ලංකාවේ එක් කලෙක එනම් 1900 සිට 1930 දක්වා කාලය තුළ ඕලන්ද ගෘහ භාණ්ඩ කෙරෙහි මහජනයා කොතරම් සැලකිල්ලක් දැක්වූවාද කිවහොත් පෙට්ටගම්, ඇඳ පුටු, සෝෆා ආදී පැරණි ඕලන්ද ගෘහ භාණ්ඩ තැනීම සඳහා විශේෂ ස්ථාන මෙන්ම පසු කලෙක ඒවා වැඩි වටිනාතම භාණ්ඩ ලෙස වෙළෙඳ ඉල්ලුමක් ඇතැයි විශ්වාසයක් ද ඇති විය. ලංකාවේ ඕලන්ද ගෘහ භාණ්ඩ පිළිබඳව පොතපත ආශ්‍රයෙන් කරුණු සොයා ගැනීම අතීතයේ මෙන්ම අදත් උගහට වුවත් මහාචාර්ය ජෝශප් පියසර් ලියන ලද ලංකාවේ යුරෝපීයන් සහ මහනුවර රජවරුන්ගේ සිංහාසයන මැයෙන් රචිත ග්‍රන්ථය කියවීමෙන් එහිලා යමක් විස්තර කරන්නට මාර්ගෝපදේශයක් සැලසිණි.
මේ සම්බන්ධයෙන් ඕනෑ වනුයේ 17 වැනි සහ 18 වැනි ශතවර්ෂවල ඕලන්ද ගෘහභාණ්ඩ පිළිබඳ විශේෂඥයෙක් ද ඕලන්ද පුරාණ ලේඛන භාර නිලධාරියෙක් සහ මේ විදියේ භාණ්ඩ එකතු කරන්නාවූ විමංශකයෙකුත්ය.
මේ ලිපිය සඳහා සම්බන්ධ වූ පිරිස වනාහි විශ්‍රාමලත් ආණ්ඩුවේ පැරණි ලියකියවිලි භාර නිලධාරියා වූ ඊ. රයිමර්ස් මහතා, වික්ටෝරියා සහ ඇල්බර්ට් කෞතුකාගාරයේ කේ.ඩී.පී. කොඩ්රින්ටන් මහතා යටතේ බටහිර සහ නැඟෙනහිර කලා අංශ භාරව කටයුතු කළ ඇස්. සන්මුගනාදන් මහතා සහ මමත් ය.
ලංකාවේ යුරෝපීය ගෘහභාණ්ඩ
මේ කාර්යය සඳහා මට ඇති එකම සුදුසුකම වනාහි මාගේ නීත්‍යනුකූල වෘත්තිය හා සම්බන්ධ කටයුතු කරගෙන යන අතරම ප්‍රස්තුත කාරණය අරබයා යුරෝපීය කෞතුකාගාරවල දී මා ලැබූ පුහුණුවය. මේ පිළිබඳව විශේෂ අවබෝධයක් ඇති කරගත් විද්‍යාර්ථීන් සුලභ නොවන හෙයින් මම ජෝසොප් පියර්සන්ගෙන් මෙසේ කරුණු උපුටා දක්වමි.
“දහහත් වැනි ශතවර්ෂයට අයත් මුල් ඕලන්ද ගෘහ භාණ්ඩ කිසිවක් විද්‍යාමානව ඇතැයි කියන්නට නොහැකිවාක් මෙන් ම ප්‍රතිකාල් යුගයට අයත් මුල් ගෘහභාණ්ඩ මේ දිවයිනේ ඇතැයි කියන්නට ද පුළුවන්කමක් නැත්තේය…
17 වැනි ශතවර්ෂයාගේ මැදභාගයට අයත් මා දන්නා නොයෙක් ගෘහභාණ්ඩ ඇති නමුත් ඒවා ප්‍රතිකාල් හෝ ඕලන්ද භාණ්ඩ යැයි මම නොකියමි.”
ලංකාවේ යුරෝපීය ගෘහභාණ්ඩයන්ගේ දියුණුවට ඕලන්ද සම්ප්‍රදාය වෙසෙසින්ම හේතුභූත වූ බැව් පෙනේ. එය එසේ වූයේ කවර හේතුවක් නිසාද යන වග මෙහිලා විවේචනය කිරීම වටී.
ප්‍රධානම හේතුව වනාහි ලංකාවේ ඕලන්ද ආධිපත්‍යය පැවැති 1640 – 1796 වකවානුව යුරෝපයේ ගෘහභාණ්ඩ දියුණුව පිළිබඳ ස්වර්ණමය යුගය වීමය.
තරුණ බෞද්ධ සමිතියේ ප්‍රදර්ශනය කර තිබෙන දාතම් තුනකින් යුත් ඕලන්ද පෙට්ටගම් තුන ලංකාවේ ගෘහභාණ්ඩ දියුණුව පිළිබඳ ස්වර්ණ යුගයට අයිතිය. ආචාර්ය පියර්සන් මහතා විසින් 1929 දී මතුකරන ලද ප්‍රශ්නයට මේ කාරණය මා යොමු කරයි.
එනම්:- “පළමුකොටම උඩරට සිහසුන වැන්රි ආණ්ඩුකාරයාගේ අත්අඩංගුවට හෝ ඔහුට පළමුව සිටි ආණ්ඩුකාරයාගේ අත්අඩංගුවට හෝ පැමිණියේ කෙසේ දැයි දැනගැනීම වැදගත් කාරණයකි.”
1929 දී ආචාර්ය පියර්සන් මහතා විසින් නගන ලද මේ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුව තිබේ. මාගේ පරීක්ෂණවල ප්‍රතිඵල මෙසේයි.
මා විසින් වග විභාගයට භාජන කරන ලද ක්‍රමය වූකලී ප්‍රස්තුත ප්‍රශ්නය පිළිබඳ තෙවදෑරුම් සමාලෝචනයකි. එනම්:-
(ඒ) සොයාගෙන තිබෙන දින දාතම් සහිත ගෘහභාණ්ඩ නුවරඑළියේ පුරාණ ඕලන්ද ලියකියවිලි සමග සංසන්දනය වීම.
(බී) පරීක්ෂණයට භාජන වී තිබෙන ගෘහභාණ්ඩ තැනීමට උපයෝගි කරගත් දැව සහ ගෘහභාණ්ඩවල සටහන් සම්බන්ධයෙන් උගත් කරුණු හා තොරතුරු.
(සී) පරීක්ෂණයට භාජන වී තිබෙන කාලසීමාව පිළිබඳ දේශපාලන තත්ත්වයන්ය.
පැරැණි ඕලන්ද ලියකියවිලි
නුවරඑළියේ පුරාණ ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු මා විසින් බැසගනු ලැබූ මුල් අදහස් අනුව ඕලන්ද ලියවිලිවලින් පහත සඳහන් තොරතුරු මට ලබාගත හැකි විය. ආණ්ඩුවේ පුරාණ ලියකියවිලි භාර නිලධාරියා මට මේ සම්බන්ධයෙන් ආධාර විය.
1692 ඔක්තෝබර් මාසයෙහි මන්ත්‍රණ සභා
රැස්වීම අරබයා ඕලන්දයන් විසින් තබන ලද සභා වාර්තාවෙහි මෙසේ සඳහන්කර තිබුණේය. “මෙහි ගබඩාවේ තැන්පත් කොට තිබෙන පරිත්‍යාග මහනුවර රජතුමා වෙත යැවීමේ ප්‍රශ්නය මතුකරන ලදින් පෙන්වා දෙන ලද පරිදි රජතුමාගේ රාජාභරණ වශයෙන් උපයෝගි කරගත හැකි භාණ්ඩ පමණක් තෝරා ගැනීමට තීරණය කරගන්නා ලදී. තවද මේ භාණ්ඩ තවත් කල් ගබඩාවේ තබාගැනීම හේතු කොටගෙන ඒවායේ පාට සහ දීප්තිය සහමුලින්ම නැතිවී ගොස් අන්තිමේ කාටවත් ප්‍රයෝජන නොවන තත්ත්වයකට පැමිණෙන්ට පිළිවන් බැව් පෙන්වා දෙන ලද්දේය.”
බඩු ලැයිස්තුව මෙසේයි:-
සිංහාසනය සහ ඊට අයත් පරිවාර භාණ්ඩ – පාපුටුවක් ගැන සඳහන් කොට නැත.
බඩු ගබඩාවේ තිබෙන සියලුම ස්වර්ණාලිප්ත සම් වර්ග.
- රත්රන් පෙරවන ලද රාමුව සහිත විශාල කණ්ණාඩියක්.
- සභා ශාලාවේ ඉස්කිරිම
බුමුතුරුණ, ඔරලෝසුව, ගෙතූ පටිය සහ බිල් තුණ්ඩු ආදියත්ය.
සිංහාසනයේ නියම ප්‍රභවය කුමක්ද යන වග සම්බන්ධයෙන් තවමත් සැක පවත්නා බවත් එහි මුල් නිර්මාණය උඩරට යැයි යන මතය සංකා විරහිතව බැහැර කරන්නට පුළුවන් බවත් පියර්සන් මහතා පවසයි.
සිංහාසනයේ සටහන සහ සැරසිලි ක්‍රමය ගැන ද විචාර පූර්ණ පරීක්ෂණයක් කළ දොස්තර ඒ. තෙල් මහතා සිංහාසනයේ නොයෙක් කොටස්වල කර තිබෙන සැරසිලිත්, සැරසිලි සටහනුත් ගැන සඳහන් කරමින් එය මුළු සිංහාසනයටම හොඳ පෙනුමක් ලබාදෙන අයුරින් සිංහල ශිල්ප ක්‍රම පිළිබිඹු කරන පරිසමාප්ත නිර්මාණයක් බැව් පවසයි. ඉතාම සියුම් පරීක්ෂණයකින් වුවද ප්‍රථමයෙන්ම ඇතිවන ඉවතලන්නට බැරි හැඟීම නම් බටහිර ශිල්ප සම්ප්‍රදායේ ආස්වාදය එයට ලැබී තිබෙන බවයි.
යුරෝපීය පරීක්ෂණය යටතේ කරන ලද්දක් යැයි පිළිගත්තත් සිංහල හෝ ඉන්දීය නොවන අන්‍යතර ශිල්පීන් විසින් මේ කර්මාන්තය නිමවන ලදැයි යන මතය සනාථ කිරීමට ප්‍රබල වන කිසිම සාක්ෂියක් විද්‍යාමාන නොවේ.
1650 සිට 1690 දක්වා කාලය තුළ මේ ප්‍රශ්නයට තුඩු දෙන ඉංග්‍රීසි, ඕලන්ද සිංහල සහ ද්‍රවිඩ ලියවිලි ආදිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙහිදී සොයාගත හැකි වූ ප්‍රතිඵල අනුව පහත සඳහන් නිගමනවලට බැසීමට මට නිතැතින්ම සිදුවිය. එනම්:-
(ඒ) ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්කවල
ගෘහභාණ්ඩ සටහන් දියුණුව පිළිබඳ ස්වර්ණමය යුගයෙහි දී (14 වැනි) ලුසි ක්වාටර්ස් පුටු සම්ප්‍රදාය වහල් කොටගෙන හින්දු – බෞද්ධ සැරසිලි ක්‍රමය අනුව මේ සිංහාසනය ඕලන්දයන් විසින් තැනීම.
(බී) සමහර විට එය දෙවැනි රාජසිංහ රජතුමා මියයන්නට පෙර එතුමාගේ ජීවිත කාලයෙහිදී එතුමා සතුටු කරන අදහසින් හෝ ඕලන්ද වෙළෙඳුන් යටතේ රූකඩ නරවරයකු මෙන් පෙනී සිටීමට එතුමා පොලඹවා ගැනීම පිණිස හෝ එසේත් නැතහොත් කුරුඳු සහ ඇතුන් වෙළෙඳාම සම්බන්ධයෙන් වෙළෙඳ අයිතිවාසිකම් එතුමාගෙන් ලබාගැනීම පිණිස හෝ 1650 – 1687 මුහුදුබඩ පළාත්වලදී එය තනන්ට ඇතැයි සිතිය හැක.
නොක්ස් සඳහන් කරන තොරතුරු
උඩරට ඉතිහාසය උගන්නා විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය පිණිස වාසනාවකටදෝ රොබට් නොක්ස් විසින් රජතුමා විසූ මාලිගය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට තිබේ. එසේ ද වුවත් 1660 – 1680 හෝ සමහරවිට 1678දී පමණ ලියන ලද නොක්ස්ගේ සටහන්වල රත්රන් සිහසුනක් හෝ ඊට අයත් උපකරණ ගැන හෝ සඳහන් කොට නැත. සුදු රෙද්දක් දමන ලද කුඩා මේසයක් වෙත කුඩා පාපුටුවක හිඳගෙන තනියම රජතුමා භෝජන අනුභව කරන්නේ යැයි නොක්ස් විසින් අපට කියා තිබේ. 1681 අවුරුද්දේ මුද්‍රණය කරන ලදුව පුරාණ ලේඛනාගාරයේ ආරක්ෂා කොට තිබෙන නොක්ස්ගේ පොතේ ප්‍රථම කාණ්ඩය පරීක්ෂා කිරීමෙන් පසු මා විසින් බැස ගන්නා ලද තීරණය වනාහි දෙවැනි රාජසිංහ රජතුමාගේ රාජ්‍යොදයෙහි මහනුවර රත්රන් සිංහාසනයක් හෝ පාපුටුවක් හෝ ඊට අයත් උපකරණ හෝ නොතිබුණ බවයි. රජතුමා විසින් භෝජන අනුභව කිරීමේදී පාවිච්චි කරන ලද්දේ පුටුවක් නොව කුඩා පාපුටුවක් බවයි. මේ වූකලී ක්‍රිස්තු වර්ෂ 1675 වැන්නයි.
1946 ලියන ලද ලියවිල්ලකි.
ඩබ්ලිව්. බාලෙන්ද්‍ර මහතා විසිනි