මතට ඇබ්බැහි වූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමට රාගම පොලිසියෙන් ආදර්ශවත් වැඩක්

45

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍යයන්වලට ඇබ්බැහි වූ තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ රාගම – කඩවත පොලිස් වසම් දෙක ඒකාබද්ධව දලුපිටිය ජයසුමනාරාම විහාරස්ථානයේදී 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

එම පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ රාගම පොලිස් වසමෙන් තිස් දෙනකු සහ කඩවත පොලිස් වසමෙන් තිස් දෙනකු සහභාගි කරවා ඇත. දින 14 ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ එම තරුණයන් මුළුමනින්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමේ වැඩසටහන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ දින 14 පුරාම මෙම තරුණයන්ට ආහාරපාන ඇතුළු සියලු පහසුකම් සපයන අතර පළමු දින 7 කඩවත පොලිසිය මගිනුත්, අවසන් දින 7 රාගම ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ මූලිකත්වයෙනුත් සිදු කෙරේ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිගේ මැදිහත්වීමෙන් එම ප්‍රජා සත්කාරයේ පළමු දින සිංහ සමාජයේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරන අතර, අවසාන දින සමාජ ක්‍රියාකාරිකයකු සහ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියකු වන දිනාත් කුරුවිටආරච්චි මහතාගේ අනුග්‍රහයෙන් සිදු කරනු ලබයි. අනෙකුත් දිනයන්හි කටයුතු ප්‍රජා පොලිස් කමිටු 28 ක සභාපතිවරු ඒකාබද්ධව සිදු කරති.

මෙම ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයකු ලෙස කටයුතු කරන ඔබරෝයි සූපවේදී දේශබන්දු තිලක් රත්නසිරි මහතා මෙම සියලු දිනයන්හි උදේ, දිවා, රාත්‍රි ආහාර පිළියෙල කිරීම විශේෂත්වයකි.

ප්‍රජා පොලිස් පරීක්ෂක උපේක්ෂ මහතා මෙම සත්කාර දායකත්වය ලබා දීමට ඉමහත් වෙහෙසක් දරන අතර පො.සැ. ගලප්පත්ති (33489), පො.කො. ගමගේ (26196), පො.කො. කණිෂ්ක (77963), පො.කො. පුෂ්පකුමාර (98192), පො.කො. සිල්වා (96803), පො.කො. දමිත් (102538), පො.කො. ධර්මප්‍රිය (103283), පො.කො. ලක්ෂිත (102422) යන මහත්වරු මෙම සත්කාරය ඉටු කිරීමට විශාල කැපවීමකින් කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment