ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට වඩා බටහිරට ගැතියි: මෙය රනිල් එලවලා රනිල් ගෙනල්ලා වගෙයි – ගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ)
පසුගිය කාලය පුරා අතුරු සම්මත ගිණුම් 14 වතාවක් ඉදිරිපත් වී තිබෙනවා – කර්මාන්ත සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති
අද ජනතාවට ජීවත්වෙන්න අමාරුයි: ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි – ජේ. සී. අලවතුවල (සජබ)
ගොවිජන ජීවිතය නගා සිටුවන්න ගත යුතු සියලුම පියවර ගන්නවා – කෘෂිකර්ම, පශු සම්පත් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත
වාහන ආනයනයේදී ගෙවුම් ශේෂයට ඇතිවන බලපෑම රජය සමනය කරගත යුතුයි – රවී කරුණානායක (න.ප්‍රජා. පෙ.)
අපට ලැබුණු ජනවරම භාවිතා කර අමානුෂීය ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවා – අරවින්ද සෙනරත් (ජාජබ)
මේ වසර අවසන් වනවිට රටේ ආර්ථිකයේ බුන්වත් භාවය ඉවත්කරගෙන 2025 වසරේ දී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම්වලින් ඉදිරියට යෑමට අපට හැකිවන බව කම්කරු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (6 දා) අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙ. ව. 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වුණ අතර මූලික කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2025 පළමු කාර්තුවට අදාළ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් මෙසේද පැවසීය.
ජාතික ජන බලවේගයට ලැබුණු ජනවරම අනුව අප රට ගොඩනැගීමේ ක්‍රියාවලිය ඉදිරිපත් කළා. එම ක්‍රියාවලියේ යෝජනා 2025 අයවැයට ඉදිරිපත් කරනවා.
අතුරු සම්මත ගිණුමේ පුනරාවර්ථන වියදම් ණය පොළී හැර රුපියල් බිලියන 1000කුත් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 450කුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමතරව දේශීය ණය සේවාකරණයට පොළිය හා වාරික ගෙවීමට රුපියල් බිලියන එක්දහස් දෙසීයකුත් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව බිලියන දෙදහස් හයසියයක්. ඒ අනුව ආණ්ඩුවේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600ක්. ණය ගැනීම් සීමාව රුපියල් බිලියන 1000ක්. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුත්තත් සමග ගැටගැසී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය අවසන් අදියරට පැමිණ තියෙනවා.
අපි භාරගන්න විට රට තිබූ තත්ත්වය ඉදිරියට යන්න බැරි වුණා. වැරැදි දේශපාලන ක්‍රමවේද අනුගමනය කිරීම, දූෂණ, වංචා චෝදනා ඒවා විගණන වාර්තාවලින් තහවුරු වෙනවා.
දරන්න බැරි ණය කන්දකට අපිව හිරකර තියෙනවා. වාර්ෂිකව සියයට 15කින් ණය බර වැඩිවී තිබෙනවා. ආර්ථික වර්ධනය සියයට 4.5කයි පවතින්නේ. ණය ගෙන ආර්ථිකය සංවර්ධනය කළ යුතු වුවත් එහි ප්‍රයෝජනයක් ලැබුණේ නෑ. අපි ගන්න ණය හරිවිදියට යොදවා තිබුණ නම් ආර්ථිකය විශාල ලෙස ගොඩනැගී තිබිය යුතුයි. ඒවා සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියකට එක් නොවූ නිසයි ණය බරක් බවට පත්ව තිබෙන්නේ. එහි ප්‍රතිලාභයක්වත් නෑ.
වැරැදි ප්‍රතිපත්ති නිසා ඇතිවූ උද්ධමනය දරා ගන්න බැරි වුණා. අප රටේ ආදායම බෙදී යෑමේ විෂමතාව වැඩි වුණා. රාජ්‍ය පවත්වාගෙන යන්න ප්‍රමාණාත්මක විසඳුමක් අවශ්‍යයි.
රටේ භාගයක් පමණ සහනාධාර අවශ්‍ය අවධියේ සිටින්නේ. ඔවුන්ගේ ජීවිත උස්සා තැබීමට අවශ්‍යයි. ඒ හේතුව නිසයි අපි ගොවීන්ට, ධීවරයන්ට, අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කර තිබෙන්නේ.
පාසල් දරුවන්ගේ උපකරණ මිලදී ගැනීමට දීමනාවක් ලබාදෙනවා. හැමදාම ආධාර මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට සැබෑ ලෙස සවිබල ගැන්වුණු ආර්ථික අවස්ථාවන් ලබාගත් ජන කොට්ඨාසයක් නිර්මාණය කරන්න අපට අවශ්‍යයි. සහභාගිත්ව කළමනාකරණයෙන් එය සිදුකළ හැකියි.
කාන්තා ශ්‍රම බළකාය විධිමත්ව සවිබල ගන්වමින් අපේ වැඩසටහනට ඇතුළත් කර ගැනීමත් අපි යෝජනා කර තියෙනවා. එහි මූලික පියවරක් ලෙස ඔවුන් ආර්ථිකයේ කොටසක් ලෙස පිළිගැනීමට ලක්කරනවා.
නවීන කෘෂිකර්මාන්තයක් ගොඩනැගීම අරමුණු කරගෙන අපි කටයුතු කරනවා. එම ක්‍රියාවලිය ඇතුළේ භාණ්ඩ සැපයුම්දාමය පුළුල් කර භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනවා. මේවා එකිනෙක ගැටගැසුණු සැලසුම්.
රාජ්‍ය මූල්‍ය ක්‍ෂේත්‍රයේ පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීමට අපි සැමවිටම ක්‍රියා කරනවා.
අපේ ස්ථාවරභාවය ජාත්‍යන්තර ආයෝජකයෝ දකිනවා. විපක්‍ෂ්‍ය කොටස් වෙළෙඳ පොළ බිඳ වැටේවි කියා හිතුවත් අද එය ස්ථාවර වෙලා. මේ වසර අවසන්වනවිට ආයෝජන කැඳවීමට ජාත්‍යන්තර සහතිකකරණය අවශ්‍යයි. ණය ශ්‍රේණිගත කිරීම්වලදී රට බුන්වත් බවට පැමිණියා. ක්‍රමිකව ණය ශ්‍රේණිගත කිරීම පිබිදීමක් තිබෙනවා. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා මේ වසර අවසන් වනවිට බුන්වත්තාවය ඉවත් කරගෙන 2025 වසරේ දී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට යෑමට අපට හැකිවෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) :
මැතිවරණ කාලය තුළ හා ඊට පෙර ජවිපෙ සමාජය තුළ වෛරය, ක්‍රෝධය වපුරන්න ක්‍රියා කළා. වසර 74ක ශාපය කියන මිත්‍යාව සමාජගත කරන්න උත්සාහ කළා. සිස්ටම් චේන්ජ් ගැන කතාකළා. නමුත් පවතින සිස්ටම් එක නිසයි නිදහස් අධ්‍යාපනයට පිහිට වෙන්න උපාධි හා ඉහළ අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණේ. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා වෙන්න හැකි වුණේ පවතින සිස්ටම් එක නිසයි.
මේ ආණ්ඩුවට ඓතිහාසික විශාලම ජනවරමක් ලැබුණා. මේ සිස්ටම් එකටම බැන බැන හෝ ලැබුණු වරම අනුව තියෙන සිස්ටම් එකට බැන බැන ඉන්න එක නොවෙයි කළ යුත්තේ. දීපු වරමින් ජනතාව බලාපොරොත්තු වුණේ අලුත් සිස්ටම් එකකින් වැඩ කරයි කියලා.
මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිනුම ගැන කිසි දෙයක් පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ නෑ. ඔහු කතා කළ වෙනස් දේවල්. ගිණුමේ ගණන් හිලව් වෙන් කරන මුදල් වෙන් කළේ කුමන අංශවලටද? මේවා කිසිවක් පැහැදිලි කළේ නෑ. සිස්ටම් එකේ කිසිම චේන්ජ් එකක් දැක්කේ නෑ. රුපියල් කෝටි හාරලක්ෂයක් ණයට ගන්න මෙහි සඳහන් වෙනවා. මෙහි ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. හිටපු ජනපතිවරයාගේ වරප්‍රසාද වැඩියි, චොපර්වල යනවා. ආරක්ෂකයෝ වැඩියි කියලා චෝදනා කළා. එහි වියදම් අඩුකර වෙනත් දේවලට යොදවනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ වසරේ රුපියල් ටි්‍රලියන 1-4 යි. 2025 ජනපතිට මුල් මාස 4ට ඒ වගේම බිලියන 1.4ක් වෙන් කරලා. වෙනසක් නෑ සිස්ටම් එකේ චේන්ජ් නෑ.
මූල්‍ය අරමුදලේ ගිවිසුම ඒ ආකාරයටම කරගෙන යනවා කියලා කියනවා. වාණිජ වෙළෙඳ ඩොලර් බිලියන 12.9ක අරන් තිබූ ණය පිළිගන්නේ නෑ කියලා ජවිපෙ එදා කිව්වා. ඒවා හොරා කාපුවා කිව්වා. නමුත් මේ ගිණුමට අනුව රුපියල් ටි්‍රලියන 3.2ක් දාලා තියෙනවා ණය ටික ගෙවන්න. තවම ගිවිසුමක්වත් අත්සන් කරලා නෑ. මේ ගැන දැනගන්න කැමැතියි. මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට වඩා බටහිරට ගැතියි. රනිල් එලවලා රනිල් ගෙනල්ලා වගෙයි.
පරණ කතා කිය කියා යන්න බැහැ. වැරැදි තැන් හදාගන්න. මේ ආණ්ඩුව වැල්පාලමේ යන්නේ ටයිකෝට් දාගෙනයි. ජනාධිපතිගේ ප්‍රතිපත්ති කතාව සුරංගනා කතාවක් බවට පත්වෙනවා මේ ඉදිරිපත් කර තිබෙන වැඩසටහන් අනුව.
කර්මාන්ත සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති :
අතුරු සම්මත ගිණුම් පසුගිය කාලය පුරා 14 වතාවක් ඉදිරිපත් වී තිබෙනවා. ජනතාවත් සමග කේන්තියෙන් අද විපක්‍ෂය ඉන්නේ. අතුරු සම්මත ගිණුම සම්මත නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නවත් බැරි වෙනවා. ඒක විපක්‍ෂය දන්නවා.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගැන විපක්‍ෂය චෝදනා කරනවා. එයට 2024 අයවැයෙනුත් මුදල් වෙන්කර තියෙනවා. ඒත් මේ වසරේ ඒ බැඳුම්කර ගැන එකඟතාවකට තවම ඇවිත් නෑ. ඉදිරියේ දී එකඟතාවකට ආවොත් ඊට අවශ්‍ය මුදල් ලබන කාර්තුවට වෙන්කර තැබිය යුතු වෙනවා. ඒ නිසයි වෙන්කර තිබෙන්නේ. එය දැන දැනම බොරු මත ඇති කරනවා. මේ බැඳුම්කර ගත්තේ වැඩි පොළියට රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී. ඒවා අද ජනතාවට ගෙවන්න වෙලා තියෙනවා.
ජනාධිපතිගේ වැය ශීර්ෂය ගැන කතා කළා. අපේ හැම අමාත්‍යාංශයකම මුදල් ඉතිරිකර ගන්නවා. ඇමැති මණ්ඩලය ඒ ගැන තීරණයක් ගෙන තියෙනවා. ජනාධිපතිම ආදර්ශය පෙන්වා දී තියෙනවා. අවසානයේ ජනාධිපතිගෙන්ම විශාල මුදලක් ඉතිරි වෙනවා.
අපි වියදම් මේ වනවිට විශාල ලෙස ඉතිරි කරමින් පවතිනවා. ලයිට් බිලේ සිටම ඉතිරි වෙනවා. නිල නිවාසවත් අරගෙන නෑ. සමහර බැඳීම් අපට අකමැත්තෙන් හෝ ගෙවන්න සිදුවෙනවා. ණය උගුලට රට දැම්මේ නැත්නම් කිසිම උපදේශකයෙක් රටට ගේන්න අවශ්‍යතාවක් නෑ. ණය අරන් රට හිර කළා. අපේ වැඩපිළිවෙළ කර්මාන්තකරුවන්, ආයෝජකයන්, ජනතාව පිළිඅරගෙන තිබෙනවා. අද ජනතාව කැමැත්තෙන් බදු ගෙවන්න ඉදිරිපත් වී සිටිනවා. ඒ ආණ්ඩුව දීපු ආදර්ශය නිසයි. බදුවලට මොකද වෙන්නේ කියලා මෙතෙක් ඔවුන්ට විශ්වාසයක් තිබුණෙ නෑ. වෙන්කර ඇති මුදල් නාස්ති නොකර වියදම් කිරීමට අපට ජනතා අනුමැතිය ලැබී තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වන පුනරුදයට රට ගෙන යනවා. ඒ සඳහා අවස්ථාව අපට ලබාදෙන්න.
පත් කළ මන්ත්‍රී නජිත් ඉන්දික (ජාජබ) :
විපක්‍ෂයේ අය අපි සමාජ වෛරයන් පැතුරුවා කියන්නේ 76 වසරක පාලකයන් රටට අත්කරපු දේ කීම පිළිබඳවයි. ඇත්තටම සමාජ වෛරයක් වැපිරුවේ විපක්‍ෂයයි. අපි දින්නොත් ලේ වැගිරීමක් වෙනවා. රට වැනෙසනවා. පන්සල් යන්න බැහැ. ආගම අදහන්න බැහැ කියලා කිව්වා. ඒක තමයි සමාජ වෛරය. ඒ දේ නැවත කරන්න එපා.
එදා සිටම සිටි පාලකයන් රාජ්‍ය ආයතන විකුණුවා. ලාභ ලබන ආයතනත් විකුණා දැම්මා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් ආයතන විකුණලා එදිනෙදා කෑවා. අලුත් නිෂ්පාදන කරන්න උත්සාහ කළේ නෑ. රනිල් කරන ඒවා කරනවා කියන්නේ ප්‍රාථමිකව සිතන අයයි. අපි ආයතන විකුණන්නේ නෑ. ඒවා ශක්තිමත්ව ගොඩනසගලා රටට ආදායම ගෙන එනවා. සිංගප්පූරුව වැනි රටවල් දියුණු වුණේ රාජ්‍ය සැලසුම්කරණයත් සමග පෞද්ගලික අංශයේ දියුණුව මතයි.
පත්කළ මන්ත්‍රී රවී කරුණානායක (න.ප්‍රජා. පෙ.) :
බංකොළොත් රටක් මේ ආණ්ඩුව භාර ගත්තේ. වෙන ආණ්ඩුවක් මාරු කරනවා වගේ නොවෙයි. අද බැංකු අයිරාවක් නොවෙයි ධනාත්මක තත්ත්වයක් පවතින්නේ.
මැතිවරණ වේදිකාවේ මොනවා කතා කළත් ජනාධිපති අනුර දිසානායක මූල්‍ය අරමුදල් එකඟතාව ඉදිරියට ගෙන යෑම ගැන අපි සතුට පළ කරනවා. වෙන විකල්පයක් නෑ. ටික කලකට වහ වුවත් පසු කාලෙක රහ වෙන්න පුළුවන්. එය පිළිගත යුතුයි. එජාපයට බැන්නෙ කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. විවෘත ආර්ථිකයට බැන බැන හිටියට විකල්ප නෑ. හොඳ දේ ඉදිරියට ගෙන යායුතුයි.
එජාපය රටට විවෘත ආර්ථිකය ඇතිකර විශාල ව්‍යාපෘති රැසක් රටට දායාද කළා.
2022 බංකොළොත්භාවය ප්‍රකාශ කළ යුතුව තිබුණේ නෑ. නමුත් සිදුවී හමාරයි. ඒ කඩා වැටීම තවම හදාගන්න බැරි වී තිබෙනවා. දේශපාලනය කළ යුත්තේ රට ඉදිරියට ගෙන යෑමට මිස මැතිවරණ බලාගෙන නොවෙයි.
වාහන ආනයනයේ දී ගෙවුම් ශේෂයට බලපෑමක් ඇතිවිය හැකියි. එය සමනය කර ගැනීමට රජය කටයුතු කළ යුතුයි.
නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ :
ලංකාව මේ තරම් ණය අර්බුදයකට යන්න ප්‍රධාන හේතුව සියයට 7.5ක ලොකු පොළියකට ජාත්‍යන්තර ණය ලබාගැනීම. ආර්ථිකය ගැන කතා කරන විපක්‍ෂයේ සමහරු 2015 දී ජාත්‍යන්තර බැඳුම්කරවලට යනවිට ඒ ගැන සැලකීමක් කළාද යන්න ප්‍රශ්නයක්.
ආණ්ඩුව රුපියල් බිලියන 3000ක ණයක් ගෙවන්න යනවා කියලා බොරුවක් විපක්‍ෂය කිව්වා. ඊට ණයක් ගන්න යනවාලු. ණය හුවමාරුව ගැන සඳහනක් පමණයි සඳහන් වන්නේ. ණය හුවමාරුව වන්නේ ජනවාරියේදී. මේ ප්‍රශ්නවලින් මිදෙන්න ආර්ථිකය වෙනතකට යායුතුයි.
හැම රටකම ජාතික ප්‍රතිපත්තියක් තිබ්බා. ඒක අපේ රටේ ජාතික ප්‍රතිපත්ති මොනවා තියෙනවාද කියලා කවුරුත් දන්නේ නෑ. පෞද්ගලික අංශය මගින් විතරක් දියුණු වූ රටක් නෑ. රාජ්‍ය අංශයේ කළමනාකරණය ඇතිව පෞද්ගලික අංශයේ දියුණුවක් රටක දියුණුවට අවශ්‍යයි. නිෂ්පාදන වියදම අඩුකරන්න අවශ්‍යයි. ඊට රජය මැදිහත් වී තියෙනවා. කර්මාන්ත ක්‍ෂේත්‍රයට බදු ක්‍රමයක් අවශ්‍යයි. සංවර්ධන බැංකු හරහායි රටවල් දියුණු වුණේ. ඉන්දියාවේ සංවර්ධන බැංකු 11ක් තිබෙනවා. අද අපි රට භාර ගන්න විට කර්මාන්ත ක්‍ෂේත්‍රයට කඩා වැටිලා. අමුද්‍රව්‍යවලට බදු ගහලානිෂ්පාදන කඩා වැටිලා. කර්මාන්තවලට තාක්ෂණය නෑ.
දේශීය රෙදිපිළි කර්මාන්තයට වැට් ගහලා. ආනයනට ඉඩදීලා. සපත්තු හා මැණික් වැනි කර්මාන්තත් කඩා වැටිලා. කර්මාන්ත අකර්මන්‍ය වෙලා.
කෘෂිකර්ම, පශු සම්පත් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත :
අනුර කුමාර දිසානායක ජනපති වූ පසු රටේ පැවති සංස්කෘතිය වෙනස් කළා. ඒ තමයි පැරදුණු අයගෙන් පළිගැනීම. රජකාලේ පවා පළිගැනීම් පැවතුණා. අපි එය නැවත්තුවා. සිස්ටම් චේන්ජ් එක වෙනස් කළා. ඇමැතිවරුන්ට බරපතළ ලෙස රථගාය තිබුණා. නව රජය ඒකට උත්තර දුන්නා. රථගාය නැවත්තුවා. ජනතාව ඉල්ලා සිටින දේශපාලන සංස්කෘතිය දැන් බිමේ ඇතිවී තිබෙනවා. පාර්ලිමේන්තුවේ දේශපාලන සංස්කෘතිය හදාගත යුතුයි.
ගොවිජන ජීවිතය නගා සිටුවන්න ගත යුතු සියලුම පියවර ගන්නවා. 40,000ද අඩුද වැඩිද කියා බලන්නේ නෑ. වාරිමාර්ගය වෙනුවෙන් විශාල මුදලක් අපි වැයකර තියෙනවා. පොහොර ඉඩම් දීලා තියෙනවා. කොපමණ දුන්නත් ගොවි ජනතාව දුප්පත්. මේ ජන කණ්ඩායම මෙතැනින් ඉහළ තැබීමට තමයි සියලුදේ කරන්නේ.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රාවුෆ් හකීම් (සජබ):
සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීමට ගොවීන්ට පෙර පරිදි තුවක්කු අවසරපත් ලබාදෙන්න. අකුරණ ජල ප්‍රශ්නය උග්‍රයි. මේ ගැන අවධානය යොමු කරන්න.
අතුරු සම්මත ගිණුම් නිදහස් වෙනවා ස්වෛරී බැඳුම්කර ගෙවීම්වලට. මේක මැතිවරණයට දවස් දෙකකට පෙර එළැඹි එකඟතාව උඩ නැගුණු වෙනත් තත්ත්වයක් තිබුණද?
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද සෙනරත් (ජාජබ) :
සමාජ ආර්ථික ක්‍ෂේත්‍ර ඇතුළු හැම අතින්ම කඩා වැටුණු රටක් අපි භාර ගත්තේ. සමාජ ආර්ථික පසුබිම වෙනස් කරන්න අපි අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. සම්ප්‍රදායික විපක්‍ෂය පැරැණි විදියටම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. අපට ලැබුණු ජනවරම භාවිතා කර අමානුෂීය ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න.
පොල් ගස් මයිටා ඇතුළු විවිධ උවදුරුවලට ගොදුරු වුණා. කිසිම පාලකයෙක් ඊට විසඳුම් දුන්නේ නෑ. නමුත් අපි ඉදිරියේ දී අවශ්‍ය විසඳුම් ලබාදෙනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) :
අතුරු අයවැය අනුව බිලියන 1402ක් වියදම් ලෙස දක්වා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ වසරේ මුල් කාර්තුවට වියදම් කළ මුදලට සමානයි. පසුගිය කාලයේ කිව්වා දූෂණය, නාස්තිය, හොරකම අඩු කළාම වියදම අඩුවෙනවා කියලා. නමුත් ඇස්තමේන්තු ගත මුදල බැලුවහම හොරකම් කළ නාස්ති කළ මුදල් කෝ.
ණය ගැනීමත් පමණයි ආණ්ඩු කරන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවම අත්සන්කර නෑ. ජවිපෙ කලින් විරුද්ධ වුණා. ඒ නිසා ජනවරමට අනුව කටයුතු කරන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක්. විදුලි බිල අඩුකරනවා කියලා කිව්වා. දැනට බිලියන 65ක් ලාභ ලබනවා විදුලිබල මණ්ඩලය. ඒ නිසා ලාභ ලැබීමට වඩා පාරිභෝගිකයාට සහන දෙන්න. උපයන විට ආදායම් බද්ධ අඩු කරනවා කිව්වා. ඒත් තවම නෑ. මේවා කරන්නේ කවදාද?
තවම සෘජු විදේශ ආයෝජන සමග ගිණුම්වලට යනවා තවම පේන්නේ නෑ. නමුත් ලෝක බැංකුව හමුවෙනවා විතරයි.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී එම්. අක්‍රම් ඉල්යාස් (ජාජබ) :
මාතර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට සිංහල, දෙමළ, මුස්ලිම් නියෝජිතයන් පත්වුණා. එය ජාතික සමගියට හොඳ සලකුණක්.
අද ආර්ථිකය ප්‍රසාරණය වෙමින් පවතිනවා. සංචාරක ක්‍ෂේත්‍රයෙහි පමණක් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් මාලදිවයින හොඳම උදාහරණයයි. ලංකාවටත් රට වඩා මුහුද. තෙත්බිම්, විවිධ සංස්කෘතික දේවල් තියෙනවා. තවම හරිහැටි ප්‍රයෝජනයට ගෙන නෑ.
දීර්ඝව නිවාඩුව ගත කළ හැකි හොඳම රටක් ලෙස ලංකාව සුදුසුකම් ලබා තියෙනවා. හොඳ යටිතල පහසුකම්වලින් යුතු කලාප ඇති කරන්න අපි සැලසුම් සකස් කර තියෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න (ජාජබ) :
හිටපු ජනාධිපතිගේ වැල්පාලමේ එල්ලිලා විදේශ සංචාර ගිය අය ඩීල් දාලා මුදල් ගත්තා. බාර් ගත්ත අය කියන්න පුළුවන්. මේ අය ප්‍රතික්ෂේප කරලා අපේ පක්‍ෂයට ජනතාව බලය දුන්නා.
වැල් පාලමේ එල්ලෙනවා වෙනුවට රට ගොඩනගන්න අපි සැලස්මක් ඉදිරිපත් කර තිබෙනවා. හැම අංශයක් කෙරෙහිම අපේ හොඳ සැලස්මක් තිබෙනවා.
ගංවතුරෙන් කුඹුරු විනාශ වුණා. අක්කරයකට රුපියල් 40,000ක් මදි කියනවා. ඒවා හැදුවේ හිටපු පාලකයන්. මේ ප්‍රමාණ්‍ය ප්‍රමාණවත් නෑ. අපි ආවේ ජනතාවගේ අවශ්‍යතාවන් සපුරන්නයි. අවුරුදු 76ක් රට කරපු අය කෘෂිකර්මය වැට්ටුවා. සැලැස්මක් තිබුණේ නෑ. ඒ නිසා ජනතාව දුකට වැටී තිබුණා.
කුඹුරු අක්කරයක් වපුරන්න විශාල මුදලක් යනවා. ඒ තත්වයට පත් කළේ හිටපු පාලකයන්. ප්‍රශ්න නිර්මාණය කළේ හිටපු පාලකයන්.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ) :
අද ජීවත් වීමට ඇති නොහැකියාව ගැන ආණ්ඩුව අවධානය යොමු කරන්න. අද තුන්වේල කන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසයි මේ ආණ්ඩුවට බලය දුන්නේ. පොහොසත් රට හදන වැඩපිළිවෙළට අපේ පූර්ණ සහය ලබාදෙනවා.
වසර 76ක් ගැන දිගටම කතා කළා. දැන් කතාකර වැඩක් නෑ. වැඩ කරන්නයි අවශ්‍යය. අඩුපාඩු තිබුණත් ලබපු ජයග්‍රහණ ඉකුත් කාලයේ තියෙනවා. ඒවා දකුණු ආසියාවේ ඉහළයි. කිසිම දෙයක් ප්‍රශ්න නැතිව වැඩ කරපු අයට නින්දාවක්.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක (ශ්‍රීලපොපෙ) :
ගංවතුරෙන් වගා හානියට රුපියල් 40,000 මදි. මෙය කරන්න පුළුවන් ද කියා ප්‍රශ්න කළා. අපේ ආණ්ඩුවේ වගා වන්දි අඩුවෙන් දෙන විටත් මෙම පෙනී සිටියා.
අපේ පැත්තෙ තවම පොහොර සහනාධාරය තවම හරියට දීලා නෑ. වගා හානි පිළිබඳ තවම සමීක්‍ෂණයක් කර නෑ.
වෙළෙඳ මාෆියාව අද අහස උසට ගිහින්. මේ ආණ්ඩුවේ දැනීමක් නැතිකම නිසයි මෙහෙම වී තිබෙන්නේ.