බංකොලොත් මළ මිනියේ මරණ පරීක්ෂණය

946

ලංකාව බංකොලොත් කරන ලද්දේ කව්රු විසින්ද සෙවීම සඳහා ආණ්ඩුව තේරීම් කාරක සභාවක් පත්කරන ලදි. මේ තේරීම් කාරක සභාව වඩාත් සරල කිරීම පිණිස ‘කමිටුව’ යන වචනයෙන් හඳුන්වමු. මේ කියන කමිටුවේ සභාපති ලෙස සාගර කාරියවසම් පත්කර ඇත. සාගර, පොහොට්ටුවේ ලේකම් වන අතර බැසිල් රාජපක්ෂ හිතවාදියෙකි. මේ පිළිබඳ විවේචනයක් අපට නැත. බැසිල් රාජපක්ෂ දේශපාලනය කරන අතර කැමති අයට ඔහුගේ හිතවාදීන් වීමට පුළුවන. මේ අතර රට බංකොලොත් වීමේ සැබෑ හේතුව දැනගැනීමට නම් එය සෙවීමට පත්කළ කමිටුවේ සභාපතිකම විපක්ෂයට දිය යුතු බව සමගි ජනබලවේගයේ හර්ෂණ රාජකරුණා සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක පවසා තිබේ. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අප තුළ විවේචනයක් නැතත් ඒ සම්බන්ධයෙන් අපට මතයක් තිබේ. ඒ මතය නම් මෙවැනි කමිටුවක සභාපතිකමට පත්කළ යුත්තේ මේ රටේ කුණු වූ, ගර්හිත දේශපාලනය බෙදා හදාගෙන කන පක්ෂවල පුද්ගලයන් නොව වෙනත් රටකින් ආනයනය කළ සභාපතිවරයකු බවය. හර්ෂණ රාජකරුණා සහ අනුර දිසානායක යන දෙදෙනාම දේශපාලන පරම්පරා දෙකක උරුමක්කාරයෝ වෙති. හර්ෂණ පැවත එන්නේ යූ.එන්.පී. පෙළපතකිනි. අනුර දිසානායක පැවත එන්නේ වාමවාදී දේශපාලන පෙළපතකිනි. සාගර කාරියවසම්ද රාජකරුණාලාගේම මතවාදය දරණ ජරාජීර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ byproduct එකක් වූ පොහොට්ටුවේ දේශපාලන ඉලන්දාරියෙකි. ලංකාව බංකොලොත් කිරීම සඳහා යූ.එන්.පී.යේ සහ ශ්‍රී ලංකා යන පක්ෂ දෙක ද එම පක්ෂ දෙක සමග පවුල් ජීවිත ගත කළ සියලු දේශපාලන සභාග ද වගකිව යුතුය. සභාගවලින් රට වැසියන්ට තඹ දොයිතුවක (තඹ දොයිතුව යනු ලන්දේසි යුගයේදී පාවිච්චි කරන ලද ඉතා අඩු වටිනාකමක් සහිත කාසි විශේෂයකි.) වැඩක් තිබුණේ නැත. කසාදය අවසන්වී, පවුල කැඩී දේශපාලන සැමියන් සහ බිරින්දෑවරුන් මහ පාරේ ගහ මරා ගන්නා හැටි සහ එකිනෙකාගේ වැරදි කියමින් හෙණ ඉල්ලන හැටි පමණක් දැකගැනීමට ජනතාවට ඉඩ ලැබිණ. මෙහිදී ජනතාව නමැති දරුවා අනාථ විය. රට බංකොලොත් කළේ කව්ද යන්න සෙවීමේ කමිටුවට සභාපතිවරයකු පිටරටකින් ගෙන්වනවා නම් ඒ තැනැත්තා ලංකාව ගැන කිසිවක් අසා නැති ඉනියුට් ගෝත්‍රිකයකු හෝ ඇමේසන් වනාන්තරවාසී හුදකලා ගෝත්‍රිකයකු විය යුතුය. මන්ද යත් ලංකාවේ දේශපාලනය ගැන දන්නා කෙනෙක් පෙරකී කමිටුවට නායකත්වය දීම සඳහා ඉදිරිපත් වන්නේම නැත. නඩුව දේශපාලන පක්ෂවල අවාසියට ඇසුවොත් තමාට සිදුවන්නේ පෙට්ටියකින් සිය රටට යෑමට බව ලංකාව ගැන දන්නා අය දනිති. නඩුව දේශපාලන පක්ෂවල වාසියට ඇසුවොත් සිය රට ගිය පසු සිය දිවි නසාගන්නා ලෙස හෘද සාක්ෂිය විසින් එම සභාපතිට බලකරනු ලබනවා ඇත.

ලංකාව බංකොලොත් කළේ කව්ද? රටක් හැම විටම බංකොලොත් කරනු ලබන්නේ ජනතාව විසින් නොව දේශපාලනඥයන් සහ නිලධාරීන් විසිනි. ලෝකයේ බලගතුම නූතන රාජධානියක් වූ එක්සත් සෝවියට් සමූහවාදී සමූහාණ්ඩුවට කෙළවන ලද්දේ කවරෙක්ද යන්න සොයා බැලීම වැදගත්ය. එම කෙළවීම සිදුකළෝ ආණ්ඩුව සහ නිලධාරීන්ය. කොමියුනිස්ට් ක්‍රමය යටතේ ලෙනින්ගේ ආණ්ඩුව ජනතාවගේ අදහස් මර්දනය කරමින් දැඩි පීඩාකාරී පාලනයක් ගෙනයන අතර එසේ කිරීමේ උප කොන්ත්‍රාත්තුව ලබාගෙන සිටි නිලධාරී හැතිකරය එක දිගටම හොරකම් කරන්නට පටන් ගත්හ. මේ හොරකම් දුටු ආණ්ඩුව ද රාජ්‍යය පාලනයට වඩා හොරාකෑම ලාභදායක බව දැනගෙන ඒ වෘත්තියක් බවට පත්කර ගත්තේය. අන්තිමේදී සෝවියට් ක්‍රමය තුළ නොතිබුණේ හොරුන්ගේ වෘත්තීය සමිති පමණි. ස්වල්ප කාලයක් යනවිට ආණ්ඩුවේ වුවමනාවෙන්ද, නිලධාරීන්ගේ අනුග්‍රහයෙන්ද, ජනතාවගේ ආශීර්වාදයෙන්ද සෝවියට් ක්‍රමය බිමට සමතලා වී ධනවාදී ඇමරිකාව ලෝක දේශපාලනයේ පොලිස්පති බවට පත්විය. මේ පොලිස්පතිතුමා ද ලංකාවේ අවසාන පොලිස්පති මෙන් විශ්‍රාම ගැන්විය නොහැක. විශ්‍රාම ගැන්වුවද ජීප් එකක් යවා එම පොලිස්පතිව නැවතත් වැඩට ගෙන්වා ගැනීමට සිදුවේ. එයට හේතුව දන්න යකා නොදන්නා යකාට වඩා හොඳ බැවිනි. ඒ නිසා දුකට සැපට සිටින එකම යකා බවට ඇමරිකාව පත්වී තිබේ. ලංකාව පරිහානියට පත්කළේ කවරෙක්ද යන්න හරිආකාරව සොයා බැලුවොත් සියලු දේශපාලන පක්ෂ එල්ලුම් ගස් යැවීමට සිදුවේ. මෙහිදී අප සියලු දේශපාලන පක්ෂ යනුවෙන් හඳුන්වන්නේ සාමාජිකයන් දහ පහළොස් දෙනකුට වඩා නැති දේශපාලන හාල් කෑලිත් එක්කය. මේ රට තුළ දේශපාලන පක්ෂ විශාල සංඛ්‍යාවක් තිබේ. ඕනෑම ඡන්දයකදී කැමති බයර් කෙනකුට ඒවා මිලට ගත හැක. ඇතැම් කෙනෙක් අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්නේම ඡන්දයකදී විකුණනු පිණිසය. මුදල්වලට අමතරව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක්ද පක්ෂයේ හිමිකරු බලාපොරොත්තු වෙයි.

ලංකාවේ දේශපාලන බංකොලොත්භාවය විසින් ඇති කරන ලද ආර්ථික බංකොලොත්භාවය නිසා රටේ සෞඛ්‍යය ද බංකොලොත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2023 ජනවාරි 24 දා නිකුත් කරන ලද ලියවිල්ලක සඳහන් ය. මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී රටේ සෞඛ්‍ය ගොඩක්ම බංකොලොත්වී තිබුණේ නැත. අද තරමට බෙහෙත් හිඟයක් ද රටේ තිබුණේ නැත. එහෙත් අද රටේ ඇතිව තිබෙන තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජනවාරි මාසයේදීම තක්සේරු කිරීම වැදගත් කාරණයකි. මේ රට ස්ථාවර රටක් බවට පත්කිරීම සඳහා නිතර නිතර ඡන්ද පැවැත්වීමෙන් සත පහක වැඩක් වන්නේ නැත. වඩා දීර්ඝ කාලයක් පවතින සහ ජනතාවට වගකියන ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් මේ රටට හඳුන්වාදිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment