ලොව ප්‍රථම අගමැතිනිය බිහිවී වසර 63යි

458

ලෝකයේම ඡන්දයෙන් තෝරා ගත් ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වී අදට (21) වසර 63 ක් සපිරේ.

1960 ජූලි 21 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ලෙස ඇය පත් විය. 1970 දී නැවත අගමැති ලෙස පත් වූ අතර, 1976 අගෝස්තු 16 – 19 දිනවල කොළඹ පැවැති පස් වන නොබැඳි සමුළුවට සත්කාරත්වය ලබා දෙන ලදි.

මහනුවර, බාන්ස් රත්වත්තේ දිසාවේ සහ මහවෙල තැන්නේ වලව්වේ රොස්ලින්ඩ් මහවෙලතැන්නේ කුමාරිහාමිගේ වැඩිමහල් දියණිය ලෙස 1916 අප්‍රේල් 17 වැනි දින ඇය උපත ලැබුවාය. එතුමිය බාන්ස් (කනිෂ්ඨ) පැට්ටී්‍රෂියා, මැකී, සීවලී සහ ක්ලිෆර්ඩ් යන අයගේ සහෝදරිය වූවාය. රත්නපුර ෆර්ගියුසන් පාසලේ සහ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාම පාසලේ උසස් අධ්‍යාපනය ලැබුවාය. හොරගොල්ලේ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ ඩේසි (ඔබේසේකර) බණ්ඩාරනායක යුවළගේ පුත් සොල්මන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා සමග 1940 ඔක්තෝබර් 03 වැනි දින සිරිමාවෝ මැතිනිය විවාහ විය. එවකට අගමැති ධුරය හෙබ වූ තම සැමියා වූ බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් 26 වැනි දින වෙඩි පහරකට ලක්ව තුවාල ලබා පසුව රෝහලේ දී මිය ගියේය. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වන සිරිමාවෝ මැතිනිය 1960 ජුලි 21 වැනි දින අගමැති ධුරයට පත් විය. මෙහි දී ඇයට ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවූයේ ශ්‍රී ලංකාවේ අගමැති ධුරය හොබවන අය එවකට පැවති (1960) ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයෙහි එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි (පහළ මන්ත්‍රී මණ්ඩලය) හෝ සෙනට් සභාවෙහි (ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ) සාමාජිකයෙකු විය යුතු වූ නිසාවෙනි. එමනිසා සිරිමාවෝ මැතිනියට මාස 03 ක් ඇතුළත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි හෝ සෙනට් සභාවේ මන්ත්‍රීවරියක් වීම අවශ්‍ය විය. එහිදී එම්.පී. ද සොයිසා සෙනට් සභාවෙන් ඉල්ලා අස්විය. සිරිමාවෝ මැතිනිය 1960 අගෝස්තු පස් වන දින සෙනට් සභාවේ සාමාජිකාවක් ලෙස දිවුරුම් දෙන ලදි. 1961 මාර්තු 17 වැනි දින ලන්ඩන් නුවර පැවති 11 වන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට සහභාගී වීම මැතිනියගේ ප්‍රථම විදේශ නිල ගමන විය. මැතිනිය කළ මෙහෙයන් අතර 1963 දිවයිනේ විදේශිකයන් සතු වූ තෙල් සමාගම් රජය සතු කිරීම සහ තෙල් නිෂ්පාදනය ආනයනය බෙදා හැරීම් සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් සංස්ථාවට පවරන ලදි. දකුණු අප්‍රිකාවේ ඈපා තීඩ් පාලනයෙන් නිදහස් කර ගැනීමේ සටන මෙහෙය වූ නෙල්සන් මැන්ඩලාට සහය පළ කරන ලදි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය, 1974 වතු රජය සතු කිරීම එතුමියගේ ක්‍රියාමාර්ගයකි. 1971 සැප්තැම්බර් 26 වැනි දින සෙනට් සභාව අහෝසි කරන ලද අතර, අධිරාජ්‍යවාදී ආරෝපණයක් ලෙස එවකට සිටි වාමාංශික පක්ෂ හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට නව ජනරජ ව්‍යවස්ථාව 1972 මැයි 22 වැනි දින හඳුන්වාදීමත් සමග ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. 1973 මැයි 17 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කරන ලදි. 1974 ඔක්තෝබර් 06 වැනි දින යාපනයේ විශ්වවිද්‍යාලය සිරිමාවෝ මැතිනිය විසින් විවෘත කරන ලදි.

1962 රාජ්‍ය කුමන්ත්‍රණය ද, 1971 අප්‍රේල් තරුණ සහභාගීත්වයෙන් යුත් කැරැල්ලට ද ඇය මුහුණ දුන්නාය. වතුකරයේ සේවය කළ ඉන්දියානු සම්භවයෙන් යුත් දමිළ ජාතිකයන්ගේ පුරවැසි භාවය පිළිබඳ අත්සන් කරන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම 1964 ඔක්තෝබර් 30 වැනි දින සාර්ථකව නිමා විය. 1974 ජුනි 23 වැනි දින කච්චතිව් දූපත සඳහා ශ්‍රී ලංකාවේ අයිතිය තහවුරු කළ සිදුවීම් මාලාව ද ඇයගේ රාජතාන්ත්‍රික කුසලතා ගෙන හැර දක්වන්නක් විය.

1977 දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට විරුද්ධව එම කොමිෂන් වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස එවකට ජනාධිපති ධුරය හෙබ වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට ලබා දෙන ලදි. කොමිසමේ තීරණය අනුව සිරිමාවෝ මැතිනිය හා ෆීලික්ස් ඩයස් මහතාගේ සිවිල් අයිතිවාසිකම් අවුරුදු 07 කට අහිමි කිරීමට ද, සිරිමාවෝ මැතිනියගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට ද ජේ.ආර්. ජයවර්ධන රජය විසින් යෝජනාවක් ගෙනෙන ලදුව 1980 ඔක්තෝබර් 16 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා ලදි. මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 139 ක් ද, විරුද්ධව ඡන්ද 19 ක්ද ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීන් විරුද්ධව ඡන්දය දෙන ලදි. මෙහි දී විශේෂ සිදුවීමක් වූයේ සභාවේ සිටි බණ්ඩාරනායක මැතිනිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමය. 1980 ඔක්තෝබර් 16 වැනි දින ඇගේ ප්‍රජා අයිතිය අහිමි කළ ද 1986 ජනවාරි 01 දින නැවත එය ලබා දීම සිදු විය. 1994 නොවැම්බර් 14 වැනි දින බණ්ඩාරනායක මැතිනිය 3 වැනි වරටත් අගමැති ධුරයට පත් විය. 2000 ඔක්තෝබර් 10 වැනි දින නිට්ටඹුවේ, සංඝබෝධි විදුහලේ දී ඡන්දය ප්‍රකාශ කොට පැමිණි ඇය තම ජීවිතයෙන් සමු ගන්නා ලදි.

වංචාවල – ගැමුණු චන්ද්‍රලාල් සහ අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment