බැසිල් උසාවිය මග හැරීමේ අවදානමක් තිබෙනවා: ඔහුට වරෙන්තු නිකුත් කරන්න – නීතිපති
නීතිපති වරෙන්තුම ඉල්ලන්නේ මගේ සේවාදායකයා රාජපක්ෂ කෙනෙක් නිසයි – බැසිල්ගේ නීතිඥ
අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නොවැම්බර් 21 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (23දා) නියෝග කළේය. ඒ එම සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙම නඩුවේ පළමු සැකකරු ලෙස තිස්ස ගලප්පත්ති නමැත්තාත්, දෙවැනි සැකකරු ලෙස මුදිත ජයකොඩි නමැත්තාත්, තුන්වැනි සැකකරු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත්, සිව්වන සැකකාරිය ලෙස අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරියක වන අයෝමි ගලප්පත්ති නමැත්තියත් නම් කර ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගම මෙනවිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පැවසුවේ නඩුවේ තුන්වන සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මගහැරීමේ අවදානමක් ඇති බවත් එබැවින් ඇප මත සිටින සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙසත්ය.
“ස්වාමීනී, අද දින අධිකරණයේ මේ නඩුවට අදාළව සැකකරුවන් වන එක දෙක සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිනවා. 3 වන සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අද අධිකරණයේ පෙනී සිටින්නේ නෑ. ඔහුගේ ඇපකරුවන් අධිකරණය හමුවේ ඉන්නවා. 2024/09/18 වැනිදා මෙම අධිකරණයෙන් ලබාදුන් නියෝගය අනුව තුන්වන සැකකරුට විදේශගතවීම සඳහා ලබාදුන් කාලය අවසන්. ඒ අනුව 2016/07/30 සැකකරුට නිකුත් කළ ඇප නියෝග අනුව අද සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි. තුන්වන සැකකරු අද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට සාධාරණ හේතු ඔහුගේ නිතීඥවරයා ඉදිරිපත් නොකරන්නේ නම් සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
ඒ අවස්ථාවේදී සැකකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පැවසුවේ සිය සේවාදායකයා හදිසි අනතුරකට මුහුණ දී සිටීම හේතුවෙන් අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවයි.
“ස්වාමීනී මගේ සේවාදායකයා මැයි 18,19 ලංකාවට පැමිණීමට ගුවන් ගමන් ටිකට් පත් වෙන් කළා. නමුත් ඔහු හදිසියේ පුටුවකින් ඇඳ වැටී අනතුරකට ලක්වුණා. ඒ නිසා ඔහු දැන් හිසෙහි සහ බෙල්ලේ ස්නායු ආබාධයකට ලක්වෙලා ඉන්නවා. ඔහු ඊට ප්‍රතිකාර ලබාගන්නවා. ඊට අදාළ වෛද්‍ය වාර්තා මම මේ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරනවා. ස්වාමීනී… මේ වෛද්‍ය වාර්තා අනුව මාගේ සේවාදායකයාගේ රෝගී තත්ත්වයේ ස්භාවය මත ඔහුට ගුවන් ගමන් යෑම නුසුදුසු බව වෛද්‍යවරයා පවසා තිබෙනවා. මගේ සේවාදායකයා සිතා මතා අධිකරණය මග හරින්නේ නෑ. අධිකරණ අවසරයක් මතයි ඔහු විදේශ රටකට ගියෙත්. ඉදිරි නඩු දිනයේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිනවා. ඒ නිසා මගේ සේවාදායකයාගේ ඇප අහෝසි කිරීමක් හෝ ඔහුට වරෙන්තුවත් නිකුත් කිරීමක් සිදුකිරීම අනවශ්‍යයි ස්වාමීනී”
එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පැවසූවේ, සැකකරුගේ රෝගී තත්ත්වයක් පිළිබඳ පැමිණිල්ලට නිසි දැනුවත් කිරීමක් කර නොමැති බැවින් ඇප පනතේ 14/1 වගන්ති ප්‍රකාරව කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවයි.
“ස්වාමීනී තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවට ලේඛන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා දෙකක් ද තිබෙනවා. ඉන් එක් වෛද්‍ය වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ 2025 මාර්තු 18 වැනිදා. ඒ වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ ඉරියව්වල වැරදි හේතුවෙන් සාමාන්‍ය ආතරයිටීස් රෝගී තත්ත්වයකින් ඔහු පසුවන බව වෛද්‍යවරයා පවසා තිබෙනවා. ඒ වෛද්‍ය වාර්තාව තුළින් ලබාදී තිබෙන වෛද්‍ය නිර්දේශ දින 14ක් යනතුරු ක්‍රියාත්මක කරන ලෙස හා යම්කිසි දරුණු තත්ත්වයක් ඇති වුවහොත් වහාම රෝහලට පැමිණෙන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙනවා. මොහු දින 14කින් පසු නැවත අසාධ්‍ය තත්ත්වයකින් ප්‍රතිකාර ගත් බවත් මේ වෛද්‍ය වාර්තා තුළින් ඉදිරිපත් කර නෑ. එවන් පසුබිමක 2025/04/15 ඉඳන් ඔක්තෝබර් 15 දක්වා සැකකරුගේ රෝගී තත්ත්වය මත පදනම්ව ඔහුට ගුවන් ගමන් නුසුදුසු බවට තවත් වෛද්‍යවරයකු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා පිළිගත නොහැකියි. ඒ වගේම ස්වාමීනී යම් සැකකරුවකු එරෙහිව විමර්ශනයක්, නඩුවක් විභාග වෙනවා නම් ඊට ඔහු පෙනී නොසිටින්නේ නම් ඔහුගේ ඇප අවලංගු කිරීමටත් වරෙන්තු නිකුත් කිරීමටත් අධිකරණයට බලයක් තියෙනවා. මේ සැකකරු ඔබතුමාගේ අවසරය මත විදේශගත වී සත්‍ය යැයි පෙනෙන අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර අධිකරණය මගහරිනවා.
ඒ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පැවසුවේ සිය සේවාදායකයා රාජපක්ෂ පවුලේ කෙනෙකු වීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුට එරෙහිව වරෙන්තු ගැනීමට උත්සාහ කරන බවයි.
“ස්වාමීනී නීතිපති දෙපාර්තමේන්තුව නොකළ යුතු දෙයක් මේක. මාගේ සේවාදායකයා රාජපක්ෂ කෙනෙක් වීම නිසයි නීතීපති දෙපාර්තමේන්තුව මෙහෙම කටයුතු කරන්නේ. ආයතන නොමඟ යවලා අපි කටයුතු කරලා නෑ. ඒක පිළිකුල් සහගතයි. මෙතුමිය මේ කියන්න උත්සාහ කරන්නේ මගේ සේවාදායකයා හොරා කියලනේ. මගේ සේවාදායකයා නඩුවාර 23කට අධිකරණයට ඇවිල්ලා තියෙනවා. මට වෛද්‍ය විද්‍යාව ගැන නම් දැනුමක් නෑ. මම දන්නේ නෑ මගේ සේවාදායකයා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ඇත්තද බොරුද කියලා. මම හිතන්නේ නෑ ලංකාවේ වෛද්‍යවරු වගේ ඇමරිකාවේ වෛද්‍යවරුත් හොරු කියලා.
නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමතියි මගේ සේවාදායකයා, රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. හොඳ වුණත් නරක වුණත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනේ. මගේ සේවාදායකයා අද ආවේ නැත්තේ අසනීප තත්ත්වය නිසා. ඉදිරි නඩු දිනයේ ඔහු අධිකරණයට එනවා. ඒ නිසා ස්වාමිනී මේ අවස්ථාවේ ඔහුට වරෙන්තු නිකුත්කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නෑ.
ඊට පිළිතුරු දෙමින් ලක්මිණි ගිරිහාගම මෙනවිය කියාසිටියේ “ස්වාමිනී, නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලයින් මෙයා රාජපක්ෂ කෙනෙක්ද පෙරේරා කෙනෙක් වගේ බලලා දඬුවම් දෙන්නේ නෑ. සැකකරුවකු ඇප ලබාගත් පසු ඉන් පසුව නඩුව කැඳවන සෑම දිනකම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි. එයයි නිතීය. ඔබතුමා දැන් කටයුතු කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව ස්වාමිනී. කරුණු සලකා බලා මා මේ ගරු අධිකරණයෙන් කළ ඉල්ලීම් ලබා දෙන්න ස්වාමිනී.
කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ මේ අවස්ථාව වනවිට සැකකරු අධිකරණය මඟහරින බවට සෑහීමකට පත්විය හැකි ආකරයේ කරුණු ඉදිරිපත් වීමක් සිදු වී නැති බවයි.
“තුන්වන සැකකරු චේතනාන්විතව අධිකරණය මඟහරින බවට හෝ නැවත නඩු කටයුත්තකට මෙම අධිකරණය හමුවට කැඳවා ගැනීමේ නොහැකි තත්ත්වයක් නැති බවයි අධිකරණ මතය. ඒ අනුව මේ අවස්ථාවේ සැකකරුගේ ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් සිදු කරන්නේ නෑ. සැකකරුගේ නීතිඥවරයාට සහ ඇපකරුවන්ට ඉදිරි නඩු වාරයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටුයුතු කරන ලෙසට අවවාද කරනවා.
නඩුව නොවැම්බර් 21 යළි කැඳවීමට නියමිතය.
ඒ.ජේ.ඒ.අබේනායක