අවුරුදු 20ට වඩා වැඩි සියලුම කාන්තාවන් සෑම මාසයකම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවත් එහිදී පියයුරුවල යම් ගැටිත්තක්, වල ගැසීමක්, පියයුරුවල වර්ණයේ වෙනසක්, තනපුඩුවලින් යම් ශ්‍රාවයක් පිටවන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතු බවත් පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
පියයුරු පිළිකා පිළිබඳව කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඇය එසේ කියා සිටියාය.
අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවන් අවුරුදු 3කට වතාවක් සායනික පරීක්ෂාවකට යොමුවිය යුතු බවත් අවුරුදු 40ට වැඩි කාන්තාවන් වාර්ෂිකව සායනික පියයුරු පරීක්ෂාව සිදුකරගත යුතු බවත් ඇය කීවාය.
දැනට දිවයින පුරා පියයුරු සායන 26ක් ඇති බවත් ඒවා රෝහල් තුළ හා රෝහල්වලින් පිටත ඇති බවත් සුවදිවි සායන තුළින්ද පියයුරු පරීක්ෂාවන් සිදුකරගත හැකි බවත් ඇය සඳහන් කළාය.
කාන්තාවන් පියයුරු පිළිකා රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ඔවුන්ව නිරතුරුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය කීවාය.
මෙම වසරේ පියයුරු පිළිකාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වනුයේ පියයුරු පිළිකාවට කිසිවකුත් තනිවම මුහුණදිය යුතු නැත යන්නයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්