ජී. එම්. ආර්. ඩී. අපොන්සු

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික) ලේකම් සහ කැඳවුම්කරු, ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ජනාධිපති කාර්ය සාධක බළකාය

රටක දියුණුවට මිනිසුන්ගේ ආකල්පවල ගුණාත්මක වර්ධනයක් වුවමනාය. නොඑසේනම් මන්තරයක් තරමට මතුරන “සිස්ටම් චේන්ජ්” යන්න බොරුවක් බවට පත්වේ. එසේ, “සිස්ටම්” එක මුල සිටම “චේන්ජ්” කරගත් රටවල මිනිසුන්ගේ ආකල්ප, විනය බොහෝ සෙයින් දියුණු තලයක තිබේ. අප තව කොතෙක් දුර යා යුතුද යන්න “සිරි දළදා වන්දනාව” පෙන්වා දී ඇත්තේ ය. ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) උත්සාහ දරන්නේ ඒ වෙනස බිම් මට්ටම දක්වා ගෙනයන්නටය. සිරි දළදා වන්දනාවේදී ඉස්මතු වූ බොහෝ කාරණා සමඟ අප ගත යුතු මඟ ගැන ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා විස්තර කරන්නේ මෙලෙසය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අරමුණ මොකක්ද?

ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන මේ වසරේ ජනවාරි 01 වැනිදා වත්මන් ජනපතිවරයා ප්‍රකාශ කළාට පස්සේ මෙම වැඩසටහනේ අවසාන අරමුණ විදිහට එතුමා පැහැදිලි කළා අපේ සමාජයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියාගේ ආකල්ප, හැසිරීම් රටාව ඉහළ තලයකට ගෙනයාම බව. අපේ රට ගැන සලකා බැලුවොත් වංචා දූෂණ දර්ශකය හැටියට ගත්තොත් අපි ඉන්නේ රතු කලාපයේ. සමස්ත සමාජය විදිහට ගත්තොත් අපි ඉන්නෙ හොඳ තැනක නොවෙයි. මේ හැම එකකින්ම ලෝකයට පේන චිත්‍රය වෙනස් කරගන්න තමයි රජයක් හැටියට අපට වුවමනාව තියෙන්නේ. එතනදී පුද්ගලයාගේ ආකල්ප, චර්යාව වෙනස්කර ගැනීම හා සමාජ වටපිටාව වෙනස් කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මේ ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන ආකාර තුනකට විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි සමාජයීය තත්ත්වය. ඒ කියන්නේ අපේ රටේ ජනතාව සමාජීය විදිහට මුහුණදෙන ගැටලු හා ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය. දෙවැනි කාරණය පුද්ගලයා පාරිසරික විදිහට තියෙන බැඳීම කොහොමද කියලා අපි සොයා බලා කටයුතු කිරීම. තුන්වෙනි කාරණය හැටියට ආචාරධර්ම පිළිබඳව අපේ රටේ පුරවැසියන්ගේ භාවිතය කෙසේද යන්නද සොයා බැලීම. ඒ පිළිබඳ සැලකුවහොත් අපේ රටේ අපට දකින්නට ලැබෙන ප්‍රතිඵල සෘණාත්මකයි. එය ධනාත්මක ප්‍රතිඵලයක් බවට පරිවර්තනය කිරීමට මේ වැඩසටහනේදී අප කටයුතු කරනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා ශ්‍රී දළදා වන්දනාව අතර සම්බන්ධය ගැන සඳහන් කළොත්?

මම කලින් සඳහන් කළ වපසරිය තුළ තමයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන (Clean Sri Lanka) විදිහට ශ්‍රී දළදා වන්දනා සඳහා එකතුවෙන්නේ. රජයක් හැටියට ශ්‍රී දළදා වන්දනාව සමඟ බැඳී සිටින්නේ සංස්කෘතික ආගමික විදිහට බැඳුණු ජනතාවගේ ශ්‍රද්ධාව කියන කාරණය සමඟයි. එම වන්දනාවට එකතු වන පිරිසට අපේ පණිවුඩය දෙමින් එම කාර්යයට උපකාර කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. ඒ වගේම තමයි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා මාලිගාව ඇතුළු නුවරට ඒකරාශි වන නිසා එතනදී පරිසරය පිරිසිදුව තියාගන්නේ කොහොමද කියන එක. ඇත්තටම ඒක අපේ වැඩක් නොවුණත් වෘත්තීය වශයෙන් එය සිදුකරන්නේ නගර සභාවයි. හැබැයි පරිසරය ක්ලීන් කරන එකේදී ක්ලීන් ශ්‍රී ලංකා විදිහට පාරිසරික කියන කොටසේදී අප කතාකරනවා පරිසරයට ආදරය කිරීම, පරිසරයේ තිරසරභාවය රැක ගැනීම, ඒ පිළිබඳව සමාජයට පණිවුඩයක් දීමත් නගරයේ කුණු කසළ ඉවත් කරන්නේ කොහොමද කියන එක. බැතිමතුන්ට පහසුකම් සැපයීමේදීත් රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශයේත් දායකත්වය අරගෙන පහසුකම් සපයන්න අප කටයුතු කරනවා.

අනෙක් කාරණය තමයි බැතිමතුන්ගේ සනීපාරක්‍ෂක කටයුතු සඳහා සැලකිලිමත් වීම. ඒ අනුව පුද්ගලයන්ගේ ආර්ථික මට්ටම් අනුව, සමාජ මට්ටම් අනුව අද බරපතළ ගැටලුවක් ඇතිවී තිබෙනවා. බොහෝ විට සමාජයේ විවිධ මට්ටම්වල පුද්ගලයන්ගේ මෙකී භාවිත ක්‍රමයන් වෙනස්වීම මත ඔවුන්ගේ හැසිරීම් රටාවන් පවා වෙනස් වෙනවා. ඇතැම්විට මේ ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා ඇදී යනවා.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගිවෙන කොට සනීපාරක්‍ෂක කටයුතු සැපයීම නගර සභාවේ කාර්යයක් වුවත් රජයක් හැටියට පිරිසිදු ජලය, දන්සල් තුළ සෞඛ්‍යාරක්‍ෂිත භාවය තබාගන්නේ කෙසේද යන්න අපි ක්ලීන් ශ්‍රී ලංකා කියන තේමාව යටතේ මෙහි රැස්වෙන ජනතාවට තේරුම් කර දෙන්න ප්‍රයත්නයක් දරනවා.

සමාජය තුළ මතයක් ගොඩනැගෙනවා ආණ්ඩුවට දළදා වන්දනා වැඩසටහන සංවිධානය කරගන්න නොහැකිවුණු බවට අද වනවිට ශ්‍රී දළදා වන්දනාව කියන කාරණාවේදී ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අපිට අවශ්‍යතාව තිබුණේ දළදා වන්දනාවට කලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා දළදා වන්දනාව අතර සාකච්ඡාවක් හදාගන්න. හැබැයි ඒක දැන් වෙනස් විදිහට තමයි කරන්න වෙලා තියෙන්නේ. අපි ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) විදිහට දකිනවා සමාජය වෙනස් කිරීමේදී අලුත් දේවල් සිදුවිය යුතු බව. ඒත් මේ තත්ත්වයත් එක්ක තමයි දළදා වන්දනාවට අනපේක්‍ෂිත පිරිසක් එකතුවෙන්නේ. ඇත්තටම මේක අනපේක්‍ෂිත එකක් නොවෙයි. රජයක් හැටියට අපි කල් ඇතුව දන්නවා ජනතාවගේ ශ්‍රද්ධාව හා මෙය විනෝදයටද අවස්ථාවක් කරගත්තු පිරිස් පවා මේ දළදා වන්දනාවට ඇදී එනවා කියලා. දළදා වහන්සේගේ වත්පිළිවෙත් අනුව දළදා ප්‍රදර්ශනයට දෙන කාලය සීමාවෙලා තිබෙනවා. ඒ දවසකට පැය පහක උපරිමයකට යටත්ව. ඒ අනුව මේ පැය පහ තුළද දල වශයෙන් වන්දනා කළ හැක්කේ හැටදහසක් හැත්තෑදහසක් විතර ප්‍රමාණයක පමණයි. මෙතනට රැස්වෙන අයගෙන් බොහෝ අයට පළමු දින දළදා වන්දනා කරගන්න බැහැ. එතකොට යම් පිරිසක් එකතු වෙනවා. ඒ නිසා තමයි අපේ පැත්තෙන් අපි හැමතිස්සේම උත්සාහ කරන්නේ ඒ පහසුකම් සැපයීමේදී ඒ අවස්ථාවන් අනුව ජනතාවට පහසුකම් සැපයීමට.

ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) මේ ප්‍රශ්නය දකින්නේ කොහොමද?

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන (Clean Sri Lanka) විදිහට එම ප්‍රශ්නය වෙනස් විදිහට දකින්න අපි උත්සාහ කරනවා. මේ වැඩසටහනේ සාර්ථක අසාර්ථක භාවය දේශපාලන අරමුණෙන් බලන අයත් ඉන්නවා. මේ නිසා තමයි සමාජයේ එවැනි චිත්‍රයක් ගොඩනැගෙන්නේ. අපි දකිනවා මේ සිදුවීමෙන් ධනාත්මක දෙයක්. ඒ තමයි අපි නොදකින අනුමාන කළ සමාජ රටාවන් එකතැනකට ඇවිත් විද්‍යාමාන වුණු එක. ඒත් මේ තත්ත්වය තුළදී තමයි පිරිස ගොඩක් වැඩිවෙලා පාලනය කරගන්න බැරිතරමට තත්ත්වයක් උදාවන්නේ. එම තත්ත්වයත් අප දකින්නේ ක්ලීන් ශ්‍රී ලංකා :(Clean Sri Lanka) කියන වැඩපිළිවෙළ හරහා සිදුවිය යුතු කොටසක් බවට. සමාජය වෙනස් කිරීම කියන තැන ඉඳන් බැලුවොත් පුද්ගලයන් වෙනස් කරන්න ඩිජිටල් ආර්ථිකය යොදාගන්නෙ කොහොමද කියන එකත් එක්ක මේ එන සෙනඟ පාලනය කරන්න පුළුවන්ද කියන එක අපි බලනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන (Clean Sri Lanka) පිළිබඳව රජයක් හැටියට ජනතාව දැනුවත් කිරීම ගැන කතා කළොත් ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන දවසකින් දෙකකින් කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහනක් නොවෙයි. රජයක් හැටියට ගත්තොත් මේ රජයට බලය තියෙනවා අවුරුදු 5ක්. එතකොට පැහැදිලිවම මේ අවුරුදු පහ පුරාම අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් පැති ගණනාවක් අපි කතාකරල තියෙනවා. ඒ විදිහට හැම පැත්තක්ම සමාජීය, පාරිසරික, අධ්‍යාත්මික ආකාරයට ගත්තොත් මේ හැම එකකම අප කළයුතු අපට කළ හැකි යම් ව්‍යාපෘති විදිහට සිදුකළ යුතු ගොඩක් දේවල් තේරුම් අරන් තියෙනවා. රජයේ විතරක් නොවෙයි පෞද්ගලික අංශය කොහොමද මෙයට දායකත්වය දෙන්නේ කොහොමද කියල අපි සැලකිල්ලක් දක්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පෞද්ගලික අංශය කොහොමද ආචාර්ධර්ම ගැන හිතන්නේ කියලා අපි බලනවා. ඒ අයටත් තියෙනවා සාමූහික වගකීමක් සමාජය ගැන. ඒ නිසා තමයි ඒ අය මේකට ආධාර ලබාදෙන්නේ. අපි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනින් ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ඒ ගුණය වගා කිරීමයි. දළදා වන්දනාවේදීත් කුණු කූඩ ටික, වැසිකිළි පහසුකම් දෙන්නේත් මේ කියන පෞද්ගලික ආධාර හැටියට. ඒ නිසා රජයේ වියදම් ඒවාට ගියේ නෑ. පිරිස් ප්‍රමාණය වැඩිවෙන නිසා තමයි රජයේ වියදමින් නැවත මේ පහසුකම් ලබාගන්නේ. අපි කියන්නේ මේ ගුණය රටේ සෑම පුරවැසියා තුළම වර්ධනය කරගන්න ඕන කියලයි. මේ වැඩසටහන යටතේ අපි වැඩකරමින් ජනතාව දැනුවත් කිරීම් කරනවා. ඉදිරියේදීත් වැඩ රාශියක් සැලසුම් කර ගෙන තිබෙනවා. මෙවර අයවැයෙන් බිලියන පහක් වෙන්වෙලා තියෙනවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන්. අපි රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා ක්‍රියාත්මක කිරීම තුළින් මේ වැඩසටහන සමාජගත කරන්න. ඒ වගේම රජයක් ලෙස අපිට වගකීමක් තියෙනවා ජනතාව බලාපොරොත්තු වූ වෙනස වෙනුවෙන් කටයුතු කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන කියන්නේ පරිසරය පිරිසිදු කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් නොවෙයි. පුද්ගලයන්ගේ හැසිරීම සහ මානුෂීය සබඳතාවල ගුණාත්මකභාවය ඇති කිරීමත් එහි අරමුණු වෙනවා. ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) තුළින් බලාපොරොත්තු වන්නේ සියලු අංශයන්ගේ ප්‍රතිසංවිධානය කිරීමක්.

සාකච්ඡා කළේ –
රමින්ද මාවතගේ
ඡායාරූප – සුජාතා ජයරත්න


advertistmentadvertistment