මතින් නිදහස් දරු පරපුරක්

22

ජුනි 26 වැනි දිනට යෙදෙන මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ලොව බොහෝ ස්ථානයන්හි මත්ද්‍රව්‍ය වැළැක්වීමේ හා ප්‍රතිකාර පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වේ. එහෙත් ලොව සෑම රටකම පාහේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මත්ද්‍රව්‍ය ජාවාරමට පහසු ලෙස යොදා ගැනීමට හැකි වීම නිසා රට තුළට විවිධ මත්ද්‍රව්‍ය සැපයීම පහසු වී ඇත. මෙය ලංකාව තුළ වර්ධනය වීමට සාධකයක් බවට හඳුනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව හෙරොයින්, කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන සංඛ්‍යාව බිලියන 2ක් බවත් මද්‍යසාර භාවිතය බිලියන 2ක් වේ. දුම්වැටි භාවිතයත් නිසා මෙයට ඇබ්බැහි වී රෝගාබාධවලට පත්වීම හා මරණයට පත්වන ප්‍රමාණය විශාලය. එමෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය නිසා පිළිකා, සෙංගමාලය, HIV ඒඩ්ස් වැනි රෝගවලට ගොදුරුවන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. මනෝවර්ථක මත්ද්‍රව්‍ය භාවිතය නිසා සැලකිය යුතු සංඛ්‍යාවක් මානසික රෝගීන් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය ද සතුටුදායක නොවේ. හෙරොයින් භාවිතා කරන ලක්ෂයකට ආසන්න පිරිසක් ද ගංජා භාවිතා කරන ලක්ෂ 3කට අධික පිරිසක් ද වෙති. ශ්‍රී ලංකාව තුළ 50%ක් බන්ධනාගාරගත වී ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු සඳහාය.

මෙම මත්ද්‍රව්‍ය භාවිතය නිසා පාසල් හැරයෑම, විවිධ සමාජ ගැටලුවලට හසුවීම, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, ආර්ථික ගැටලුවලට පත්වීම හා සංස්කෘතික අර්බුදයන් ද පැනනැඟීම ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය භාවිතය නිසා පවුලේ සතුට, දියුණුව විනාශ වන අතර සමාජයක් ලෙස ගොඩනඟාගෙන තිබූ සාරධර්ම අහිමි වීමට ද ඉඩ සැලසී ඇත. අප රට තුළ අතීතයේදී පැවැති විස්තීරණ පවුල තුළ මව, පියා හා ඥාතීන්, අසල්වාසීන්, දරුවන් රැකබලා ගැනීම හා ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම සිදුකළ ද වත්මනෙහි පවතින න්‍යෂ්ටික පවුල තුළ මව, පියා, දරුවා පමණක් වීම තුළ දරුවාට අදාළ ආරක්ෂාව, පෝෂණය ආදිය පෙර මෙන් නොලැබේ. මෙම සමාජ රටාව තුළ මව රැකියාවට යෑමත්, විදේශගත වීමත්, දරුවන් දෙමාපියන්ගෙන් ඈත්ව වෙනත් භාරකරුවන් ළඟ හැදී වැඩීමත් යන කරුණු මත පවුල යන සංකල්පය බිඳවැටී ඇත. මෙහිදී මවගෙන් ඉටුවූ භූමිකාව එසේම ඉටු නොවන අතර එබැවින් දරුවන්ට ආදරය, දයාව නොලැබී යයි. පියාගේ පෞරුෂය, ආරක්ෂාව, මවගේ ආදරය, සෙනෙහස නියම ආකාරයෙන් සෞඛ්‍ය සම්පන්න දරුවකු
ගොඩනැඟීමට අත්‍යාවශ්‍ය වේ. කලල අවස්ථාවේ සිට පියාගේ හැසිරීම, මවගේ හැසිරීම ඔවුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවාට බලපෑම් ඇතිකරනු ලැබේ. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සෘජුවම දරුවාට විවිධ මානසික, කායික ගැටලු ඇති කිරීමට ඉවහල්විය හැක. උපත් බර අඩු දරුවන් මෙන්ම විවිධ අක්‍රමකතා ඇති දරුවන් ද මව්පියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බිහිවිය හැක.

පවුල තුළ සතුටින්, සහජීවනයෙන් වැඩිහිටියන් හා හැදෙන දරුවා නිර්මාණශීලීව සංවේදී බවින් යුතුව වැඩේ. එවැනි දරුවන් වැඩිහිටි බවට පත්වීමෙන් පසුව ද සමාජය තුළ යහපත් පුද්ගලයෙක් ලෙස හැසිරේ. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් හා කටයුතු කිරීමේදී ලත්අත්දැකීම් තුළින් මේ බව පසක් වේ. පවුලක මත්ද්‍රව්‍ය භාවිතා කරන පියා හෝ වැඩිහිටියකු සිටී නම් ඔවුන්ගේ භාවිතය හා හැසිරීම් දරුවන්ගේ පැවැත්මට බලපෑම් ඇති කරයි. පවුලක් තුළ මත්ද්‍රව්‍යවලට ලබාදෙන වටිනාකම එය තබා ඇති ස්ථානය දරුවන් ද කෙදිනක හෝ භාවිතයට යොමුවීමට සාධකයක් වේ. මේ භාවිතය පිළිබඳ දක්වන ප්‍රතිචාර අපට මත්ද්‍රව්‍ය නිවාරණයේදී බරපතළ ප්‍රශ්නයක් වේ.

ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිතයේදී දේශගුණික – කාලගුණික තත්ත්වයන්, අවස්ථානුකූලව මිතුරු ඇසුර, මිථ්‍යා මත විශ්වාස ප්‍රචාරණය සුලබත්වය යන ආදී කරුණු බලපෑම් ඇතිකරනු ලබයි.

උදාහරණයක් වශයෙන් සීතල, දේශගුණික සාධකයකි. “සීතලට බොන්න ඕනෑ”

අවස්ථානුකූලව විවාහ මංගල්‍ය, අවමංගල්‍ය, ක්‍රීඩා උත්සව, ජයග්‍රහණ, පරාජයවීම්, දුක, සතුට වැනි සාධක මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වේ. මිතුරු ඇසුර විග්‍රහ කිරීමේදී සම වයස් කණ්ඩායම් වැඩිහිටි අය සමග ආශ්‍රයන් ආශ්‍රිතව බොහෝ අය මත්ද්‍රව්‍ය භාවිතයට හසුවී ඇත.

“පිරිමියෙක් නම් බොන්න ඕනෑ, බිව්වෙ නැත්තම් පිරිමියෙන් නොවේ” යනුවෙන් මිථ්‍යා මත විශ්වාස පැවතීම.

ප්‍රචාරණයේදී නොයෙකුත් නීති රීති මත පුවත්පත්වල රූපවාහිනියට වාරණ පැනවිය හැකි වුවද ජංගම දුරකථන මඟින් (Social Media) අපේ දරුවන්ගේ මනස විශාල වශයෙන් විනාශ කරනු ලබයි. කොතරම් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකළ ද නාගරිකව මෙන්ම ගම්බදව ද ඕනෑම මත්ද්‍රව්‍යයක් මිලදී ගැනීමට හැකියාවක් පවතී. එය සුලබත්වයේ ප්‍රමාණය පෙන්නුම් කරයි.

දරුවන්ගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමෙන් දරුවන් වගකිව යුතු පිරිසක් බවට පත් කිරීමට හැකි අතර ඔවුන්ට කුඩාකල සිටම මතින් නිදහස්ව සතුටින් ජීවත් විය හැකි බව වැඩිහිටියන් විසින් ආදර්ශවත්ව හැසිරීමෙන් උගත හැකිය. දරුවන් තළ පැනනැඟෙන ඉගෙනීම පිළිබඳ අපහසුතා, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ බෙහෙවින් දක්නට ලැබේ. එවැනි දරුවන්ට උපදේශනය ලබාදීමට ගුරුවරුන්ට හැකියාව තිබිය යුතුය. එමෙන්ම ආදරය,

ලිංගිකත්වය, ස්ත්‍රී – පුරුෂභාවය පිළිබඳ දරුවන්ට කුඩාකල සිටම නිවැරදි අධ්‍යාපනය ලබාදී යුතුය. නොඑසේ නම් ඔවුන් සම වයස් කණ්ඩායම තුළින් ඉහත කී කරුණු පිළිබඳව පිළිතුරු සොයා ගැනීමට උත්සාහ කරනු ඇත. බොහෝ අවස්ථාවල වයස අවුරුදු 13 – 18 කාලසීමාවේදී දරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට පවුල තුළ දෙමාපියන්, යහළු මිත්‍රයන් ලෙස උපකාරක සබඳතා ඇතිකර ගැනීමෙන් මත්ද්‍රව්‍ය භාවිතය හෝ වෙනත් ගැටලුවලට හසුවීම අවම කරගත හැක.ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් ලෙස තරුණ දරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය ආශ්‍රයෙන් රැඳී සිටිති. රාජ්‍ය හා රාජ්‍ය නොවන ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ද තරුණ පිරිස් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටිති. තවමත් දෙමාපියනට, වැඩිහිටියනට නීතියේ රැහැනට හසු නොවූ දරුවන් මෙම හෙරොයින්, ගංජා, අයිස් (මෙතන්පිටමින්) මත්පෙති, දුම්වැටි, මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන භාවිතා කරමින් සමාජයේ ජීවත්වන බවත් ඔවුන් අපේ රටේ අනාගතය බවත් කිව යුතුය. එසේ හෙයින් දරුවන්ගේ සුන්දර ළමා කාලය දරුවන්ට නිදහසේ සතුටින් සිටීමට වගබලා ගැනීම ඔවුන්ගේ දෙමාපියන්ගේ පමණක් නොව අප කාගේත් වගකීමකි.

මතින් නිදහස් දරු පරපුරක්

කුමුදිනී ජයතිලක
මතින් තොර දේශයක් (ලේකම්)
ඔක්ස්පර්ඩ් ලංකා මෙඩිකල් කැම්පස්කථිකාචාරිනි
සහකාර අධ්‍යක්ෂ/විශ්‍රාමික
අන්තරායකර ඖෂධ පාලක
ජාතික මණ්ඩලය

advertistmentadvertistment
advertistmentadvertistment