අසහනකාරී සහන මල්ල

1369

පළපුරුදු දේශපාලනඥයකු වූද රාජපක්ෂවරුන් වෙනුවෙන් ගහක් ගලක් සේ නොසෙල්වී පැවතියා වූද ගාමිණී ලොකුගේ ඇමැතිතුමා හිටි ගමන් මරු කියවන බව පෙනේ. ඉන්ධන පුරවා ගත් බවුසර රැසක් ඉන්ධන හල් වෙත යැව්වද ඒවායෙහි ඉන්ධන අතිරික්තයක් ඇති බැවින් බවුසර ආපසු හරවා එවා ඇතැයි මාධ්‍ය හමුවකදී ඔහු පවසා තිබේ. මේ කතාව වෙබ් සයිට්වලද වාර්තා කර ඇත. ගාමිණී ලොකුගේ මේ කියන්නේ සෞදි අරාබියේ පෙට‍්‍රල් ෂෙඞ් ගැන විය යුතුය. තෙල් උපදවන රටක් බැවින් ඒ රටේ පෙට‍්‍රල් ෂෙඞ්වල ඉන්ධන අතිරික්තයක් තිබීමට පුළුවන. ලංකාවේ පෙට‍්‍රල් ෂෙඞ් වලින් ඉන්ධන බවුසර හරවා එවීමට සිදුවනවා නම් එයට හේතු විය හැක්කේ මෝටර් සයිකල් ඇතුළු රථ දහස් ගණනක් තෙල් එන ආරංචියට ෂෙඞ් එකට කඩා වදින බැවින් බවුසරය ඇතුල් කිරීමට ඉඩ නැති හෙයිනි. ගෑස් සම්බන්ධයෙන් ද මේ ප‍්‍රශ්නය මෙහෙමම තිබේ. ගෑස් ලොරියක් ගෑස් කඬේට එන විට එය මංකොල්ල කෑමට තරම් වේගයක් ජනතාව තුළ උපදී. එවැනි මංකොල්ලකෑම් කිහිපයක් දැනටමත් සිදුවෙලා ද ඇත. කෘතහස්ත දේශපාලනඥ ගාමිණී ලොකුගේ මහතාගේ හිස උළුවස්සක හෝ බිත්තියක තදින් වැදුනොත් මේ මරු කියවන තත්ත්වය පහව ගොස් යථාර්ථය දැකීමට හැකිවනවා ඇත. ගෑස් සහ තෙල් ප‍්‍රශ්නය තදින්ම පවතින්නේ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම පන්තියටය. ඉහළම පන්තියේ අයට ඉලෙක්ටි‍්‍රක් ලිප් තිබේ. පුදුමය නම් ඒ අයගේ වාහනවලද නිතරම ෆුල් ටෑන්ක් තෙල් තිබීමය. පහළම පන්තියේ අයට කාර් හෝ මෝටර් සයිකල් නැති බැවින් ඉන්ධන ප‍්‍රශ්නයක් නූපදී. ඔවුන් වැඩිදෙනා ආහාර පිසින්නේ දර වලිනි. වැඩිදෙනා නොදන්නවාට මේ රටේ පාවෙන ඡුන්දවල හිමිකරුවෝ වන්නෝ පෙර කී මධ්‍යම පාන්තිකයෝය. එබැවින් ඔවුන්ගේ ලේ උණුවන කතන්දර කියා ආණ්ඩුවට කෙලවීම සුදුසු නැත.

 මේ රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය කිරීමේ අයිතිය දැන් කෙලින්ම තිබෙන්නේ පෞද්ගලික අංශය අතේය. ලාෆ්ස් කොම්පැනිය ගෑස් සිලින්ඩරයක් රුපියල් 4000 ඉක්මවා මිල වැඩිකළ හෙයින් ආණ්ඩුවේ ලිට්‍රෝ ගෑස් කොම්පැනියට ද ස්වකීය ගෑස් මිල වැඩි කිරීමට සිදුවන්නේය. පසුගිය දෙමසක පමණ කාලය තිස්සේ මේ රටේ ඞීසල් හා පෙට‍්‍රල් මිල පාලනය IOC සමාගම විසින් පවරාගනු ලැබ ඇත. මුලදී රුපියල් පහෙන් දහයෙන් තෙල් ලීටරය වැඩි කරමින් සිටි IOC‍ සමාගම දැන් තෙල් මිල නග්ගන්නේ ලීටරය රුපියල් හතළිස් ගණන්වලින් හා පනස් ගණන්වලිනි. මෙය ඉතා කූට වෙළෙඳ උපක‍්‍රමයක් බව පෙනේ. IOC කාරයා තෙල් මිල වැඩිකළ සැණින් මේ රටේ ජනයා IOC අත්හැර සිපෙට්කෝ හෙවත් ඛනිජ තෙල් සංස්ථාවේ ෂෙඞ්වලටම එන්නට පටන් ගනිති. එවිට ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන තොග වහා නිම වෙයි. ඉන්පසු වාහන පදවන්නෝ තෙල් අනාථයන් බවට පත්වෙති. ඒ අනාථභාවය නැතිකර ගැනීම සඳහා IOC පෙට‍්‍රල් ෂෙඞ්වලට ගොස් වැඩි මිලට තෙල් ගසා ගැනීමට ජනතාවට සිදුවෙයි. මේ උපක‍්‍රමය මගින් සිය තෙල් තොග ලාභ පිටම විකුණා අවසන් කරන IOC කාරයා ඊළඟ තෙල් නැව එනවිට නැවත වරක් තෙල් මිල වැඩි කරයි. කිරිපිටි පිළිබඳ තත්ත්වයද මෙයමය. මීට දෙසතියකට පෙර රුපියල් දහසේ සීමාවේ තිබූ කිරිපිටි කිලෝව අද රුපියල් 1400 දක්වා නැග තිබේ. ඒ අතරම කිලෝව රුපියල් 2040 ක් වන කිරිපිටි වර්ගයක් ද වෙළෙඳපොළට පැමිණ ඇත. ඩොලර් නැති බව කීවත් මේ කිරි පිටි පැකට් කෙලින්ම ගෙන්වා ඇත්තේ පිට රටිනි. රුපියල් 1400 කිරි පිටි නිම වූ සැණින් රුපියල් 2040 කිරි පිටි සඳහා යොමුවීමට ජනතාවට සිදුවෙයි. ඉතාම පුදුම කාරණය වන්නේ කිරිපිටි මිල ඉහළ යන සෑම විටකම දියර කිරි මිලද ඉහළ යෑමය. එයින් හැෙ`ගන්නේ කුමක්ද? මේ රටේ කිරි කොම්පැනිකාරයන් කිරිපිටි වලින් දියර කිරි හදන බවය. නැත්නම් ඒ ආකාරයෙන් මිල ඉහළ යෑමක් සිදුවන්නේ නැත.

 සිංහල අවුරුදු උත්සව සමය තව තෙසතියකින් එළඹෙයි. ජනතාවට එල්ලෙන්නට වැල් නැතිව තිබෙන මොහොතක සිංහල අවුරුද්ද එළඹීම විශාල කරදරයකි. එහෙත් සිංහල අවුරුද්ද කල් දැමීමට නොහැක. එය අපේ‍්‍රල් 13, 14 දෙදින නොවරදවාම එයි. සිංහල අවුරුද්දට පෙර මේ රටේ ජනයාට සහන මල්ලක් දෙන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කියා තිබේ. එකී සහන මල්ල බන්ධුල ගුණවර්ධන සතොසෙන් දෙන සහන මල්ල වැනි දෙයක් නොවිය යුතුය. බොහෝවිට මෙබඳු සහන මලූවල ඇත්තේ සම්බා කිලෝ 5 ක්, ලූණු පැකට් එකක්, හාල්මැස්සෝ ග‍්‍රෑම් 200 ක්, පරිප්පු ග‍්‍රෑම් 500 ක්, සබන් කැට 2 ක් සහ පපඩම් පැකට්ටුවකි. ඇමැතිතුමා අපේ ගෙවල්වලට පැමිණ බත් උයා පරිප්පු හොදි හදා හාල්මැස්සන් බැදුමක් පිළියෙළ කර පපඩම් බැද සබන් ගා අප නහවා පෙර කී පිසින ලද ආහාර අපට කැවිය යුතු බවක් අපි නොකියමු. අපගේ වැටහීම වන්නේ මේ සහන මලූ ප‍්‍රායෝගික සහන මලූ නොවන බවය. එක අතකට බන්ධුල ගුණවර්ධනට තම ගෙදරින් ගෙනවිත් ජනතාවට අවශ්‍ය සහන මලූ දීමට නොහැක. ඔහුට කරන්නට ඇත්තේද අත දිගු කරන හරියේ තිබෙන පාරිභෝගික භාණ්ඩ මලූවල දමා විකිණීමය. එහෙත් රුපියල් 1000 ක් හෝ 2000 ක් වන ආණ්ඩුවේ දුක්බර සහන මල්ල ගැනීමට පවා ජනතාවට මුදල් නැත. බස් ගාස්තු ඉහළ යෑමත් සමගම පහළ මධ්‍යම පන්තියේ ජනයා බස් හෝල්ට් තුන හතර පයින් ඇවිදිති. මෙය ශරීරයේ කොලෙස්ටරෝල් අඩුවීමට බලපාන ව්‍යායාමයක් බව කියන ගොනුන් ද සිටීමට ඉඩ තිබේ. අපේ රට ඉතාම නරක සමාජ පීඩනයකට මුහුණ දී සිටී. බලගතු විදේශයකට කරන්නට ඇත්තේ නූලට ගිනි තැබීම පමණි. එවිට පුපුරන ආර්ථික බෝම්බය මුළු මහත් ලාංකික ජන සමාජයම කලහකාරීන් බවට පත් කිරීමට ඉඩ තිබේ. ඒ නිසා ආණ්ඩුව කුමක් හෝ කළ යුතුය. එය කුමක් දැයි අපි නොදනිමු. එය දන්නේද ආණ්ඩුවමය.

advertistmentadvertistment
advertistmentadvertistment