චීනයේ ආක්‍රමණකාරී හැසිරීමෙන් දකුණු චීන මුහුද උණුසුම් වෙයි

504

ජාත්‍යන්තර නීතිය පවා උල්ලංඝණය කරමින් දකුණු චීන මුහුදේ අයිතිය මුළුමනින්ම තමන් සතු කර ගැනීමට චීනය දරන උත්සාහය නිසා යළිත් වරක් එම මුහුදු කලාපය කේන්ද්‍ර කරගනිමින් උණුසුම් තත්ත්වයක් උද්ගතව තිබේ. චීන නාවික සහ මුහුදු ආරක්ෂක යාත්‍රා පිලිපීන මුහුදු ආරක්ෂක යාත්‍රාවනට ආක්‍රමණකාරී ලෙස බාධා හිරිහැර කිරීමේ සිදුවීම් ගණනාවක් මේ වසරේ ද කිහිප විටක්ම වාර්තා විය. මෙම අවස්ථාවලදී චීන දකුණු චීන මුහුදේ සිය ආධිපත්‍ය පැතිරවීම සඳහා මුහුදු ආරක්ෂක සහ නාවික යාත්‍රාවනට අමතරව චීනය අතුරු හමුදා යාත්‍රා පවා යොදා ගත් අවස්ථා වාර්තා වී තිබේ. ඇතැම් අවස්ථාවල චීන බාධා කිරීම් ඉතාමත් බරපතළ විය. වරක් චීන යාත්‍රා පිලිපීන මුහුදු ආරක්ෂක යාත්‍රාවන්ට ජල ප්‍රහාරයක් (WATER CANNON) එල්ල කළ අතර තවත් වරක් අධි බල ලේසර් ධාරා එල්ල කළේය. මෙවන් ලේසර් ධාරා මගින් කෙටිකාලීනව පෙනීම පවා අහිමි වන අතර සාමාන්‍යයෙන් මෙවැනි ලේසර් ධාරා භාවිතා කෙරෙන්නේ යුද ගැටුම් වලදීය. පසුගිය ජුනි 30 දා SECOND THOMAS දූපතේ පිහිටා තිබෙන පිලිපීන හමුදා කඳවුර වෙත සැපයුම් රැගෙන යමින් සිටි පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රා දෙකක මාර්ගය හරස් කරමින් චීන ට්‍රෝලර් යාත්‍රාවක් විසින් අවහිර කිරීම ආසන්නතම සිදුවීමය.

පිලිපීන බලධාරීන් පවසන්නේ චීනය දැන් සිය ආක්‍රමණය සඳහා ධීවර යාත්‍රා ද යොදවාගෙන තිබෙන බවය.

පසුගිය දිනවල පිලිපීනයට අයත් SECOND THOMAS දූපත ආසන්නයේ පිලිපීන මුහුදු සීමාව තුළ පවා චීන ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය වී තිබේ. පිලිපීන බලධාරීන් පවසන්නේ මෙලෙස ධීවර යාත්‍රා ගැවසීම එම මුහුදු ප්‍රදේශයේ තිබෙන ඉන්ධන සහ ගෑස් නිධිවලට තර්ජනයක් බවය. චීනයේ මෙම ක්‍රියාව වගකීම් විරහිත හැසිරීමක් බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ඇමෙරිකාවේ පිලිපීන තානාපති පෙන්වා දී තිබේ. 2016 වසරේ ජාත්‍යන්තර අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන ලෙස ඇය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

දකුණු චීන මුහුද යනු ලෝකයේ වඩාත්ම මතභේදයන්ට තුඩු දී තිබෙන කලාපයන්ගෙන් එකකි. ඊට හේතුව වන්නේ එහි ඇති වාණිජ වටිනාකමයි. දූපත් සහ කොරල් පර රාශියකින් සමන්විත දකුණු චීන මුහුද විශාල ලෙස ඛණිජ තෙල් සහ ගෑස් සංචිත මෙන්ම මත්ස්‍ය සම්පත ද බහුල ප්‍රදේශයකි. ලෝක නාවික භාණ්ඩ ප්‍රවාහනයෙන් තුනෙන් එකක් දකුණු චීන මුහුද ආශ්‍රිතව සිදුවන අතර එහි වාර්ෂික මූල්‍ය වටිනාකම ඩොලර් ටි්‍රලියන් තුනක පමණ වේ. ඉන්දියන් සහ ශාන්තිකර සාගර හා සම්බන්ධවන දකුණු චීන මුහුද පිහිටා ඇත්තේ චීනය, තායිවානය, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය සහ බෘනායි යන රාජ්‍යයන්ට මායිම්වය. මෙම සියලු රටවලට මුහුදු තීරයන් වෙන්කොට ඇති නමුත් අතර ඉතිරිව පවතින ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් 90% ක් තරම් ප්‍රමාණයකට ද අයිතිය කියන්නේ චීනයයි. දකුණු චීන මුහුදේ තනි අයිතිය තමන් සතු බව චීනය කියමින් සිටින්නේ වර්ෂ 1947 තරම් ඈතක සිටය. එම සිතියමට අනුව දූපත් වැඩි ප්‍රමාණයක් අයිතිය චීනය සතුවන අතර 2016 වසරේදී පිලිපීනය චීනයේ මෙම අයිතියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව චීනයට දකුණු චීන මුහුදේ තනි අයිතියක් නොමැති බව තීරණය කළ අධිකරණය Second Thomas දූපත ඇතුළුව දූපත් ගණනාවක අයිතිය ඇත්තේ පිලිපීනයට බවද තහවුරු කළේය.

චීනය ජාත්‍යන්තර අධිකරණයේ තීරණය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය නීති විරෝධී, හිස් බල රහිත ලියැවිල්ලක් බවය. ඔවුන් එම තීරණයට ප්‍රතිචාර දැක්වූයේ රුසියාව සමග එක්ව දකුණු චීන මුහුදේ යුද අභ්‍යාසයන් පැවැත්වීමෙනි. චීනය 2018 වසරේ දී පළමු වරට බෝම්බ ප්‍රහාරක යාත්‍රාවක්ද දකුණු චීන මුහුදු ප්‍රදේශය වෙත ගෙන ආවේය. චීනය පිලිපීනය සතු දූපත්ව ගණනාවකම සිය හමුදාව රඳවා සිටින අතර ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වී තිබෙන්නේ දැනට පිලිපීනය සතුව තිබෙන Second Thomas දූපතයි. මෙම දූපත චීනය අත්කර ගැනීම වැළැක්වීම සඳහා පිලිපීනය එහි හමුදා කඳවුරක් පවත්වා ගෙන යන නමුත් චීනය එහි සැපයුම්වලට දිගින් දිගටම බාධා කරමින් සිටින්නේ එය අත්කරගෙන දකුණු චීන මුහුදේ සිය බලය තහවුරු කරගැනීම සඳහා බව ඉතා පැහැදිලි කාරණයකි. 2013 -14 අතර මාස පහක් එක දිගට මෙම දූපතේ සැපයුම් සඳහා බාධා කොට තිබිණ. දෙරටේ මෙම ආරවුල ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයට පවා බාධාවක් වන හෙයින් ඇමෙරිකාව දකුණු චීන මුහුද වෙත සිය හමුදා යාත්‍රා සහ යානා එවීමට පවා කටයුතු කර ඇතත් චීනයේ බලහත්කාරී, ආක්‍රමණකාරී හැසිරීම පාලනය කරන්නට හැකිවී නැත.

දකුණු චීන මුහුදේ හැසිරීමෙන් චීනය පෙන්නුම් කරන්නේ ඔවුන් අතීතයේ සිටම තමන්ට අවශ්‍ය පරිදි දේශ සීමාවන් පවා වෙනස් කරමින් ප්‍රදේශ අත්කර ගැනීමේ ප්‍රතිපත්තියෙන් තවමත් බැහැරව නොමැති බවය. චීනය තවමත් තායිවානය තමන්ට අයත් භූමියක් බව කියන්නේද ඒ අනුවය. භූමිය අත්කර ගැනීමේ අභිලාශය ඉටුකර ගැනීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරති. ඒ සඳහා වර්තමානයේ ජනප්‍රියම උපක්‍රමය වන්නේ ආයෝජනයයි. අප රටේ වරාය නගරය සහ හම්බන්තොට වරාය හොඳම උදාහරණ දෙකකි. දකුණු චීන මුහුද අත්කර ගැනීම සඳහා ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේ බලය ප්‍රදර්ශනය කොට අනෙකා බිය ගැන්වීමය. කෙසේ වෙතත් ඔවුන් දැන් කටයුතු කරන ආකාරය අනුව පෙනී යන්නේ බිය ගැන්වීමෙන් පිලිපීනය වැනි රටවල් පලවා හැර දකුණු චීන මුහුද මුළුමණින්ම තමන් සතු කර ගැනීම අසීරු බව ඔවුන්ට පැහැදිලි වී තිබෙන බවය. එසේනම් ඔවුන්ගේ මීළඟ සැලසුම වන්නේ අනෙකුත් රටවල් ප්‍රකෝප ගන්වා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර ගැනීම විය නොහැකිද? චීනය මේ වන විට මෙම මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා ගෙන්වීමට කටයුතු කර ඇත්තේ එවැනි ගැටුමක් දී ආරක්ෂක පලිහක් ලෙස විය හැකිය. යම් හෙයකින් ගැටුමක් ඇති වුවහොත් සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල වූයේ යැයි කියමින් තම වැරැද්ද වසා ගනිමින් අනුකම්පාව දිනා ගන්නටද ධීවර ජනතාව තුරුම්පුවක් ලෙස භාවිතා කරන්නට චීනය කල්පනා කරනවාද විය හැකිය. කුමක් වුවත් ජාත්‍යන්තර ප්‍රජාව වහාම මේ සම්බන්ධයෙන් සක්‍රීය මැදිහත් වීමක් නොකළහොත් මුළු ලෝකයටම බලපාන ආකාරයට දකුණු චීන මුහුදේ තත්ත්වය තව තවත් බරපතළ වීම වැළැක්විය නොහැකිය.

● අනුර ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment