වකුගඩු රෝගය සමග පොරබදන ජීවිත රැකගනිමු

122

ලෝක වකුගඩු දිනය යනු වකුගඩුවල වැදගත්කම, වකුගඩු රෝග, ඒ ආශ්‍රිත සෞඛ්‍යය ගැටලු සහ ඒවායේ බලපෑම අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය සෞඛ්‍යය දැනුවත් කිරීමේ ක්‍රියාවලියකි. ලෝක වකුගඩු දිනය සෑම වසරකම මාර්තු මාසයේ 2වන සතියේ බ්‍රහස්පතින්දාට යෙදී ඇත. ඒ අනුව මෙවර ලෝක වකුගඩු දිනය යෙදී ඇත්තේ 2024 මාර්තු 14 වන බ්‍රහස්පතින්දාටය.

අමෙවර තේමාව වන්නේ සත්කාරය සහ ප්‍රශස්ත ඖෂධ භාවිතය සඳහා සමාන ප්‍රවේශය වැඩි දියුණු කිරීම. (Advancing equitable access to care and optimal
medication practice.)

දීර්ඝ කාලීන වකුගඩු රෝගය (CKD – Chronic kidney disease) මුළු මහත් ලෝක ජනගහනයටම මහත් බලපෑමක් එල්ල කිරීමට සමත්ව ඇත. මුළු ලොව පුරා මිලියන 25කට වඩා වැඩි පිරිසක් වර්තමානයේ දීර්ඝ කාලීන පවතින වකුගඩු රෝගයට ගොදුරු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 1/3 කට වැඩි පිරිසක් 2019 වර්ෂයේදී මිය ගියහ. වර්තමානයේ වකුගඩු රෝගය නිසා මිය යන පිරිස ලෝක ජනගහනයේ මරණ සඳහා 8 වන හේතූ සාධකය ලෙස හඳුනාගෙන ඇත.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු නොකොළහොත් 2040 වර්ෂයේදී මරණ සඳහා 5 වෙනි හේතූ සාධකය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකාව තුළද වකුගඩු රෝග රැසක පොදු ජනතාවගේ ජීවිත වලට මහත් බලපෑමක් ඇතිකර ඇති අතර රජයටද ඒ සඳහා විශාල බරපැනක් දැරීමටද සිදු වී ඇත.

2020 වර්ෂයේ දී දීර්ඝ කාලීන වකුගඩු රෝගයෙන් පෙලුණ රෝගීන් සංඛ්‍යාව 164,000 කි. මෙම ප්‍රමාණය

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 10% දළ වශයෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළද වකුගඩු රෝගය නිසා මරණ 10500 ක් පමණ වන බව 2020 වර්ෂයේදි ගණනය කර ඇත.

ලොව සියලුම රටවල් සලකා බලන කල වකුගඩු රෝගය ඇති වීමට බලපාන ප්‍රධානතම සාධකය ලෙස හඳුනා ගෙන ඇත්තේ දියවැඩියා රෝගයයි.

ඊට අමතරව අධික රුධිර පීඩනය මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම, මුත්‍රා මාර්ගයේ ගල්, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන පරම්පරාගත වකුගඩු රෝග හේතූ කාරක වේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ උතුරුමැද , වයඹ, ඌව සහ උතුර යන පළාත්වල හඳුනා නොගත් වකුගඩු රෝගය (CKDu) දැකගත හැකිය.

වකුගඩු රෝග බොහොමයක් ඇති අතර සරල වකුගඩු රෝගය සමඟ ජීවත් වීම එතරම් අභියෝගයක් නොවූවත් නියම ජීවන සටන ඇත්තේ දරුණු මාරාන්තික වකුගඩු රෝග සමඟ ජීවත්වන රෝගීන්ටය.

දරුණු වකුගඩු රෝගයේදී වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිටින අතර රෝගියාට හා රෝගියාගේ පවුලේ අයට රුධිර කාන්දුපෙරණය සහ වකුගඩු බද්ධයට යොමු වීමට සිදු වේ. මෙහිදී මෙම අසීරූ සහ අභියෝගාත්මකභාවය මනාව අත්දකිනුයේ රෝගියා සහ එම පවුලේ අයවලුන් විසිනි.

එබැවින් පසුගිය දශක තුන තුළ CKD ප්‍රතිකාරය කේන්ද්‍රගත වී තිබුණු වකුගඩු ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබා දීම හා සූදානම් වීම වෙනුවට මෙවර ලෝක වකුගඩු දිනයේදී සත්කාර සහ ප්‍රශස්ත ඖෂධ භාවිතය සඳහා සාධාරණ ප්‍රවේශයට මුල් තැන දීමට අදහස් කර ඇත.

මෑත වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ රෝග වැළැක්වීමට හෝ ප්‍රමාද කිරීමට ගත් ප්‍රයත්නය නිසාවෙන් හෟද රෝග වකුගඩු අකර්මණ්‍ය වීම වැනි සංකූලතා අවම කිරීමත් CKD රෝගීන්ගේ ජීවන මට්ටම උසස් කිරීමටද හැකියාව ලැබී ඇත.

මෙම නව ප්‍රතිකාර ක්‍රම සෑම රටකම සෑම ප්‍රදේශයකම රෝගීන්ට ලැබිය යුතු වුවත් රෝගය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් හෝ නව චිකිත්සක ක්‍රම පිළිබඳ වූ ප්‍රමාණවත් දැනුමක් හෝ විශ්වාසයක් නොමැති වීම, වකුගඩු විශේෂඥයන්ගේ හිඟය සහ ප්‍රතිකාර සඳහා යන වියදම වැනි කරුණු සෑම රෝගියකුටම එක හා සමානව බෙදී නොයාම රෝග මැඬලන්නට හැකියාව ලැබී නැත.

එබැවින් ප්‍රශස්ත වකුගඩු සත්කාරයක් ලබාදීමට විවිධ මට්ටමේ බාධක ජයගැනීමට සිදු වී ඇත. කල්තියා වකුගඩු රෝගය නිර්ණය කිරීම, වීශ්වාසනීය සෞඛ්‍ය සේවයක්, රක්ෂණ ආවරණ ඇති කිරීම, සෞඛ්‍යය සේවකයන් අතර දැනුම ඔප්නැංවීම ඖෂධ පිරිවැය අඩු කිරීම වැනි අභියෝග රැසකට විසඳුම සේවිය යුතු වේ.

ඉහත සඳහන් කල දුෂ්කරතා මගහරවා ගනිමින් ප්‍රශස්ත සේවාවක් වකුගඩු රෝගීන් හට ලබා දී ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් ජීවිත ඔප්නැංවීමට අප හට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

1 සෞඛ්‍ය ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම

★ දැනට පවතින වකුගඩු රෝග සත්කාරක වැඩසටහන්වලට ප්‍රාථමික හා ද්විතික සාධක නිසා ඇතිවන වකුගඩු රෝග වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ඇතුළත් කිරීම.

★ වකුගඩු සත්කාර සඳහා අරමුදල් සුරක්ෂිත කිරීම

★ වකුගඩු රෝග වැළැක්වීම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මහජනතාව හා සෞඛ්‍ය සේවා ශ්‍රම බළකාය දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇති කිරීම

★ වකුගඩු රෝග නිර්ණයට අදාළ පරීක්ෂණ ගුණාත්මක සත්කාර සේවාවක් සඳහා තිරසාර ප්‍රවේශයක් ඇති කිරීම

★ උසස් තත්ත්වයේ ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීමට ක්‍රියාමාර්ග ඇති කිරීම.

★ රෝගියා කේන්ද්‍ර කරගත් දේශීය ප්‍රවේශයන් වකුගඩු රෝග සත්කාරක ක්‍රියාවලියට ඇතුළත් කිරීම

2 සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පිළිබඳ ගැටලු නිරාකරණය

★ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් සෙවීම

★ පුහුණුව වැඩි දියුණු කිරීම

★ ප්‍රාථමික සත්කාර ඒකක වල වෛද්‍යවරුන්ගේ හෙදියන් හා ප්‍රජා සෞඛ්‍යය සේවකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ධාරිතාව වැඩි කිරීම

★ මුල් අවස්ථාවේ රෝග විනිශ්චය නිසි නිර්දේශිත ප්‍රතිකාර ක්‍රම පිළිපැදීම ඵලදායි සේවයකට ඉවහල් වන බව අවධාරණය කිරීම

3 රෝගීන් හා ප්‍රජාවන් සවි බල ගැන්වීම

  1. ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම සඳහා වන අධික වියදම නිසාවෙන් රෝගීන් නිසි ප්‍රතිකාර ක්‍රමවලට යොමු නොවීම හැකිතාක් අඩු කිරීම
  2. දියවැඩියාව අධික රුධිර පීඩනය සහ තරබාරු බව වකුගඩු රෝග සඳහා දක්වන අවදානම අවධාරණය කිරීම
  3. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අවශය කරුණු සමාජගත කිරීම

වකුගඩු රෝග සෑදීම වැළැක්වීම රෝගය වැළඳුනහොත් නිසියාකාර ප්‍රතිකාර ගැනීමේ වැදගත්කම පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම.

ඉහත සඳහන් කළ පියවරයන් ක්‍රියාවට නැංවීමට හැකිවන්නේ නම් වකුගඩු රෝගය වළක්වා ගැනීමට පමණක් නොව වකුගඩු රෝගීන්ගෙත් ඔවුන්ගේ පවුලේ අයගේද ජීවිතවලට නව එළියක් ලබාදීමට හැකි වන බව නොඅනුමානය.

සමස්ත ලංකා වකුඩු රෝගීන්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන ලෝක වකුගඩු දින සැමරුම් උත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත ආමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය භද්‍රානි ජයවර්ධන මහත්මිය , කොළඹ ජාතික රෝහලේ සනාල හා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මන්දික විජේරත්න මැතිතුමාගේත්, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මැතිතුමාගෙත්, ආචාර්ය මාලිනී ෆොන්සේකා මැතිනියගේ ගෞරවනීය සහභාගීත්වයෙනුත්, 2024-මාර්තු – 14වන දින කොළඹ 07 නව නගර ශාලා පරීශ්‍රයේ ප.ව 1.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ.

ඔබේ වකුගඩු නිරෝගීදැයි දැන ගැනීමට කළ යුතු පරීක්ෂණ වන්නේ

  1. UFR – සම්පූර්ණ මුත්‍රා සාම්පලයක්
  2. Urine ACR- මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂාව
  3. S. Creatinine – රුධිරයේ ක්‍රීයැටිනින් මට්ටම
  4. USS- KUB –උදරයේ ස්කෑනින් පරීක්ෂණයක්
වකුගඩු රෝගය සමග පොරබදන ජීවිත රැකගනිමු

වකුගඩු රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව

advertistmentadvertistment
advertistmentadvertistment