මහනුවර සිරි දළදා වන්දනා පෝලිමේදී හමුදා නිලධාරීන්ට ‘පුස්’ පාට් දැමූ පොලිස් නිලධාරියා ගැන විනය පරීක්ෂණයක්

134

ඊයේ තවත් සිද්ධියක් සමාජ මාධ්‍යයට

මහනුවර සිරි දළදා වන්දනාව සඳහා රාජකාරි කටයුතු කරමින් සිටි යුද හමුදා පොලිසියේ නිලධාරියකුට, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියකු අශෝභන අයුරින් බැන වැදීම දැඩි ලෙස හෙළා දකින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා ‘දිවයින’ ට ඊයේ (25දා) පැවැසීය.

අදාළ පොලිස් නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ රාජකාරි කරන නිලධාරියකුට අශෝභන අයුරින් බැන වැදීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව ගැන විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ කියා සිටියේය.

එම වීඩියෝවේ සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් බැතිමතුන් පෝලිමක ගමන් කරන ස්ථානයක යුද හමුදා පොලිසියේ නිලධාරියා රැඳී සිටින අයුරු දක්නට ලැබේ. එම ස්ථානයට ආවේගශීලීව පැමිණෙන පොලිස් නිලධාරියකු තමුසෙට එක පාරක් කිව්වනෙ… යනවා ඕයි යන්න බම්බුව… රෙද්දස්සෙ රිංගනවා…” යනුවෙන් ඉතා අශීලාචාර අන්දමින් කතා කරන අන්දම එම වීඩියෝවේ දැක්වේ.

තවදුරටත් කතා කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද කීය.

නුවර සිරි දළදා වන්දනාව සඳහා එන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා යුද හමුදාව හා පොලිසිය බොහොම සහයෝගයෙන් වැඩකටයුතු කරමින් සිටි වෙලාවක මේ පොලිස් නිලධාරියාගේ හැසිරීම ගැන කනගාටු වෙනවා. මේ සම්බන්ධව යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කරලා පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළා. ඒ මොහොතේම පොලිස්පතිවරයා ක්‍රියාත්මක වෙලා අදාළ පොලිස් නිලධාරියාට විනය පියවර අරගෙන තිබෙනවා.

“අපේ යුද හමුදා පොලිසියේ නිලධාරියාට පොලිස් නිලධාරිවරයාට බැන වදින වෙලාවේ ඒ යුද හමුදා නිලධාරියා එයට ප්‍රතිචාර නොදක්වා ඉවසීමෙන් විනයගරුකව කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. යුද හමුදාවේ විනය ඉවසීම මනාව පිළිබිඹු වෙච්ච වෙලාවක් ඒ.”

මහනුවර සිරි දළදා වන්දනා පෝලිමේදී හමුදා නිලධාරීන්ට ‘පුස්’ පාට් දැමූ පොලිස් නිලධාරියා ගැන විනය පරීක්ෂණයක්

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

“යුද හමුදා පොලිසියේ නිලධාරියා සිරි දළදා වන්දනා පෝලිමට වෙනත් අය ඇතුළත් කර තිබෙනවා. මේ නිසා වරක් මේ පොලිස් නිලධාරියා එසේ නොකරන ලෙස යුද හමුදා නිලධාරියාගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් ඒ ගැන ගණන් නොගෙන ක්‍රියා කිරීම නිසයි පොලිස් නිලධාරියා ඔහුට බැන වදින්නේ. කොහොම වුණත් ඔහුගේ කතා කිරීම හැසිරීම ගැන සතුටු වෙන්න බැහැ.

කොහොම වුණත් මේ වෙනකොට අදාළ වීඩියෝ පටය ගැන අවධානය යොමු කළ වැඩබලන පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරිවරයා විසින් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර මේ ගැන යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතාගෙන් විමසූ විට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිවැරදි තීරණයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවය. මේ අතර තවත් එවැනිම වූ සිද්ධියක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන, සමන්ති වීරසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර


advertistmentadvertistment