නැට්ටටම නට්ටං

966

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ සවස පාර්ලිමේන්තුවේදී අතුරු අය වැයක් ඉදිරිපත්
කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැට්ටටම නට්ටං වී ඇති මොහොතකය. එබඳු අවස්ථාවක වැට්
බද්ද 15% දක්වා වැඩි කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීමත් සමගම සියලු ජනතාවගේ ඇඟ මවිල් කෙලින්
විය. එයට හේතුව වැට් බද්දේ වැඩිවීමත් සමගම සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑමය. දැනටමත්
පිටි කිලෝවක මිල රුපියල් 400 දක්වා යන ගමනක් අරඹා තිබේ. මේ වන විට රුපියල් 200 ට දෙන හඩු
හපුටු පාන් ගෙඩියක් පවා ඉදිරියේදී රුපියල් 300 තෙක් ඉහළ නැගීම නොවැළැක්විය හැකි බව බේකරිකාරයෝ
කියති.

සහල් මිල ද රුපියල් 290 ත් 300 ත් මිලකට ඉහළ යෑමට නියමිතය. සාමාන්‍යයෙන් වසර 2010 න්
පසු ශ්‍රී ලංකාවේ සහල් මිල සහ පොල් මිල අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ඇති විය. එනම් පොල් මිල
මෙන් දෙගුණයක මිලක් බවට සහල් මිල පත්විය. මේ අනුව හාල් රුපියල් 300 ට ගියොත් පොල් ගෙඩියක්
රුපියල් 150 ක් දක්වා මිල ඉහළ යනවා ඇත. එවිට “පොල් සම්බෝලයි බතුයි” යන ඉතාම සරල ආහාර
වට්ටෝරුව පවා දරුණුවටම කඩාකප්පල් වීමට ඉඩ තිබේ. දැනටමත් සාමාන්‍ය කඩේකින් ගන්නා ජරා බත්
පැකට් එකක මිල රුපියල් 300 ඉක්මවයි. මෙහි ඇත්තේ ලාභ එළවළු දෙකක් සහ මස් කටු හෝ මාළු කටුය.
සහල් රුපියල් 300 ට ගියොත් කඩේ බත් පාර්සලය රුපියල් 350 ක් වනවා ඇත.

අප මේ අතුරු කතාව කීවේ ඊයේ ඉදිරිපත් කළ අය වැය ගැන ගැඹුරු විග්‍රහයක යෙදීමට තරම් කාලවේලාවක් තවමත් අපට
නැති බැවිනි. මේ අය වැයේ යෝජනා අතර වැදගත් යෝජනා කීපයක් ද ඇත. ඉන් වැදගත්ම කාරණාව
වන්නේ ආණ්ඩුවේ වැඩවලට පෙට්‍රල් හෝ ඩීසල් කාර් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත්
පියවරය. එම තහනම නිසා ආණ්ඩුවට ඉලෙක්ට්‍රික් වාහන පමණක් මිලට ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක්
ඇති වීමට ඉඩ තිබේ. මෙය ඉතා හොඳ ප්‍රතිපත්තියකි. හැබැයි එසේ ගෙන්වන ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ්
කරන්නේ රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් නම් එහි ප්‍රයෝජනයක් නැත. මෙසේ ගෙන්වන ඉලෙක්ට්‍රික්
වාහන චාර්ජ් කිරීම සඳහා සූර්ය බල ඒකක රාජ්‍ය අංශයේ ආයතනවල පිහිටුවීම ආණ්ඩුවෙන් කළ යුතුය.

ඒ අතර වයස 60 ඉක්මවූ අය රජයේ සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් ද අය වැය කතාව මගින්
යෝජනා විය. ශ්‍රී ලාංකික ජන ජීවිතයේ ආයු කාලය ජපානයේ සහ ඇමරිකාවේ ආයු කාලය මෙන් අවුරුදු
95 හෝ අවුරුදු 100 පනින ආයු කාලයක් නොවේ. මේ රටේ ජනගහනයෙන් වැඩිදෙනාගේ පරමායුෂ අදටත්
අවුරුදු 70 සීමාවේ පවතී. විශ්‍රාම කාල සීමාව දීර්ඝ කිරීම අවශ්‍ය වන්නේ පරමායුෂ වැඩි ජනගහනයක්
සිටින රටවලට ය. එසේ නොවන අවස්ථාවලදී වැඩිහිටියන් දිගටම රැකියා කිරීමෙන් තරුණ පරපුරේ
සේවා වියුක්ති ප්‍රශ්නය වැඩි දියුණු වීමට ඉඩ තිබේ. ඒ නිසා අවුරුදු 60 විශ්‍රාමය මේ මොහොතේදී ඉතා
සුදුසුය.

ජනාධිපතිතුමා සිය අය වැය කතාවේදී ඉදිරිපත් කරන ලද තවත් සරල කාරණයක් කෙරෙහි අපගේ
අවධානය යොමු කරමු. රටේ රාජ්‍ය ආයතනවල විශාල වශයෙන් අබලි ද්‍රව්‍ය ඇති බවද ඒවා විකිණීමෙන්
විශාල මුදලක් රජයට උපයා ගත හැකි බවද එකී සරල කාරණය වේ. මෙය සරල ලෙස පෙනුණත් ඉතාම
වැදගත් කාරණයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක විවිධ අබලි ද්‍රව්‍ය එකතු වේ. යකඩ, තඹ,
වානේ, ඇළුමිනියම්, පැරණි වාහන, පැරණි ටයර්, දිරායෑමේ තර්ජනයට ලක්වූ වාහන එන්ජින්, එම
තර්ජනයට ලක්වූ යන්ත්‍ර, ගෘහභාණ්ඩ, ලී ඇතුළු අබලි ද්‍රව්‍ය විශාල ගණනක් රාජ්‍ය ආයතනවල ගොඩගසා
ඇත. සාමාන්‍යයෙන් මේවා නීත්‍යානුකූල ලෙස විකිණීම සිදුවන්නේ බෙහෙවින් අල්ප ලෙසය.

උදාහරණයක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අංගනවල ඇති පරණ දුම්රිය පෙට්ටි ගැන කල්පනා කරමු. මේ දුම්රිය
පෙට්ටිවල සැකිල්ල සහ තට්ටුව සම්පූර්ණයෙන්ම ඉදිකර ඇත්තේ යකඩ හෝ වානේවලිනි. දුම්රිය
පෙට්ටියක් පීලි පැන්න විට එම පෙට්ටිය සදහටම අත්හැර දමන දුම්රිය දෙපාර්තමේන්තුව එය යාඩ් එකට
ගෙන ගොස් තබා දිරාපත් වනතුරුම කල්පනා කරමින් සිටී. මේ භාණ්ඩ විකිණීම සඳහා දීර්ඝ නිලධාරිවාදී
ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. සමහරවිට මේ බඩු විකිණීම පිණිස ලංකාවේ දුම්රිය භාර ඇමැතිගෙන්
පමණක් නොව ඉන්දියාවේ දුම්රිය භාර ඇමැතිගෙන් පවා අවසර ගත යුතු බව නිලධාරීහු පෙන්වති. එවිට
පරණ දුම්රිය පෙට්ටි මිලට ගෙන ඒවා කැබලි කර යකඩ වෙනමත්, ප්ලාස්ටික් වෙනමත්, ඇළුමිනියම්
වෙනමත්, තවත් බොහෝ ද්‍රව්‍ය වෙනමත් වෙන්කර ගැනීමට බලා සිටින දේශීය ව්‍යාපාරිකයා පසුබට වෙයි.
එතැන් සිට සිදුවන්නේ භාණ්ඩය දිරා යෑමය. බොහෝවිට මෙවැනි ඩීල් ඇමැතිතුමා විසින්ම ප්‍රමාද කරන අවස්ථා
තිබේ. එක්කෝ තමන්ට ලෙඩක් වැටේ යැයි අදහසින් මේ භාණ්ඩ විකිණීමේ කඩදාසිවලට අත්සන් කිරීමට
අදාළ ඇමැතිතුමා අකැමැතිය.

එහෙම නැත්නම් මේ වෙළෙඳාමෙන් තමාට ලැබෙන කොමිස් එක අඩු නිසා කඩදාසි අත්සන් කිරීමෙන් වැළකී
සිටීමට ඇමැතිතුමා කැමැතිය. රජයේ ආයතනවල තිබෙන අබලි ද්‍රව්‍ය විකිණීමට ජනාධිපතිතුමා අදහස් කරන්නේ නම්
මුලින්ම කළ යුතු වන්නේ ඉතා ඉක්මනින් එම අබලි ද්‍රව්‍යවල ස්ටොක් එකක් ලබා ගැනීම ය. ඉන්පසු මාකට්
ප්‍රයිස් එක සලකා බලා ඒවා විකිණිය හැකිය. සාමාන්‍යයෙන් මෙකල තඹ කිලෝවක් රුපියල් 4000
ඉක්මවයි. එහෙත් ආණ්ඩුවේ යාඩ්වලින් ජාවාරම්කරුවන් අතට තඹ කිලෝව යන්නේ කිලෝව රුපියල් 50 ට 60
කටය. මෙවැනි සහගහන අපරාධ කරන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් සිටිනතාක් කල් මේ
රටට ගොඩඑන්නට බැරිය.

advertistmentadvertistment
advertistmentadvertistment