මාර්තු මස 27 වනදාට ලෝක නාට්‍ය දිනය යෙදිලා තිබෙනවා. ඉතින් මාර්තු කියන්නෙම ලෝක නාට්‍යකරුවන්ගේ මාසයයි. මාර්තු මාසය මුල් කරගෙන ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක අඛිල සපුමල්ගේ “අසමා සැණකෙළිය” නමින් සපුමල්ගෙ මැජික් හයක් නාට්‍ය උළෙල මාර්තු මස තුළ රංග ගත කිරීමට සියල්ල සූදානම්ව පවතිනවා. මාර්තු 4 වැනිදා “රතු මඟුල් කපුවා” නාට්‍යයේ මුහුරත් උළෙල පැවැත්වෙන අතර එදිනට අඛිල අධ්‍යක්ෂණය කළ ඔහුගේ නාට්‍ය උළෙල පිළිබඳව විශේෂ දැනුම් දීමක් ද පැවැත්වෙන බවයි මෙම කතාබහේදී අඛිල අපිට පවසා සිටියේ.
අපි “අසමා සැණකෙළිය” නමින් මාර්තු 4 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී නාට්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මාර්තු 4 වන සෙනසුරාදා සවස 3.30ට සහ 6.45ට 2019 රාජ්‍ය සම්මාන දිනූ “රතු මගුල් කපුවා” නාට්‍ය රංගගත කරනවා. ඊට අමතරව මාගේ නාට්‍ය පහක් දවස් දෙකකට එල්ෆින්ස්ටන් රඟහලේදී රංග ගත කිරීමටත් කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ. ඒ මාර්තු 13 සහ 14 යන දෙදිනයන් තුළදීයි. මාර්තු 13 උදේ 11.00ට “සොෆොක්ලීස්ගේ ඊඩිපස්” නාට්‍යයත්, 2.30ට “ප්‍රේමණීය සාකුන්තලය” සහ සවස 6.30ට “ජූලියස් සීසර්” යන නාට්‍යය වේදිකාගත කරනවා.
විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ නාට්‍ය උළෙල පවත්වන්නේ පාසල් ළමුන් ව මූලික කරගෙන. නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරන අපොස උසස් පෙළ සිසුන්ට තිබෙන “ඊඩිපස්, ජුලියස් සීසර් සහ සාකුන්තලය” කියන විෂය නිර්දේශිත නාට්‍ය තුන ඒ අයුරින්ම රංගගත කරනවා. අපේ රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට මුදල් ප්‍රශ්න රැසකට මුහුණ පාන්නට සිදු වෙලා තියෙන මේ කාලවකවානුවේ ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදිත් වෙන වෙනම දිනයන් වෙන් කර නොගෙන එකම දවසේ වේලාවන් වෙන් කරලා නාට්‍ය පෙන්වීමට අපි කටයුතු සූදානම් කළා.
මෙය නාට්‍ය සැණකෙළියක් වගේ මට්ටමකින් පවත්වන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ සෑම නාට්‍යයක් අවසානයේම නාට්‍යයේ ශෛලිය සහ තේමාව පිළිබඳව දේශනයක් ද පැවැත්වෙනවා.
මාර්තු 14 එනම් දෙවැනි දිනයේ අපොස සාමාන්‍ය පෙළ සිංහල විෂයයට අදාළව සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්තරයට අළලා කරපු නිර්මාණාත්මක නාට්‍යයක් වන “සතර කන් මන්ත්‍රනය” නාට්‍ය උදේ 9.00ට සහ 11.30 ට රංග ගත කරනවා. ඒ වගේම සවස 3.30ට සහ 6.45ට රාජ්‍ය මට්ටමේ සහ අමාත්‍යංශ අනුමැතිය සහිතව ඉදිරිපත් වන “ගුත්තිල කාව්‍ය” පෙන්වනවා.මේ අයුරින් නාට්‍ය පහක් පාසල් දරුවන්ව විශේෂයෙන්ම උසස් පෙළ දරුවන් ඉලක්ක කරගෙන කරන නාට්‍ය මාලාවක් කියන්නට පුළුවන්. මෙම නාට්‍ය පාසල් දරුවන්ට විතරක් නෙවෙයි පිටස්තර අයටත් නැරඹීමට පැමිණෙන්නට පුළුවන්. එහෙම කිසිම වාරණයක් නැහැ. මොකද මේ අර්බුදකාරී කාල වකවානුවේ අර්බුදයට විසඳුමක් ලෙස කලාව තුළින් මිනිස්සුන්ට විනෝදය සහ ප්‍රඥාව ලබා දෙන්න තමයි අපිට උවමනා කරල තියෙන්නේ.
පාරමී කෞෂිකා