මට තවම අවුරුදු පහළොවයි

දැක්ක ගමන් වශී වී
යාවි කාවත් මුලා වී
ආපු පාරේ පිපේ වී
මල් කුමාරි සැරිසරාවී…

මල් කුමරිය ගැයූ කවුද මේ ඩැෆඩිල්

මේ දිනවල ඔබ කාගේත් සිත් ගත් “මල් කුමරිය” ගීතයේ ගායිකාව ඩැෆඩිල් කඩුපිටිය කියන්නේ වයස අවුරුදු පහළොවක පුංචි දැරිවියක්. ඇයට පිහිටි යුනික් වොයිස් එක නිසාම අද ඔබ කා අතරත් ජනප්‍රිය පුංචි ගායිකාවක් බවට පත්වෙලා “මල් කුමරිය” ගීතයට මිලියන 7කට වැඩි පිරිසකගේ ආදරය දිනා ගන්නට ඇය වාසනාවන්ත වී තිබෙනවා. ඉතින් මේ නිසාම “මල් කුමරිය” ගීතය පිළිබඳව කතා කරන්නට අප ඩැෆඩිල්ව “මීවිත” සමග කතාබහකට සම්බන්ධ කරගත්තා.

මුලින්ම අපිට පවුලෙ විස්තර ටිකක් කියමු?

මගේ නම ඩැෆඩිල් කඩුපිටිය. මට වයස අවුරුදු 15යි. මගේ ගම කුරුණෑගල. මගේ පාසල Royal International College කුරුණෑගල. මම ඉගෙනුම ලබන්නේ දහය වසරේ. මගේ පවුලේ ඉන්නේ අප්පච්චී, අම්මී, මල්ලි, නංගිලා දෙන්නයි, මමයි. මගේ අප්පච්චි රංගන ශිල්පියෙක්.

මල් කුමරිය ගැයූ කවුද මේ ඩැෆඩිල්

සංගීතයට යොමු වුණේ කොහොමද?

මම sing කරන්න හරි ආසයි. ඊට පස්සේ තමයි Hiru star season 4 ඇප්ලයි කරලා Hiru Star ගියේ. හිරුස්ටාර්වල සුපර් 24 round එක වෙනකම්ම හිටියා. එතනින් ඉවත් වුණාට පස්සෙ Music කරන්න මම කැමති නිසාම ලස්සන සිංදුවක් කරලා release කළා.

Hiru Star යන්න ගෙදරින් Application දැම්මේ කවුද?

මම shopping mall odition එකෙන් තමයි සිලෙක්ට් වුණේ. එදා ෂොපින් කරන්න අපේ ගෙදර අය Havelock City Mall ඵ්කක එකට ගිහිල්ලා එද්දී මම අප්පච්චිත් එක්ක ගියා. ගිහිල්ලා එතැනදී Sing කරලා තමයි සිලෙක්ට් වුණේ.

Hiru Star වැඩසටහන නිසා ලැබුණ ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ගොඩක් හොඳයි. හිරු ස්ටාර් නිසා තමයි ඇත්තටම ගොඩක් අය මාව දැන ගත්තේ. ඇත්තටම ඉතින් මම හිතනවා මම හිරුස්ටාර් සීසන් 4 එකට ඇප්ලයි කරලා හොඳ තීරණයක් ගත්තා කියලා.

පාසලේදිත් සංගීතය විෂයක් විදියට හදාරලා තියෙනවද?

නැහැ. මම පාසලේ නම් සංගීතය හදාරන්නේ නැහැ. මගේ අම්මිට ලස්සනට sing කරන්න පුළුවන්. ඒ හැකියාව තමයි මටත් ඇවිල්ලා තියෙන්නේ. මම සංගීතය ගැන ලොකු දැනුමක් ලබාගත්තේ හිරු ස්ටාර්වලින් තමයි.

“මල් කුමරිය” ගීතය නිර්මාණය වුණේ කොහොමද?

මල් කුමරිය ගීතයට මියුසික් කළේ ප්‍රගීත් පෙරේරා අයියා. ඒ වගේම ලිරික්ස් කළේ හර්ෂණ කේ. පෙරේරා අයියා. මේ ගීතය සිලෙක්ට් කළේ අප්පච්චි. මොකද මම හිරුස්ටාර් එකෙන් ඉවත් වුණාට පස්සේ හොඳ සින්දුවක් කරන්න ඕනෑ කියලා අපි තීරණය කළා. එතැනදී අපි බැලුවා මේ වැඩේට කාවද සම්බන්ධ කරගන්න ඕනෑ කියලා. හර්ෂණ අයියව අප්පච්චි අවුරුදු දහයක විතර ඉඳලම දන්නවා. හර්ෂණ අයියා අපිට සිංදු දෙකක් කරලා දුන්නා. එතැනදී මගේ වයසත් එක්ක අප්පච්චි තීරණය කළා මේ “මල් කුමරිය” සින්දුව හොඳයි කියලා. ඊට පස්සේ තමයි ප්‍රගීත් අයියත් සම්බන්ධ කරගෙන ඒ හැමෝගේම උපරිම සහයෝගය ලබාදීලා මේ සින්දුව අපිට හොඳ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ.

Music Video එක හැදුනේ කොහොමද?

සංදේශ් බණ්ඩාර අයියා තමයි මියුසික් වීඩියෝ එක කළේ. ඇත්තටම ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෑ, මොකද “මල් කුමරිය” මේ තැනට ගේන්න වීඩියෝ එක පැත්තෙනුත් සංදේශ් අයියා උපරිම සහයෝගයක් අපට ලබාදුන්නා.

“මල් කුමරිය” release කළායින් පස්සේ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා මුලදී හිතුවද?

ඇත්තටම මගේ අප්පච්චිට ඕනෑ වුණා මේ ගීතය ලංකාවේ හොඳම තැනකට එන තත්ත්වයට හදන්න. ඒකට අපිට පොඩි බාධාවකුත් වුණා. හිරුස්ටාර් ඉන්දැද්දි අප්පච්චියි මායි කරපු TikTok ගිණුම හැක් කළා. ඊට පස්සේ ආයේ අලුතින් ගිණුමක් පටන් අරගෙන මාසයක් ඇතුළත මිලියනයක් Like, followers ලා පනස්දාහක් විතර අපි දෙන්නා එකට sing කරලා, වීඩියෝ කරලා දාලා ආයෙම ලබා ගත්තා. ඒ එකවුන්ට් එකෙන් තමයි අපි “මල් කුමරිය” ගීතයේ ප්‍රමෝෂන් කළේ. ඉතින් මේ ගීතයට මේ වෙද්දි මිලියන හතකට වැඩි පිරිසකගේ ආදරය ලැබිලා තියෙනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අප්පච්චිගෙනුයි, අම්මිගෙනුයි ගොඩාක් ලොකු සහයෝගයක් ලැබෙනවා. අප්පච්චි රංගන ශිල්පියෙක් නිසා අප්පච්චිගෙනුත් ඒ පැත්තෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ හැම දේකටම පිටිපස්සෙන් ඉඳන් දිරිමත් කරන්නේ, මට ශක්තියක් වෙන්නේ මගේ ගෙදර අය තමයි.

මේ දවස්වල මඟතොටේ යනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක් අය මාව අඳුර ගන්නවා. ඉතින් ඇත්තටම ඒ වගේ ප්‍රතිචාර ලැබෙන එක ගැන සහ මෙහෙම හැමෝගෙම ආදරය ලැබෙන එක ගැන මට හරිම සතුටුයි.

සංගීතය දිගටම හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවද, ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

ගායිකාවක් වෙන්න තමයි කැමැති. ඒ නිසා දිගටම music continue කරන්න තමයි මගේ ආසාව තියෙන්නෙ.

මේ ක්ෂේත්‍රයේ ඔබට සහය වූ පිරිසවත් අපි මතක් කරමු

රුවන් සර්, සචිනි මිස් හිරු ස්ටාර් ඉන්න කාලේ මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ක්ෂේත්‍රයේ ඉන්න අයත් මට ගොඩක් උදව් කරනවා. Copy Chat ගියාමත් මගේ මේ වයසට තියෙන යුනික් වොයිස් එක ගැන ගොඩක් අය කතා කළා. ඇගයුම් ලැබුණා. ඒ හැමෝම දිරිගැන්වීම් කරමින් හොඳ සහයෝගයක් ලබා දෙනවා.

ප්‍රසංගවලටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවාද?

ඔව්. එහෙම අදහසක් තියෙනවා. දැනට ප්‍රසංග කිහිපයකට ආරාධනාත් ලැබිලා තියෙනවා.

පාරමී කෞෂිකා


advertistmentadvertistment