මොකක්ද මේ OTP – ඔබට ලැබෙන රහස්‍ය අංකය කිසිවකුට දෙන්න එපා!

312

වර්තමානය වනවිට බොහෝ දෙනා මාර්ගගත (Online) ක්‍රමවේද මගින් තම බැංකු ගනුදෙනු සිදුකරනු ලබන අතර එසේ ගනුදෙනු කිරීම මගින් කාලය ඉතිරි කර ගැනීමටත් තම කටයුතු වඩාත් පහසුවෙන් සහ සරලව සිදුකර ගැනීමටත් හැකියාව ලැබී ඇත. නමුත් මෙවන් මාර්ගගත ගනුදෙනු හරහා සිදුවන වංචා සහ දූෂණ දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. ප්‍රජාව අතර මෙම මාර්ගගත ක්‍රමවේද පිළිබඳව පවත්නා නොදැනුවත්භාවය මෙම මූල්‍යමය වංචාවන් සඳහා ප්‍රධානතම හේතුවක් වී ඇති බව පෙනේ. ඊට අමතරව හැක් (Hack) කිරීම් සහ වෙනත් සූක්ෂම ක්‍රමවේද හරහා ද සිදුවන මුදල් වංචා කිරීම් දැක ගතහැකි වුවත් නොදැනුවත්භාවය නිසාම බොහොමයක් පුද්ගලයන් මෙම මුදල් වංචාවන්ට ගොදුරු වන බව දක්නට ලැබේ.

One Time Password නැතහොත් OTP ලෙස හඳුන්වනු ලබන අංකය මාර්ගගත බැංකු ගනුදෙනුවලදී රහස්‍ය අංකයක් ලෙස භාවිත කරනු ලබයි. ඇතැම් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී ඔබ විසින් වරක් ලබාදෙන දත්ත

සුරැකීම (Save) මගින් නැවත OTP අංකය විමසීමකින් තොරව ගනුදෙනු සිදුකරගෙන යෑමට අවස්ථාව විවිධ සමාගම් මගින් ලබා දී ඇත. නිදසුන් ලෙස Aliexpress වැනි සමාගම් සඳහා තම දත්ත වරක් ලබා දී Save කළ පසුව ඔවුන් සමග අප සිදුකරනු ලබන සෑම ගනුදෙනුවක දීම අපගේ කැමැත්ත මත පෙර ගනුදෙනු කරනු ලැබූ බැංකු ගිණුමෙන්ම ගනුදෙනු සිදුකරනු ලබයි. එමනිසා ඔබගේ ජංගම දුරකථනයට පැමිණෙන රහස්‍ය අංකය කිසිදු විටෙක වෙනත් තුන්වන පාර්ශ්වයකට ලබාදීම සිදු නොකළ යුතුය.

OTP අංකයක් මගින් සනාථ කරගනු ලබන්නේ මෙම ගනුදෙනුව සිදු කරන පුද්ගලයා ඔබම ද යන්නයි. එනම් ඔබ තවත් පුද්ගලයෙක්ට මෙම අංකය ලබාදීම මගින් සිදුකරන්නේ තම බැංකු ගිණුමේ අයිතිය නොදැනුවත්වම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමයි. එහිදී බාහිර පාර්ශ්වය විසින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු ඔබ විසින් සිදුකරනු ලබන ගනුදෙනු ලෙස වලංගු ගනුදෙනු බවට පත් වන්නේ එම පුද්ගලයා සතුව ඔබගේ OTP අංකය පවතින බැවිනි.

විශේෂයෙන්ම ඔබ තුන්වන පාර්ශ්වයකින් තම බැංකු ගනුදෙනු සඳහා සහාය ලබාගන්නේනම් ඒ පිළිබඳව ද සැලකිලිමත් වියයුතුය. මන්දයත් ඔවුන්ට ඔබගේ සියලුම දත්ත ලබාදියයුතු බැවිනි. එමනිසා විශ්වාසවන්ත අයකු හැර තවත් පාර්ශ්වයකින් මාර්ගගත බැංකු ගනුදෙනු කිරීම සඳහා උපකාර ලබාගැනීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය. මන්දයත් ඔබගේ බැංකු ගිණුමෙහි දත්ත එම තුන්වන පාර්ශ්වය ලබාගැනීම මගින් ද මුදල් වංචාවන් සිදුවිය හැකි බැවිනි.

විශේෂයෙන්ම මෙම මාර්ගගත (Online) ගනුදෙනු සම්බන්ධයෙන් තරුණ පරපුරට අවබෝධයක් ඇතත් මැදි වයසේ පසුවන බොහෝ පිරිසකට සහ වයස්ගත ප්‍රජාවට ඒ පිළිබඳව අවබෝධයක් නැත. ඇතැම්විට ඔවුන්ට ඒ පිළිබඳව විස්තර කිරීමක් කළ ද ඩිජිටල් අවකාශය පිළිබඳව පවත්නා අවබෝධය අල්ප වීම හේතුවෙන් ඔවුන් ලබාගන්නා දැනුවත්භාවයෙහි ද ගැටලු පවතී.

පසුගිය දිනවල රූපවාහිනිය ඔස්සේ යම් දැනුවත් කිරීම් කිහිපයක් ප්‍රචාරය වුවද එය ප්‍රමාණවත් නොවන බව පෙනේ. විශේෂයෙන්ම මෙම මූල්‍ය වංචාවන් සිදුවීම වර්ධනය වී ඇති සමයක සවිස්තරාත්මකව ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවක් මතුව ඇත. අත්පත්‍රිකා බෙදාදීම මගින් ඒ පිළිබඳව ඉතා හොඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළ හැකි අතර නැවත නැවත එම අත්පත්‍රිකාව කියවා බලා තේරුම් ගැනීමට ද බොහෝ පිරිසකට හැකියාව ලැබේ. එමෙන්ම අදාළ බැංකු මගින් නිතර නිතරම සිදුකරනු ලබන දැනුවත් කිරීම්, පුවත්පත් සහ අනෙකුත් මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය හරහා මෙන්ම ග්‍රාමීය මට්ටමින් සිදුකරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් ද මේ පිළිබඳව මිනිසුන්ගේ අවබෝධය පුළුල් කිරීමට කටයුතු කළ හැකිය.

විශේෂයෙන්ම තමන්ගේ බැංකු ගිණුම හරහා අවසරයකින් තොරව මුදල් ගනුදෙනු සිදුවන බව පුද්ගලයෙක් සැක පළ කළහොත් ඒ පිළිබඳව ක්ෂණික පියවරක් ගෙන තම බැංකු ගිණුම තාවකාලිකව හෝ නිෂ්ක්‍රීය කර දැමීමට හැකියාවක් පවතින්නේනම් එය ඉතා වැදගත් වේ.

තරුණ පිරිසට මාර්ගගත ගනුදෙනු පිළිබඳව අවබෝධයක් ඇතත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන විවිධ ව්‍යාජ ලින්ක්ස් (links) මගින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තොරතුරු ලබාගැනීමේ වැඩි ඉඩක් පවතී. එමනිසා සිත්ගන්නාසුලු අන්තර්ගතයන් සහිතව සංසරණය වන මෙම ලින්ක්ස් වෙත ප්‍රවේශ වීමට පෙර සිතා බැලීම ඉතා වැදගත්ය.

කෙසේ නමුත් වර්තමානය තුළ පවතින මෙම මූල්‍යමය වංචාවන් දාමයක් ලෙස සිදුවන බැවින් ඔබගේ දැනුවත් වීම හරහා මෙම වංචාවන් අවම කරගැනීම ඉතාමත් වැදගත් වේ. “අවධානමට පෙර සූදානම” වැදගත් බැවින් සෑමවිටම ඔබගේ පෞද්ගලික තොරතුරු මෙන්ම රහස්‍ය අංකය වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීමෙන් වැළකී සිටීම ඔබගේ බැංකු ගිණුමේ ආරක්ෂාව සඳහා ඉතාමත් වැදගත් වනු ඇත.

දේශානි ආරච්චිගේ


advertistmentadvertistment