යශෝධා සම්මානි ප්‍රේමරත්න
බ්ලොග් නිර්මාණ තුළින් නිර්මාණ දිවිය අරඹා ඉන් ඔබ්බට යමින් සාහිත්‍යකරණයේ නියැළෙන නව පරපුරේ නිර්මාණකාරියක වන යශෝධා සම්මානි ප්‍රේමරත්න සමග මෙවර වටමඬල සංවාදය මෙසේ අරඹමු.
ප්‍රශ්නය:- මා දන්නා පරිදි ඔබ බ්ලොග් හරහා ප්‍රකට වූ කිවිඳියක්. ඒ බ්ලොග් යුගය දැන් අවසන්. බොහෝ අය මූණු පොත වැනි සමාජ ජාලාවල කවියන් බවට පත්ව සිටිනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද? ඔබත් ඒ නව ක්‍රම කවියට යොදා ගන්නවාද?
පිළිතුර:-
ඔව්. මම සාහිත්‍යකරණයට පිවිසෙන්නේ බ්ලොග් මාධ්‍යය හරහා. ඒ මීට වසර දොළහකට පමණ පෙර අතීතයේදී. නමුත් කාලයත් සමග බ්ලොග් මාධ්‍යය ක්‍රම ක්‍රමයෙන් පාඨක ප්‍රජාව අතින් ගිලිහී යනවා අපිට අත්දකින්න ලැබුණා. ඒ වෙනුවට ඊට වඩා නවීන සහ තාක්ෂණය අතින් ඉදිරියෙන් ඉන්නා සමාජ මාධ්‍ය, වෙනත් වෙබ් මාධ්‍ය, වට්පෑඩ් සහ මීඩියම් වැනි ජංගම යෙදවුම් (apps) ඒ තැනට පත් වුණා. මෙය අපේක්ෂා කළ හැකි සහ අපේක්ෂා කළ යුතු තත්ත්වයක්.
අපි ජීව විද්‍යාවේදීත් ඉගෙන ගන්නවානෙ උචිතෝන්නතිය සිදු නොවුණොත් ස්වාභාවික වරණයට මුහුණ දෙන්න සිදුවෙන බව. ඉතින් විය යුතු පරිදිම, නෂ්ට වී යාම වෙනුවට පැවැත්ම තෝරාගත් ඩිජිටල් ලේඛක ප්‍රජාව පෙර කී නව මාධ්‍ය වෙත සංක්‍රමණය වුණා.
මමත් ඒ වාගේම, බ්ලොග් අඩවියට අමතරව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික් ටොක් යෙදවුම් හරහා මගේ නිර්මාණ පාඨක ප්‍රජාව අතරට ගෙන යමින් ඉන්නවා. මීට අමතරව මීඩියම් යෙදවුම හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මගෙ ලිවීම් අන්තර්ජාලයට මුදාහැරීම සිදුකරගෙන යනවා.
ප්‍රශ්නය:- ඔබ මෙවර කෘති දෙකක් එළි දක්වනවා. කෙටිකතා පොතක් සහ කවි පොතක්. මේ වර්ගයේ කෘතිවලට පාඨකයන්ගෙ ඇල්ම අවම යැයි විටින් විට අදහස් ප්‍රකාශ වෙනවා. එය ඔබ විශ්වාස කරනවාද? එසේ නැතිනම් ඔබගේ අදහස් ප්‍රකාශනයට වඩාත් උචිත වන්නේ මේවා යැයි ඔබ සිතනවාද?
පිළිතුර:-
මම ලේඛන කාර්යේදී භාව ප්‍රකාශනය වෙනුවෙන් යොදාගන්නේ මට වඩාත් පහසු වගේම මම වඩාත් සුහුරු මාධ්‍යය. ඒ තමයි කාව්‍ය සහ කෙටිකතා. මම කුඩා කල සිටම කාව්‍යකරණයේ නියැළෙනවා. හෙන්රි කල්දේරා මහතා ගායනා කරන “මිදුලේ සුදු වැලිතලයේ” ගීතය ඇතුළු ඒ සමයේ ජනප්‍රිය ගීත රැසක ගේය පද රචකයෙක් වන ප්‍රේමරත්න පලිහවඩන මගේ තාත්තා. ඉතින් ඒ ආභාසයත් සමගයි මම කාව්‍යකරණයට පිවිසෙන්නෙ.
ඉන් පස්සෙ බ්ලොග් මාධ්‍යය හඳුනා ගැනීමත් සමග මම කෙටිකතා කලාව හදාරන්න පටන් ගන්නවා. අනතුරුව විවිධ පුවත්පත් සහ සඟරා වගේම යූ ටියුබ් වැනි ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මගේ කෙටිකතා පාඨක ප්‍රජාව වෙත වඩාත් සමීප වෙනවා.
මට මෙතෙක් ලැබී ඇති පාඨක ප්‍රතිචාර අනුව නම්, කාව්‍ය හෝ කෙටිකතා කෘතිවලට පාඨක ඇල්ම අවම යැයි මා හිතන්නේ නැහැ. ඒ වෙනුවට, කාව්‍ය සහ කෙටිකතා ශානරවලට ඇලුම් කරන, ඒවා රසවිඳින්නට තරම් ගැඹුරක් ඇති අය සුවිශේෂී, සහෘද පාඨක කවයක් ලෙස හඳුන්වන්න මා වඩාත් කැමතියි.
ප්‍රශ්නය:- ඔබ මේ වන විට වාසය කරන්නෙ මැලේසියාවෙ. ඒ රටේ සාහිත්‍යයට ඇති ලැදියාව සහ රජයෙන් ලැබෙන අනුග්‍රහ ඔබ ලංකාව සමග සසඳන්නෙ කොහොමද?
පිළිතුර:-
ලංකාවේ වගේම මැලේසියාවේත් සාහිත්‍යය, විශේෂයෙන්ම ලේඛන කලාව වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඔවුන්ගේ Dewan Bahasa Dan Pusaka (DBP) නම් දෙපාර්තමේන්තුව මගින් අවුරුදු පතා නව ලේඛකයන්ට සිය නිර්මාණ එළිදැක්වීම වෙනුවෙන් මූල්‍ය සහය සැපයීමේ සිට, ජාතික මට්ටමේ සම්මාන ප්‍රදානෝත්සව දක්වා විශාල වපසරියක අනුග්‍රහයන් සහ අභිප්‍රේරණයන් සැපයෙනවා.
මීට අමතරව මැලේසියාවේ මම දකින විශේෂම දෙයක් තමයි ස්වභාෂාවෙන් ලියැවුණු කෘති අන්තර්ජාතික පාඨක සමාජය වෙත සමීප කරවීමට දරන උත්සාහය. පරිවර්තකයන් සඳහා, විශේෂයෙන්ම මැලේ සහ චීන භාෂාවලින් ලියැවුණු කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිවලට විශේෂ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා.
මැලේසියාවේ කියවීම් සංස්කෘතිය ලංකාවට වඩා බොහොම ඉදිරිගාමී බවත් මා නිරීක්ෂණය කර ඇති දෙයක්. ඔවුන්ගේ පොත්හල් කියන්නේ ජීවයෙන් පිරි සංස්කෘතික අවකාශ. සුවිශාල වපසරියක පැතිර ඇති මේ පොත්හල් තුළ වෙනම ආට් ගැලරි, කෝපි සාප්පු, කෝපි හෝ වයින් බොමින් පොත් කියවන්නට සැකසූ වෙනමම නිදහස් අවකාශ පමණක් නොවෙයි, සාහිත්‍ය සංවාදවලට සැකසූ සංවෘත ශ්‍රවණාගාර පවා ඇතුළත්. බොහෝ පොත්හල් මැද තබා ඇති සුවිසල් පියානෝවත්, එය වාදනය කරන අහඹු
පාරිභෝගිකයකුත් කියන්නේ ඉතාම සුලබ දසුනක්. මේ වෛවර්ණ කියැවීම් සංස්කෘතිය නිසාම මැලේසියානුවන් පොතපතට වඩාත් ආසක්ත වෙන බවයි මගේ වැටහීම.
ප්‍රශ්නය:- වර්තමාන බොහෝ නිර්මාණකරුවන් සංස්කරණය කරමින් ලිවීමට මැළිකමක් දක්වනවා. ඔබ ඒ සඳහා යොදා ගන්නා ක්‍රම මොනවද? ඔබේ කවිය හෝ කෙටිකතාව අවසාන කරන්න නැවත ලිවීම කරනවාද?
පිළිතුර-
නිර්මාණයක් මුද්‍රණද්වාරයෙන් පළ කිරීමට ප්‍රථම එය කිහිපවාරයක් සංස්කරණය කළ යුතුයි යන්න අවිවාදිතයි. පළමුව, නිර්මාණයක් මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේදී එයට අමතර බරක් එකතු වෙනවා. දෙවනුව, ප්‍රකාශිත මාධ්‍යය අනුව නිර්මාණයේ හැඩය සුළු වෙනස්කම්වලට බඳුන්වීම අනිවාර්යයි.
මගේ නිර්මාණ මුද්‍රණයට පෙර කිහිපවාරයක් සංස්කරණය කෙරෙනවා. ඉනික්බිති වෘත්තීය සෝදුපත් නිරීක්ෂකයකු හරහා සෝදුපත් බැලීම ද, වෘත්තීය සැකසුම් ශිල්පියකු විසින් මුද්‍රණ සැකසුම ද සිදුවෙනවා. මගේ අදහස නම්, මුද්‍රිත නිර්මාණයක් පාඨකයා අතට පත් කිරීම ‘සීරියස්‘ වැඩක්. අපි ඒ වෙනුවෙන් අදාළ කාලය, ශ්‍රමය වගේම අගය එකතුකිරීම ලබා දෙන්නම ඕනෑ.
ප්‍රශ්නය:- ඔබේ ලිවීම වෙත ඔබව ප්‍රේරණය (සබිචසරු) කරන ලාංකික හෝ විදේශීය නිර්මාණකරුවන් සිටිනවාද?
පිළිතුර:-
අනිවාර්යයෙන්ම. කියවීම මගේ විනෝදාංශය. නමුත් මෙන්න මේ නිර්මාණකරුවා නිසා මා ප්‍රේරණය වෙනවායැයි කියනවාට වඩා බොහොම විසිරුණු සහ පැතිරුණු වපසරියක මගේ කියවීම් පරාසය විහිද තිබෙනවා. ඒ නිසා ලේඛක නාම එකක් දෙකක් උපුටා දැක්වීමෙන් මගේ පිළිතුරට සාධාරණයක් ඉටුවේ යැයි මා හිතන්නෙ නෑ.
ප්‍රශ්නය:- අවසාන වශයෙන් ඔබගේ මේ නව කෘති ගැන යමක් කියමු. අන්තර්ගතය, ප්‍රකාශනය වැනි දෑ?
පිළිතුර:-
මිලිතත්පර සිලියනයක් මගේ දෙවන කාව්‍ය සංග්‍රහය, මගේ ප්‍රියතම විප්‍රලාපී කාව්‍ය සම්ප්‍රදාය මූලික කොටගත් කාව්‍ය නිර්මාණ හතලිස් එකකින් සමන්විතයි. ඒ වගේම බළලෙකුගේ පරමාධිපත්‍යය කියන්නේ මගේ පළමු කෙටිකතා සංග්‍රහය. එහි කෙටිකතා නිර්මාණ දොළහක් ඇතුළත්. එහි ඇතුළත් බොහෝ නිර්මාණවලට ප්‍රස්තුතවෙන්නේ අපි අහන, දකින, ගැටෙන වත්මන් සමාජය හා බැඳුණු සිදුවීම්. ඒ නිසාම මේ කෘති දෙක ඔබේ හදවතට වඩාත් සමීප කියැවීම් අත්දැකීමක් ළඟාකරදෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා.
මේ කෘති දෙකත් සමග, අපි අපේම ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරනවා. ඒ Upside Publications, ඒ හරහා ඉදිරියේදී විවිධ ශානරවල කෘති පාඨකයා වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.
සංවාදය ලසන්ත ආරියරත්න