මුල්ලිවයික්කාල් කැඳ

778

කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනයේය. යාපනය දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැඟිටින ලෙස විනාශයට පත්විය. ප්‍රභාකරන්ගේ මළ සිරුර නන්දිකඩාල් කලපු තීරයේ තිබී හමුවිය. එහෙත් මියගිය කොටි නැඟිටුවීම සඳහා උත්සහ කරන පිරිස් ප්‍රභාකරන්ගේ මරණයෙන් වසර 15ක් ඉක්ම ගියද සැමරුම් සිදු කිරීමට සූදානම් වෙති. මෙය උතුරේ බහුතරයකගේ වුවමනාව නම් නොවේ. එහෙත් සුළු පිරිසක් තම දේශපාලන මෙන්ම ආර්ථික වුවමනා සපුරා ගැනීම වෙනුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් සැමරුම සංවිධානය කරති. මේ දිනවල මුල්ලිවයික්කාල් ස්මාරකය පිහිටි ප්‍රදේශය මියගිය කොටි සැමරීම සඳහා සූදානම් කරන අයුරු දක්නට ලැබෙන බව ඒ ප්‍රදේශයේ සිටින වාර්තාකරුවෝ සඳහන් කරති. මුල්ලිවයික්කාල් සැමරුම් සංවිධායකයන් පවසන්නේ මීට වසර 15කට පෙර දෙමළ ජනතාව සංහාරයකට ලක්වූ බවත් ඔවුන් සිහි කර කෝවිල්වල ඝන්ඨාර නාද කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. මැයි මාසයේදී යුද්ධයෙන් මියගිය අය සිහිපත් කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල කැඳ ලබාදීම සිදු කෙරේ. මියගිය අයට පින් අත්වීම වෙනුවෙන් කැඳ ලබා දීම වරදක් නැත. නමුත් නැවත සාමකාමී උතුර අස්ථාවර කිරීමේ අරමුණින් කැඳ බෙදීම හොඳ නැත. යුද්ධයේ අවසන් දිනවල සිවිල් ක්‍රියාකාරිකයන් ලබා දුන් කැඳ පානය කිරීමෙන් තමන් ජීවිත රැකගත් නිසා එය සිහිපත් කරමින් මෙලෙස කැඳ ලබා දෙන බව සමහරු පවසති. නමුත් ජනතාව සිර කර ගනිමින් ඔවුන්ට වතුර පොදක් ලබා ගැනීමට නොහැකි ලෙස මිනිස් පලිහක් සකස් කර තමන් ගැළවෙන්නට මාන බැලූ කොටි නායකයන් ගැන මුල්ලිවයික්කාල් ස්මාරකය වටා රැස්ව පහන් දල්වන්නන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ කට වසා තිබේද? නැත්නම් ඒ තිත්ත ඇත්ත යටකරගෙන සිටීද?

යුද්ධය නිමා වී වසර පහළොවක් ගතවූ අවස්ථාවේ වසර තිහක කුරිරු යුද්ධයෙන් තම දරුවන් අහිමිවූ මව්වරු සිය දහස් ගණනක් අදත් රටේ විවිධ ප්‍රදේශවල තම දරුවන් නොමැති කමින් දුක් වෙමින් ජීවත් වෙති. තමන්ට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහු පවසති. එහෙත් නැවත වෛරය පැතිරවීම වෙනුවෙන් කොටි සැමරීම් පැවැත්වීම අනුමත කළ නොහැකිය. මුල්ලිවයික්කාල් සැමරුම් සඳහා විදේශයන්හි සිටින කොටි හිතවාදීන් ඩොලර් හා පවුම් සිය ගණනින් එවන්නේ යහපත් අරමුණකින් නම් නොවේ. ඒ නැවත උතුර අස්ථාවර කිරීම සඳහාය. නමුත් මේ මුදල් ආර්ථික අපහසුතාවලින් පෙළෙන හිටපු කොටි සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත නඟාසිටුවීම සඳහා යෙදිය හැකිනම් කොපමණ වටීද? මේවා ගැන කතා කරන්නට කිසිවෙක් නැත. නමුත් මුල්ලිවයික්කාල් කැඳ බෙදා මියගිය ප්‍රභාකරන් නැවත ගෙන්වාගත නොහැකිය. බෙදුම්වාදී විස තවරා කැඳ බෙදීමට අවශ්‍ය පිරිසක් බිහිව සිටින්නේ අද ඊයේ සිට නම් නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ මොවුන්ගේ කතා අසන්නට එන පිරිස සීමාවීම නිසාය. උතුරු නැගෙනහිර බහුතර ජනයා මුල්ලිවයික්කාල් සැමරුම් දෙස බලා සිටින්නේ නිහඬවය. ඔවුන්ට ඒවායින් ප්‍රබෝධමත් වීමට අවශ්‍ය නැත. තරුණ පරම්පරාව කෙසේ වෙතත් වැඩිහිටි පරම්පරාව තිස් වසරක යුද්දයේ අමිහිරි අත්දැකීම හොඳින්ම දනී. එවන් බිහිසුණු කාලයක් ඔවුන් කිසිවිටක පතන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment