මාර්ගයෙන් ඉවතට පැන්න බසය වැලිමඩදී අඩි 50ක ප්‍රපාතයට

634

අයෙක් මරුට 20ක් රෝහලේ
තිදෙනකුගේ තත්ත්වය බරපතළයි

වැලිමඩ ඩයරබා ප්‍රදේශයේදී පෙරේදා (10 දා) රාත්‍රී සිදුවූ බස්රථ අනතුරින් බස් රථයේ ගමන් කළ එක් මගියෙකු මියගොස් බසයේ ගමන්කළ විසිදෙනකු තුවාල ලබා තිබේ.

බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් රාත්‍රී 7.50ට පමණ වැලිමඩ ඩයරබා ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු බස් රථයේ ගමන් කළ 20 දෙනකු තුවාල ලබා ඇති අතර බස් රථයේ සිටි මගීන්ගේ කෑගැසීම ඇසී අසල සිටි පිරිස් පැමිණ කඩිනමින් අනතුරින් තුවාල ලබා සිටි මගීන් බස්රථයෙන් ඉවතට ගෙන රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ. මෙලෙස තුවාල ලබා සිටි පිරිස් මිරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු තුවාලකරුවන් වැලිමඩ මූලික රෝහල වෙත මාරුකර යැවීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණ.

මෙසේ වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන් ගෙන් වයස අවුරුදු 56ක අයෙක් අවාසනාවන්ත ලෙස මියගිය අතර ඔහු වැලිමඩ හත්දාවුල ප්‍රදේශයේ පදිංචි පිරිමි අයෙකි. තවද මෙම අනතුරින් තුවාල ලබා සිටි කුඩා දැරියක ඇතුළු තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමටත්, වැලිමඩ මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කටයුතු කර තිබේ.

අනතුර හේතුවෙන් බස් රථයටද දැඩි හානි සිදුව තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් වැලිමඩ පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරති.

බොරලන්ද – සමන්ත කුමාර


advertistmentadvertistment