ඇසේ සුද ඇතිවන හැටි

2061

අපගේ දෑස්හි පෙනීම දුර්වල කරන සහ එහි පෙනීම හොඳින් සිදුවීමට බාධා ඇති කරන හේතු අතර ඇසේ සුද ඇතිවීම (Cataract) ප්‍රධාන තැනක් ගනී.

අක්‍ෂි කාචයෙහි හටගන්නා බොඳවීමකට මෙලෙස ඇසේ සුද ඇතිවීම ලෙස පවසයි.

● ඇසේ සුද ඇතිවීමට බලපාන හේතු

අපගේ ඇස්වලින් පෙනීම ඇතිවන්නේ ආලෝක කිරණ අක්‍ෂිකාචය හරහා ගමන් කර එය දෘෂ්ඨි විතානය මත නිසිලෙස පතිත වීමෙනි. ඊට බාධා ඇතිවන විට ඇසේ පෙනීම දුර්වල වේ.

අක්‍ෂිකාචය සෑදී ඇත්තේ ප්‍රෝටීන ස්ථරයකිනි. හිරු එළියට ඇස දිගු කාලයක් නිරාවරණය වීම නිසා මෙම ප්‍රෝටීන ස්ථරයෙහි වෙනස්කම් හටගනී. එවිට එහි බොඳවීමක් ඇතිවේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ හිරු එළියෙහි ඇති පාරජම්බුල කිරණය. (Ultraviolet Light)

මෙලෙස අක්‍ෂි කාචය බොඳවීමකට ලක්වූ විට එහි සුදු පැහැයක් හට ගනී. ඇසේ සුද මතුවී ඇතැයි කියා පවසන්නේ මෙවැනි අවස්ථාවකදීය.

බොහෝ විට මෙම තත්ත්වය ඇතිවන්නේ මැදිවියට පත්වන විටදීය. වර්තමානයේ බොහෝදෙනාට ඇසේ සුදු වීමට බලපාන ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම පාරජම්බුල කිරණ බලපෑමය.

ඊට අමතරව ඇසට තදින් පහරක් වැදීම නිසා, උපත් පාලනය සඳහා ගනු ලබන ඖෂධ, ආතරයිටීස් රෝගය පාලනය, සමේ රෝග පාලනය, මානසික රෝග පාලනය ආදිය සඳහා භාවිතා කරන ඖෂධ දිගු කාලයක් ගැනීම නිසාද එහි අතුරු ආබාධයක් ලෙස ඇසේ සුද මතුවීම සිදුවේ.

ඇතැම් දරුවන්ට උපතින්ම ඇසේ සුද මතුව තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ මව ගැබිනි සමයේදී රුබෙල්ලා රෝගයට ගොදුරුවීමය. එනිසා ඇසේ සුද මතුවීම යනු ඇසට විෂබීජයක් යාම නිසා හටගන්නා ආසාදන තත්ත්වයක් නොවන බව වටහාගත යුතුය.

ඇසේ සුද මතුව ඇති ආකාරය අනුව පෙනීමේ දුර්වලතා හටගනී. මෙහිදී මතුවන අපහසුතාවයක් වන්නේ දීප්තිමත් ආලෝක කිරණ හමුවේ ඇසේ පෙනීම ඇති නොවීමය. එනිසා ඇසේ සුද මතුව ඇති බොහෝදෙනා පවසන්නේ මද ආලෝකයක් සහිත පරිසරයකදී හොඳින් පෙනී පවතින බවත් වැඩි ආලෝකයක් සහිත පරිසරයකදී ඇසේ පෙනීම බොඳවී යන බවකි.

එසේම ඇසේ සුද දිගු කාලයක් පැවතීම නිසා අක්‍ෂි කාචය ඉදිමුමට ලක්වේ. එසේම අක්‍ෂි කාචයේ පලුදුවීම් සිදුවීම් එහි ඇති ප්‍රෝටීන් ඇස තුළට ශ්‍රාවය විය හැකිය. මෙවැනි තත්ත්වයන් නිසා ඇසේ ග්ලෝකෝමා (ඇසේ පීඩනය) ඇතිවීම හෝ ඇස තුළ ආසාදන හටගැනීම සිදුවිය හැකිය.

● ඇසේ සුද සඳහා ප්‍රතිකාර

ඇසේ සුද මතුවූ විට ඒ සඳහා ප්‍රතිකාර ලෙස සැත්කමක් මගින් එය ඉවත් කර අක්‍ෂි කාචයක් අලුතින් බද්ධ කිරීමක් සිදුකරනු ලබයි.

එය සිදුකරනු ලබන්නේ එම පුද්ගලයාට පවතින පෙනීමේ දුර්වලතාවය අනුවය. ඇතැම් පුද්ගලයන්ට ඇසේ සුද මතුව තිබෙන ප්‍රමාණය අනුව තමාගේ එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමට බාධාවක් නැත්නම් සුද ඉවත් කිරීම අවශ්‍ය නොවේ. නමුත් තමාගේ එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීමට බාධා ඇතිවන පරිදි පෙනීම දුර්වලව පවතී නම් සුද ඉවත් කර ගැනීමේ සැත්කමකට යොමුවිය යුතුය.

වර්තමානයේ සුද ඉවත් කිරීමේ සැත්කමේදී ඇසට අලුතින් කාචයක් බද්ධ කිරීම සිදුකරනු ලබයි. මීට පෙර බොහෝ විට සිදුකරනු ලැබුවේ සැත්කමින් පසු විශාල කාච සහිත ඇස් කණ්ණාඩි ලබාදීමය. නමුත් මෙවැනි කාච සහිත කණ්ණාඩි පැළඳීම නිසා සෑම දෙයක්ම විශාලව පෙනීමෙන් හටගන්නා අපහසුතා නිසා ඇසට කාච බද්ධ කිරීම සිදුකරනු ලබයි.

● ඇසට කාච බද්ද කිරීම

ඇසේ සුද ඉවත් කළ පසු බද්ධ කරන අක්‍ෂිකාච පුද්ගලයාගේ ජීවන රටාවට ගැලපෙන පරිදි සකස් කර ඇත. එසේම ඇතැම් කාච බද්ධ කළ විට ඇසට මැහුම් දැමීම කළ යුතුය. මැහුම් දැමීමකින් තොරව බද්ධ කරන කාච වර්ගද ඇත. එනිසා එම කාච වර්ගය අනුව එම කාචවල මිල ගණන් වෙනස් වේ.

● ඇසේ සුද ඇතිවීම පාලනය

උපතින්ම ඇතිවන ඇසේ සුද සඳහා බලපාන රුබෙල්ලා රෝගය වළක්වා ගැනීමට ගැබිනි සමයේදී මව්වරුන් රුබෙල්ලා එන්නත ලබාගැනීම කළ යුතුය. හිරු එළියට නිරාවරණය වීම වැඩි කාලයක් සිදුවන අවස්ථවාන්හිදී අව් කණ්ණාඩි පැළඳීම කුඩයක් භාවිතය, හිස් වැසුමක් භාවිතය මගින් ඇසට හිරු එළිය සෘජුව ලැබෙන ප්‍රමාණය පාලනය කළ හැකිය.

අධික ආලෝකයක් සහිත ස්ථානවල වැඩකරන විට හෝ වෙල්ඩින් කර්මාන්තය වැනි වෘත්තීන් වල නිරතවන විට ඒ සඳහා ආරක්‍ෂිත කණ්ණාඩි පැළඳීම අත්‍යවශ්‍යය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.

ඇසේ සුද ඇතිවන හැටි

අයිකෙයාර් දෘෂ්ඨි විශේෂඥ විදුහලේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ නරේෂ් ප්‍රදාත්

advertistmentadvertistment
advertistmentadvertistment