කාච දැමීමේ පෝලිම් අවුරුදු ගණන් දිග්ගැහිලා
මීරිගම රජයේ රෝහලේ අක්‍ෂි සායන මධ්‍යස්ථානයේ පවතින අවිධිමත් බව හා අකාර්යක්‍ෂමතාවය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට අපමණක් දුක් පීඩාවලට මුහුණ දීමට සිදුවී ඇත. මේ පිළිබඳව වහා අවධානය යොමුකොට අවශ්‍ය පියවර ගන්නැයි ප්‍රදේශවාසී ජනතාව බස්නාහිර පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
විශේෂයෙන් ඇස්වලට කාච දැමීම ඇතුළු විවිධ ඇස් රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට විශාල පිරිසක් මෙම සායන මධ්‍යස්ථානයට පැමිණෙති. කාච දැමීම සඳහා ඇස් පරීක්‍ෂා කළ පසු එම කටයුත්ත සඳහා යළිත් තමන් කැඳවන්නේ වසර ගණනාවක් ගතවූ පසුව යැයි රෝගීහු චෝදනා කරති. මෙහි ඉතා දුක්බර තත්ත්වය වන්නේ මේ වනවිට සමහර රෝගීන් මියගොස් ද සිටීමයි. ප්‍රතිකාර කටයුතු සඳහා කැඳවීමේදී පවතින මෙම දැඩි ප්‍රමාදය නිසා ඇතැම් රෝගීන්ගේ රෝගී තත්ත්ව උත්සන්න වන අවස්ථා ඇති බවද රෝගීහු කීහ. වැඩි වශයෙන්ම මෙලෙස අනතුරට පත් වන්නේ මුදල් වියදම් කිරීමට තරම් ආර්ථික ශක්තියක් නැති දුප්පත්
රෝගීන්ය. මුදල් වියදම් කිරීමට හැකි රෝගීහු පෞද්ගලික රෝහල් කරා යොමු වෙති.
ඇස්වලට කාච දැමීමේදී රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු උපකරණ මෙම සායන මධ්‍යස්ථානයේ නැතිකමින් ද රෝගීහු පීඩාවට පත්වෙති. රෝගීන් කියන්නේ අක්‍ෂි කාච දැමීමට තෝරාගන්නා තමන් වෙත සායන කාර්යමණ්ඩලය ඖෂධ හා උපකරණ ලැයිස්තුවක් ලබාදෙන බවයි. එහි ඇති සියල්ල තවත් රෝගීන් හා එක්ව හෝ තනිව බාහිරින් මිලදී ගැනීමට මෙම රෝගීන්ට සිදුවේ. රෝගීන් පවසන්නේ මේ සඳහා තමන්ට විශාල මුදලක් වැය වන බවයි. මේ අතර සායන මධ්‍යස්ථානයට එන ජනතාව මුහුණදෙන තවත් දුෂ්කරතාවක් වන්නේ ඔවුන්ට මුළු දවස තිස්සේම මෙහි රස්තියාදු වීමට සිදුවීමයි. ඒ අනුව පාන්දරින් පැමිණෙන ඇතැම්
රෝගීහු වෛද්‍ය පරීක්‍ෂාවන්ට ලක්නොවී නිවෙස්වලට යන්නේ සවස හතරත් පසුවීමෙන් අනතුරුවයි.
රෝහල්වල කොතෙක් ගොඩනැඟිලි ඉදිකළත් ඒවායේ අකාර්යක්‍ෂමතා අඩුපාඩු ගැන කඩිනම් පිළියම් නොයොදන්නේ නම් කිසිදු ඵලක් නැති බව පෙන්වා දෙන ජනතාව මීරිගම රෝහලේ පවතින මේ ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිති.
නවතල්වත්ත – අතිරේක