මහින්දාගමනයට පෙරලංකාව

201

චිත්‍ර ශිල්පී – සිල්වා – 1956 දී අඳින ලද්දකි.

මහා වංශ පාඨයන්ගෙන් මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ඇදහිලි ගැන තරමක අවබෝධයක් ඇතිවේ. ස්වභාවධර්මය භූතයන්ගේ තත්ත්වයට නඟාලූ පොදුජනයා ගංගා, ඇළ, දොළ, ගස් කොළන් හා කඳුවල වාසය කරන යක්ෂයන් ඇදහූහ. ගස් කොළන් ආදී අචේතනික දේ වැඳීම ද මේ ආදි කල්පිත ආගමට අයත් විය. ඉර – සඳ ආදී වස්තූනුත් දේවත්වයට නඟා වැඳුම් පිදුම් කර ඒවාට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බෙහෙවින් බලපාන්නට අවස්ථා ලබාදුන්හ.

මිහිඳු මාහිමියන් වහන්සේ ලංකවට වැඩම කිරීමට ප්‍රථම මෙරට පැවැති තත්ත්වය පිළිබඳ තොරතුරු ඉතා විරලය. ආදිම සභ්‍යත්වයෙන් අපට ලැබී තිබෙන සෑම දෙයක්ම මහින්දාගමනයට පසුව ඇතිවුණ දේ හැටියට නිසැකයෙන් කිව හැක. අපගේ පුරාණතම ශිලා ලේඛන මෙරටට බුද්ධාගම ගෙන ඒමෙන් පසු කොටන ලද ඒවා වෙති. වාස්තු විද්‍යාව, ප්‍රතිමා ශිල්පය, චිත්‍ර කලාව ආදී කලාත්මක අංශයන්ගෙන් කොයි අතින් බැලුවත් අපට හමුවන්නේ දෙවනපෑතිස් යුගයෙන් පසුව කරන ලද දෙයයි. මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති තොරතුරු දැනගැනීමට අපට වංශකතා ආදී පොත්වල කරුණුවලින් පමණක් සෑහීමට සිදුවී තිබේ.

ප්‍රාග් ඓතිහාසික යුගයක සිට ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධකම් තිබුණු බව නිසැකය. ඈත අතීතයේ ලංකාවත් ඉන්දියාවත් ඈඳී තිබුණු බව සමහර භූවිද්‍යාඥයන්ගේ මතයයි. ඉන්දියාවේ ධනුස්කොඩියත් ලංකාවේ තලෛමන්නාරමත් අතර පිහිටි ‘ආදම්ගේ පාලම’ දෙරට එක්වී තිබුණු තැන යැයි ඔවුන්ගේ අදහසයි. එවැනි යුගයක ආසියාවෙන් ගලාගෙන ආ සංචාරකයෝ ඉන්දියාව හරහා ලංකාවට අවුත්, ඉන් එපිට යාගත නොහැකිව නැවතුණහ.

ලංකාව මුහුදෙන් වෙන් වූවාට පසු ඉන්දියාවේ ඇතිවුණු සෑම විපර්යාසයක්ම ලංකාවේත් බලපෑවේය. භාරතයේ ආභාසය මෙසේ ඇතිවූ නමුදු ලංකාවට විශේෂ සංස්කෘතියක් ලබා ගැනීමට හැකිවූයේ වෙන්ව පිහිටීම නිසාය. එංගලන්තය හා ජපානයේ ස්වාභාවික පිහිටීම ද මීට බෙහෙවින් සමානය.

මහාවංශ කතා අනුව විජයගේ මුතුන් මිත්තන් වාසය කළේ වගුරට හෙවත් වංග දේශයේය. සිංහබාහු රජතුමා පිහිටුවූ සිංහපුරය බෙංගාලයටත් වගුරටත් අතර පිහිටි, ලාට දේශයේය. මෙයින් ගැනෙන්නේ විජය පැමිණියේ උතුරු ඉන්දියාවේ නැඟෙනහිර පැත්තෙන් බවයි. එහෙත් ලංකාවට ගොඩබැසීමට පෙර සුප්පාරක ආදී පටුනු පසුකළ බව සඳහන් කර තිබීමෙන් විජයගේ වාසභූමිය උතුරු ඉන්දියාවේ බටහිර ප්‍රදේශය ද යන ප්‍රශ්නයක් පැනනඟී. පුරාණතම සිංහලය පිහිට කරගෙන මේ ප්‍රශ්නය විසඳීමට භාෂා ශාස්ත්‍රඥයන් විසින් තැත්කර ඇත. ලංකාවේ ශිලා ලේඛනවල භාෂාව සමකාලීන ඉන්දීය ශිලා ලේඛනවල භාෂාව සමගත් නවීන සිංහල භාෂාව නවීන ඉන්දීය භාෂාව හා සමගත් සැසඳීමෙන් යම් යම් නිගමනවලට උගත්හු පැමිණ සිටිති. එහෙත් ඒ තීරණවලින් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් නිරාකරණය වී නැත.

ගයිගර් පඬිතුමාගේ අදහස නම් සිංහල භාෂාව උතුරු ඉන්දියාවේ බටහිර භාෂාවන්ට සම්බන්ධ බවයි. එහෙත් සහිදුල්ලා නමැති භාෂා විශාරදයා ආදිම සිංහලය නැඟෙනහිර ඉන්දියාවේ අශෝක ලිපිවලට සමාන බවත් නවීන සිංහලය වංග දේශයේ පැවැති භාෂාවකින් බිඳී ආ බවත් කියයි. සිංහල භාෂාවේ තිබෙන සමහර ලක්ෂණවලට දෙන වැදගත්කමේ හැටියට මේ මතභේදය පැනනඟී. එහෙත් ඓතිහාසික කරුණුවලිනුත් භාෂා ශාස්ත්‍රය පිළිබඳ කරුණුවලිනුත් උතුරු ඉන්දියාවේ බටහිර හා නැඟෙනහිර යන දෙදිසාවෙන්ම සංචාරකයන් පැමිණි බව පිළිගත යුතුව තිබේ.

පුරාවිද්‍යා අදිකාරි සෙනරත් පරණවිතාන මහතාගේ අදහස නම් ආදිම සිංහලය සෑදී තිබෙන්නේ බටහිර ප්‍රාකෘතයක් ආශ්‍රයෙන්ය යන බවයි. එහෙත් පසු කාලයක ලක්දිවට පැමිණි නැඟෙනහිර ප්‍රකෘතයක් නිසා මුල් භාෂා ස්වරූපය වෙනස් විය.

විජයාවතරණයේ සිට මහින්දා ගමනය දක්වා ලංකාවේ පැවැති සාමයික ඇදහිලි ගැන මහා වංශයෙහි ඇති තොරතුරු ඉතා ස්වල්පය. එහෙත් ක්‍රි. පූ. 4 වැනි ශත වර්ෂයේ රජ කළ පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය පිහිටුවා එහි ආගමික හා ප්‍රසිද්ධ ආයතනයන් දියුණු කිරීම පිළිබඳ විස්තරවලින් අපට ඉහත කී තොරතුරු බිඳක් වටහා ගන්නට පුළුවන. මහා වංශයේ පෙනෙන ඒ කොටස් මෙසේය.

“මෙසේ රාජ්‍යශ්‍රීයට පත්වූ පණ්ඩුකාභය රජතුමා ඒ සයංජාත විල තනවා විශාල කරවීය. ජය ලැබූ අවස්ථාවෙහි ජලස්නානය එහි සිදුවූ හෙයින් ඊට ජය වැව යන නම තබන ලදී. නුවරින් නැඟෙනහිර දිග, කාලවේල යක්ෂයා උදෙසා රජතුමා දෙවොලක් කරවීය. චිත්‍රරාජ නම් යක්ෂයාට අභය වැවේ යටි කොනේ වාසය සලසා දුන්නේය. තමාට උපකාරව සිට, මියගොස් යක්ෂයොනියෙහි ඉපිදී සිටි අර දාසියට නුවර දකුණු දොරටුවෙහි වාසය සලසා දුන්නේය. යක්වෙළඹ රජ ගෙවුයන ඇතුළතම වැස්වීය. මේ යක්ෂයන් දෙදෙනාට උපකාරව සිටි වෙනත් යක්ෂයන් හට ද රජතුමා අවුරුදු පතා බලි දෙවිය, උත්සව අවස්ථාවන්හිදී රජතුමා චිත්‍රරාජ සමග සම අසුන්හි වාඩිගෙන දෙවි – මිනිස් නැටුම් බලමින් සතුටු වූයේය. රජතුමා නුවර දොරගම් හතර ද අබා වැව ද සොහොන් භූමිය හා දංගෙඩිය ද බටහිර රැජින ද වෙසමුණියා නුග දෙවොල ද වැදී දෙවියා තල් දෙවොල ද සනාග වස්තුව හා ප්‍රභේද ගෙය ද යන මේ සියල්ල නුවර බටහිර දොර දිශාභාගයෙහි කරවීය.

“මෙයින් උතුරු දිග ගැමුණු වැව දක්වා නොයෙක් තවුසන් සඳහා ආශ්‍රම කරවන ලදී. සොහොනින් පෙරදිග ජොතිය නම් නිගණ්ඨයා හට ගෙයක් තනවන ලදී. ගිරි නම් නිගණ්ඨයා හා නානාවිධ පාණ්ඩයෝ ද ශ්‍රමණයෝ ද මේ පෙදෙසෙහි වාසය කළහ. කුම්භාණ්ඩ නම් නිගණ්ඨයා සඳහා රජතුමා විසින් කරවන ලද දෙවොල ඒ නමින් ප්‍රසිද්ධ විය. මීට බටහිරින් හා වැද්දන්ගේ ගෙවල්වලට පෙරදිගින් ද මිථ්‍යා දෘෂ්ටි කුල පන්සියයකට වාසය සලසන ලදී. ජෝතියාගේ ගෙටත් ගැමුණු වැවටත් අතර පරිබ්‍රාජකාරමයෙක් ද පිහිටුවන ලදී. ආජීවකයන් හට ගෙයක් ද බමුණන් හට ආධාර ගෙයක් හා සිවි ගෙයක් ද ගිලන්හලක් හෝ ආශීර්වාද ශාලාවක් ද කරවන ලදී.”

ඒ මහා වංශ පාඨයන්ගෙන් මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ඇදහිලි ගැන තරමක අවබෝධයක් ඇතිවේ. ස්වභාවධර්මය භූතයන්ගේ තත්ත්වයට නඟාලූ පොදුජනයා ගංගා, ඇළ, දොළ, ගස් කොළන් හා කඳුවල වාසය කරන යක්ෂයන් ඇදහූහ. ගස් කොළන් ආදී අචේතනික දේ වැඳීම ද මේ ආදි කල්පිත ආගමට අයත් විය. ඉර – සඳ ආදී වස්තූනුත් දේවත්වයට නඟා වැඳුම් පිදුම් කර ඒවාට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බෙහෙවින් බලපාන්නට අවස්ථා ලබාදුන්හ.

පොදුජනයා මෙසේ වුවත් උගත් අය බ්‍රාහ්මණ ධර්මය ඇදහුවාට සැක නැත. නානාවිධ මතධාරී පරිබ්‍රාජකයෝ ඔවුන්ගේ අනුගාමිකයනුත් සමග ලංකාවේ තැනින් තැන විසූහ. ජෝතිය, ගිරි හා කුම්භාණ්ඩ යන නිගණ්ඨයන්ට, පණ්ඩුකාභය රජතුමා වාසස්ථාන සාදා දුන් බව ඉහත දැක්විණ. මොවුන් මහාවීර නමැති ජෛන ශාස්තෘවරයා ඇදහූ අය විය හැක.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන විට උතුරු ඉන්දියාවේ පැවැති ආගමික ඇදහිලිවලින් බොහොමයක් ලංකාවට ද පැතිර ගොස් තිබුණ බවට සාධක අනල්පය.

මහින්දාගමනයට පෙරලංකාව

කීර්තිමත් විද්වතකුව සිටි දිවංගත හිටපු පුරාවිද්‍යා කොමසාරිස්
සද්ධාමංගල කරුණාරත්න
ලියන ලද්දකි

advertistmentadvertistment
advertistmentadvertistment