මිලියන 242යි: ලෙඩ දුම්රිය සීනු සැපැයුම්කරුවන්ටම වදියි

215

දුම්රිය හරස් මාර්ග සඳහා ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක වගකීම් කාලය නිම වීමටත් පෙර ඒවා ක්‍රියා විරහිතව ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කර ඇත.

අදාළ ටෙන්ඩර්කරු විසින් අවශ්‍ය සුදුසුකම් ලැබීමේ නිර්ණායක සපුරා නොතිබියදී එම සමාගමට ප්‍රසම්පාදනය ලබා දීමට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති බවත් මෙය ළබැඳියාවන් මත සිදුවූ ගනුදෙනුවක් ද යන්න පිළිබඳ පරීක්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවටත් විගණනය මගින් නිර්දේශ කර ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මෙකී ටෙන්ඩරය ඇගයීමේ දී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවට අනාවරණය වී තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ කාර්යභාර්ය නිසි පරිදි ඉටුකිරීම පිළිබඳ සලකා බැලිය යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත.

සැපයුම්කාර සමාගම විසින් ස්ථාපනය කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 200 අතුරින් 2023 වර්ෂයේ ජුනි මස 20 වැනිදා වන විට පද්ධති 50ක් ක්‍රියා විරහිත වී තිබුණි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment