ඉන්දීය හමුදා ප්‍රකාශක කර්නල් සොෆියා කුරේෂි ‘ත්‍රස්තවාදීන් අයත් ප්‍රජාවේ සහෝදරියක්’ ලෙස හඳුන්වමින් ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවක ඇමැතිවරයකු වන විජේ ෂා කළ ප්‍රකාශය එරට මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.
කර්නල් සොෆියා කුරේෂි සම්බන්ධයෙන් කළ මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මධ්‍ය ප්‍රදේශ් අමාත්‍ය විජේ ෂාට එරෙහිව නඩු පැවරීමට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මහාධිකරණය නියෝග කර ඇති බවත් එරට මාධ්‍ය කියයි.
“ත්‍රස්තවාදීන් අපේ හින්දු සහෝදරයන්ගේ ඇඳුම් ගලවා ඔවුන් මරා දැමුවා. අපේ සහෝදරියන් වැන්දඹුවන් බවට පත් කළා. ඒ නිසා මෝදි අගමැතිතුමා ත්‍රස්තවාදීන්ට පාඩමක් ඉගැන්වූවා. ත්‍රස්තවාදීන්ට එල්ල කළ ප්‍රහාරය ගැන ලෝකයට කියන්නට අගමැතිවරයා ඔවුන්ගේම සහෝදරියක් යොදා ගත්තා” යැයි භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන විජේ ඇමැතිවරයා සඳහන් කර තිබිණි.
වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං සහ කර්නල් සොෆියා කුරේෂි දිල්ලියේ පැවැති ඉන්දීය හමුදා මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය හමුවේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කළහ. එල්ල වන චෝදනා නිසා අමාත්‍යවරයා පසුව එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන තිබේ.
චතුර පමුණුව