.

තුසිතට තාත්තත් එක්ක මොන වගේ සම්බන්ධයක් ද තිබුණේ?

මට අවුරුදු හතරේදී විතර මගේ තාත්තා මගේ අම්මත් එක්ක වෙන් වෙලා යනවා. ඊට පසුව මම ජීවත් වෙන්නේ අම්මත් එක්ක. මට අවුරුදු 10ක් වගේ වෙද්දි තාත්තා අපෙන් සමු ගන්නවා.

අවුරුදු හතරේදී තාත්තා වෙන් වුණා. අවුරුදු 10 දී තාත්තා නැති වුණා. ඒ කාලයේදී මම තාත්තාව දැකලා තිබුණෙවත් නැහැ. තාත්තා කියන ලෝකය මගේ ජීවිතය ඇතුළේ බ්ලෑන්ක්. මම ලංකාව අතහැරලා එන්න හේතුවත් මම තාත්තා වීම ඇතුළේ තිබුණ වගකීම හින්දයි. මම තාත්තා කෙනෙක් විදිහට මට තවදුරටත් ලංකාව දරාගන්න බැරිවීම, ලංකාවේ ජීවත්වීම මගේ දරුවන්ට තවදුරටත් කරන අසාධාරණයක් විදිහට සිතීම එක්ක තමයි ලංකාව දාලා යන්නෙත්. මම පවුලේ දෙවැනියා. මට අයියා කෙනෙක් ඉන්නවා නෙළුම් කුලුනේ පොඩිපුතා හින්දා මට මගේ ජීවිතයේ තිබුණ අත්දැකීම්, මතකයන්, ඝට්ටන, එකඟවීම් කියන දේවල් අවුස්සගන්න පුළුවන් වුණා. ඒක සුවිශේෂී දෙයක්. නළුවාගේ වෘත්තිය තමයි රඟපෑම. මම එතැනදී අමුතු කැපකිරීමක් කරනවා කියනවාට වඩා මගේ ජීවිතයත් එක්ක තිබුණ සහසම්බන්ධය එක්ක වැඩ කරන්න හම්බුණා. මේ පිටපතේදී මේ චිත්‍රපටයේ සමස්ත කාස්ටින් කියන එකම වැඩක්. මේ වගේ කාස්ට් එකක් එක්ක එකම චිත්‍රපටයක වැඩ කරනවා කියන එකම අපූරු වැඩක්. විවිධ තලවල ඉන්න නළු නිළියෝ එක්ක වැඩ කරන්න ලැබීමම මාර වැඩක්.

නෙළුම් කුලුන ඔබට නරඹන්න පුළුවන් වුණාද?

ඇත්තටම මට නෙළුම් කුලුන නරඹන්න පුළුවන්වුණා. මම ඒක නැරඹුවේ ස්කොට්ලන්ඩ්වල ග්ලාස්ගෝ ෆිල්ම් ෆෙස්ටිවල් එක තිබුණා. යූකේවල ඉඳලා මම ග්ලාස්ගෝවලට ට්‍රැවල් කරලා නැරඹුවා. මම ඇත්තටම බයේ ගියේ. චිත්‍රපටයට මොකක් වෙලාද දන්නේ නැහැ කියලා. ලෝකය පුරා සිටින සිනමා රසිකයන්ගෙන් හවුස්ෆුල් වෙච්ච රංග ශාලාවක තමයි මට මේක නරඹන්න හම්බ වුණේ. මේක බැලුවට පස්සේ මට හැඟුණේ මේක ආතල් වැඩක්, මේක ලංකාවේ වැඩ කරයි කියන හැඟීම මට ආවා. පුංචි කාලේ ඉඳලා නළුවෙක් විදිහට මම බලාපොරොත්තු වෙච්ච දෙයක් තිබ්බා. මෙවැනි චිත්‍රපටයක රඟපානවා කියන එක මට චූටි කාලේ ඉඳලා තිබුණ අදහසක්. ප්‍රේක්‍ෂකාගාරයත් එක්ක ඉන්න වැඩක රඟපාන්න ඕනෑ කියන එක මම සිහින මවපු දෙයක්.

ඔබ විසින් නළු නිළිවරණය සිදුකළ “වාලම්පුරි” ළඟදීම තිරගත වෙනවා නේද?

2025 අවුරුද්ද කියන්නේ ලංකාවේ සිනමාවට අලුත් බලාපොරොත්තුවක්. පුනරුදයක් වෙන අවුරුද්දක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ මම රඟපෑ චිත්‍රපට කිහිපයකුත් තිරගත වීමට නියමිතයි. ඒ වගේම විවිධ ආකාරයෙන් අපි පසුගිය කාලයේ සිනමාවත් එක්ක සම්බන්ධ වුණා. ඒ අතරින් ලක්මාලි ධර්මරත්නගේ වාලම්පුරි කියන චිත්‍රපටයට මම කාස්ටින් ඩිරෙක්ටර් විදිහට සම්බන්ධ වුණා. ඊට කලිනුත් මම ඔහුගේ ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ කාස්ටින් ඩිරෙක්ටර් විදිහටත් සම්බන්ධ වුණා. නමුත් කූඹියෝ ටෙලි නාට්‍යයේ ඒක නිල වශයෙන්ම සඳහන් කළේ නැහැ. ඒ වුණාට ‘වාලම්පුරි’ චිත්‍රපටයට මමයි, සේවියර් කනිෂ්කයි එකතු වෙලයි කාස්ටින් වැඩේ කළේ. අපූරු වැඩක් වෙයි කියලා මමත් හිතනවා. මේ අවුරුද්ද සිනමාවට පොඩි ආතල් වෙන අවුරුද්දක් වේවි කියලත් බලාපොරොත්තුවක් තියෙනවා.

තවත් චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවාද?

ඉලංගෝ රාම්ගේ ‘නෙළුම් කුලුන’ තමයි මම අන්තිමට රඟපෑ චිත්‍රපටය. 2022 ජූලි මාසයේ තමයි රූගත කිරීම් සිදු කළේ. ඒ වගේම 2018 රූප ගත කරපු ‘සිංගා’ චිත්‍රපටය තියෙනවා තිරගත වෙන්න. තව ත්‍රීවීල් ඩයරීස්, තවත් එකක් තියෙනවා කොහොම හරි මම ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට හතරක් විතර තියෙනවා තිරගත වෙන්න. ඊට අමතරව මම සහාය චරිත රඟපෑ තවත් චිත්‍රපට තුන හතරක් තිබෙනවා.

ඇයි ඔබ ලංකාව දාලා ආවේ?

ඇත්තටම මම ලංකාව දාලා ආවා කියන කාරණාවට මිශ්‍ර හැඟීමක් තියෙන්නේ. 2022 වසර වෙකොට මම ලංකාවේ හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගේ චිත්‍රපටවල රඟපෑවා. උදාහරණයක් හැටියට ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි, අනුරුද්ධ ජයසිංහ වගේ ප්‍රවීණ සම්මානලාභීන්ගේ චිත්‍රපටවල වැඩ කළා. ඊට අමතරව අලුත් අයගේ පළමු චිත්‍රපටයේ මම වැඩ කරලා තියෙන ප්‍රමාණය වැඩියි. තිසර ඉඹුලාන, ලක්මාල් ධර්මරත්න, ඩෙන්ස් පෙරේරා, ඉලංගෝ රාම් වගේ කිහිපදෙනෙක් ඉන්නවා. නමුත් ඒ ගොඩක් චිත්‍රපට ඒ අදාළ රඟපෑම ඉවර වෙලා අවුරුදු හය හත ගෙවිලා තියෙන්නේ. සිංගා චිත්‍රපටයට අවුරුදු හතක් විතර වෙනවා. අවුරුදු 14කට පස්සේ තමයි නිනෝලයිව් එළියට ආවේ.

ඊට පස්සේ මාව මිනිස්සු දැනගත්තේ දෙවැනි ඉනිමේ රණේගේ චරිතයෙන්. ඒක අවුරුදු හතරක් විකාශය වුණ මෙගා වැඩක්. එක පැත්තකින් මම සිනමා නළුවෙක් වෙන්න ආසවෙලා සිනමා නළුවෙක් වීමේ බලාපොරොත්තු තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ කියල හිතපු කෙනෙක්. නමුත් අපිට ආර්ථිකව පැවතෙන්න වුණේ මෙගා ඇතුළේ. මම කොටස් අටසිය ගාණක ටෙලිනාට්‍යයක් ලියලා තියෙනවා. හිරු තනිවෙලා ලිව්වේ මම. මෙන්න මේ ප්‍රතිවිරෝධතාවය හින්ද වගේම එක පැත්තකින් ආර්ථිකව යහපත් වීමේ වුවමනාව, අනෙක් පැත්තෙන් නළුවෙක් වීමේ වුවමනාව කියන කාරණා දෙක හැප්පිල හැප්පිලා අන්තිම මොහොතේ 2022 ආර්ථික අර්බුද මැද්දේ සියල්ලම හිර වුණාට පස්සේ ඒ කියන්නේ බිත්තිය ගාවටම හිර වෙනවා කියලා දැනුණට පස්සේ මම තීරණය කළා ලංකාවෙන් යනවා කියලා. මම පිළිගන්නේ නැහැ ඒක මට අපරාධයක් කියලා. ඒ වෙලාවේ මම මගේ පවුල වෙනුවෙන් ගත්තු හොඳම තීරණය. මට තියෙනවා ගිල්ට් ෆීලින් එකක්. තුසිත ලක්ෂාන් කියන නළුවාට කරගත්තු අසාධාරණයක් කියලත් හිතෙනවා. දැන් පසුගිය අවුරුදු තුනේදී මට කිසිම නිර්මාණයකට දායක වෙන්න හම්බ වුණේ නැහැ. හැබැයි මම එංගලන්තයේ ජීවත්වෙන ලාංකික ප්‍රජාවත් එකක් වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. ඉන්ඩස්ටි්‍රය මිස් වුණා. මෙහෙ එහෙම ඉන්ඩස්ටි්‍රයක් හදා ගන්නවා කියන්නේ ලේසි නැහැ. නමුත් අපි උත්සාහ කරනවා මෙහේ ඉඳලා වැඩ කරන්න. මෙහේ ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ක චිත්‍රපටයක් නිර්මාණය කරන්න වුවමනාවෙන් ඉන්නවා.

ඇත්තම කිව්වොත් උපන් බිම අතහරිනවා කියන එකේ දුකක් තියෙනවා. මෙහේ හිටියා කියලා මට එංගලන්තයේ හීන පෙනෙන්නේ නැහැ. ලංකාවේ හීන, ලංකාවේ කෑම බීම, ලංකාවේ සුවඳ ඒක මාර හැඟීමක්. ලංකාව මිස්වෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. සීත කාලේ නින්ද යන්නේ නැති තරම් තත්ත්වයක් එනවා. යාළුවෝ නැහැ. කාත් එක්කවත් කතා කරන්න විදිහක් නැහැ. ලංකාව අතහරින කිසිම කෙනකුට සියයට සියයක් ලංකාව අමතක කරන්න බැහැ.

හොඳම කාලයේ නේද ලංකාව දාල ගියේ?

මගේ හොඳම කාල කිහිපයක් ගෙවිලා තියෙනවා. 2007 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා වුණා. යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවා වුණා. 2007 වසරේ සම්මාන තුනක් හම්බ වුණා. ඒ අවුරුද්දේ අවුරුදු පහකට පස්සේ දෙවැනි පාර උසස් පෙළ කරලා විශ්වවිiාල වරම් හිමි වුණා. 2007 වර්ෂය කියන්නේ මට හොඳම කාලය වගේ දැනිච්ච කාලයක්.

ටෙලි නාට්‍යවල බූස්ට් වෙන්න පටන් ගත්තේ 2007 වර්ෂයෙන්. එක එක කාල තිබෙනවා. හොඳම කාලය කියලා කියන්නේ අපේ තෝරා ගැනීම් එක්කනේ. දැන් මේ වෙලාවත් මගේ හොඳම කාලය කියලා පෙනෙන්න පුළුවන්. මම හොඳම කාල ගණනාවක් පහුකරලා තියෙනවා. නරක කාලත් පහු කරලා තියෙනවා. අතිශය නරක කාලත් ගත කරලා තියෙනවා. මේ චිත්‍රපටය අවසන් වෙද්දි ඒක නිල වශයෙන් අවසන් වීමක් තියෙනවා. මේක එක්තරා විදිහකට හොඳ කාලයක් විදිහට පිළිගන්නවා.

පසුගිය අවුරුදු දෙකේ මම මගේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න සෑහෙන මහන්සි වුණා. රස්සා කිහිපයක් කළා. බැංකුවලට මිතුරන්ගෙන් ගත්තු ණයවලට මුදල් දාන්න තිබුණා. මොකද ඒ වරදකාරී හැඟීම්වලින් මම සෑහෙන විදිහට පෙළුණා. ඒ හින්දම මගේ ඇඟේ කිලෝ අටක් බර අඩු වුණා. ඉතිං ඒවත් එක්ක පසුගිය කාලය ගෙවලා දැමුවා. දැන් අලුත් කාලයක්. අලුත් යුගයක්. අලුත් ආණ්ඩුවක්. අලුත් දේශපාලන තත්ත්වයක්. අලුත් සමාජ තත්ත්වයක්. ඒක හොඳ කාලයක් විදිහට මම පිළිගන්නවා.

දිනේෂ් විතාන


advertistmentadvertistment