ඉන්දියාවේ පහල්ගම්හි ත්‍රස්ත ප්‍රහාරයට පසු දින, 1960 දී පාකිස්තානය සමග අත්සන් කරන ලද ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව කටයුතු කළේය. මෙය සිදු කළේ එකට එක කිරීමක් වශයෙනි. “ඉන්දු” ජල ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව දැන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම්, එය යුද්ධයකට පෙර නිමිත්තක් ලෙස සලකනු ඇත,” යනුවෙන් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් බීබීසීයට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබිණි. මතභේදයට තුඩු දී ඇති ඉන්දු ගංගා ජලය පාකිස්තානයට සැපයීම නතර කිරීමට ඉන්දියාවට නොහැකි බව ද ඔහු සඳහන් කර තිබිණි. එසේම ඉන්දියාවට ඒකපාර්ශ්විකව මෙම ගිවිසුමෙන් ඉවත් විය නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. ජලය අහිමි කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. නමුත් ඉන්දියාව මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ තමන්ට පහල්ගම්හි ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවූ අවමානයෙන් ගැලවීමටය. ඉන්දියාවේ දිනකට මාර්ග අනතුරු නිසා පන්සියයකට ආසන්න පිරිසක් මරණයට පත්වෙයි. නමුත් පහල්ගාම් හි ඉකුත් 22 දා විසි හය දෙනකු ඝාතනය වීම් ලෝක බලවතෙක් වීමට මාන බලන ඉන්දියාවට බලවත් නිග්‍රහයක් විය. විශේෂයෙන්ම හින්දුන් තෝරා ඝාතනය කර ලබා දුන් පණිවුඩය බරපතළ එකකි. නරේන්ද්‍ර මෝදිට උඹලා සහය දෙනවා නේද යනුවෙන් අසමින් වෙඩි තැබූ බව එම සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කර තිබිණි.

පසුගිය බදාදා උදෑසන පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තාරාර් පැවසුවේ, “විශ්වාසදායක බුද්ධි අංශ” වාර්තා මගින් ඉන්දියාව “ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ පකිස්ථානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. අඟහරුවාදා පස්වරුවේ ඉන්දීය අගමැති නිල නිවසේ පවත්වන ලද ආරක්ෂක කමිටු රැස්වීමේදී නරේන්ද්‍ර මෝදි සිය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට පැවසුවේ අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ බලය ඔවුන්ට පවරන බවයි. ඒ අනුව හමුදා ප්‍රධානීන්ගේ අවශ්‍යතාව හා සුදුසු කාලය අනුව ප්‍රහාර එල්ල කළ හැකිය. දැන් අගමති මෝදි හමුදා නායකයන්ට “මෙහෙයුම් නිදහස” ලබා දී ඇත. පහල්ගම්හි ප්‍රහාරය සිදුවී සතියකට වැඩි කාලයක් ගතව ඇතත් මේ සටහන ලියන මොහොතේ හෝ සංචාරකයන් මරා දැමූ ත්‍රස්තවාදීන් හතර දෙනාගේ කිසිම තොරතුරක් සොයා ගෙන නැත. ඔවුන් සැඟවී සිටින්නේ යැයි කියන ප්‍රදේශයට දහස් ගණනින් හමුදා භටයන් යවා ඇති නමුත් තවම මේ කණ්ඩායම ගැන තොරතුරක් නැත. ඇත්තෙන්ම ලක්ෂාර් ඊ ටොයිබා ප්‍රහාරක කණ්ඩායම කරන අල්ට්‍රා නම් සන්නිවේදන කට්ටලය හරහා යැවෙන පණිවුඩ නිරීක්ෂණය කිරීමට ඉන්දීය හමුදාවට නොහැකිවීම බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. මේ ප්‍රහාරකයන් කිසිම විටක ජංගම දුරකථන හෝ චන්ද්‍රිකා දුරකථන භාවිතා කරන්නේ නැත. කාශ්මීර වනගත ප්‍රදේශවල මෙහෙයුම් කිරීම ආරක්ෂක අංශවලට ඉතා අපහසුය.

භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට තම රට වැසියන් සතුටු කිරීම වෙනුවෙන් යුද සංදර්ශනයක් පැවැත්වීමට උවමනාව තිබේ. නමුත් මෙය පාරාවළල්ලක් වීමට ද ඉඩ තිබේ. දැන් ගැටුම ඇත්තේ අසීම් මුනීර් එනම් පාකිස්තානයේ බලවත් හමුදාපති හා නරේන්ද්‍ර මෝදි අතර බල ගැටුමකි. එය ජයගන්නේ කවරකුද? ඉන්දියාව බලවත් රටකි. පාකිස්තානය බංකොළොත් රටකි. ආර්ථික ප්‍රශ්න මෙන්ම ත්‍රස්ත ප්‍රශ්නද බරපතළය. නමුත් ඉන්දියාවේ බලය හමුවේ පාකිස්තාන හමුදාව පස්සට යන්නේ නැත. ඔවුන්ට ඉන්දියාවට විශාල හානියක් කළ හැකිය. 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවූ විට අසල්වැසි රාජ්‍යයට එරෙහිව යුද්ධයක් අරඹන ලෙස එවක අගමැති වජ්පායි වෙත බල කෙරුණද ඔහු පැවසුවේ යුද්ධයක් ආරම්භ කළ හැකි නමුත් එහි අවසානය කොහෙන් නිමවෙයිද යන්න කිසිවකු නොදන්නා බවයි. නමුත් මෙලෙස වත්මන් ඉන්දීය අගමැතිවරයා හිතන්නේද යන්න ප්‍රශ්නයකි. මොවුන් අතර බරපතළ ආරවුලක් ඇතිවුව හොත් එය දකුණු ආසියාවටම ප්‍රශ්නයකි. දෙරටම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ නිසා එයද බරපතළ අනතුරකි.

“කෝපය පැතිර ගොස් ඇත,” ප්‍රවීණ ඉන්දියානු විචාරක බ්‍රහ්ම චෙලනි මේ ප්‍රහාරයෙන් පසුව ඇතිව තිබෙන ඉන්දියානුවන්ගේ මනස කියවයි. “වින්දිතයන් ඉන්දියාව පුරා අවම වශයෙන් විවිධ ප්‍රාන්ත 15ක විසිර තිබේ. එම නිසා අගමැති මෝදි දැඩි ලෙස ජාතික කෝපය සමනය කිරීමට උත්සාහ කරයි.

මෙවැනි සංහාරයක් ඕනෑම රජයකට දැඩි අපහසුතාවයක් ගෙන දෙන අතර, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ශක්තිමත් යැයි නිතර පවසන මෝදි රජයට දෙගුණයක් අපහසුතාවයක් ඇති කරයි.” යනුවෙන් මේ විචාරකයා කියයි. ඇත්තෙන්ම අගමැති මෝදි බරපතළ තර්ජනයක් අසල්වැසි රාජ්‍යයට එල්ල කර තිබුණේ බිහාරයේ පැවති රැස්වීමකදීය. නමුත් මෙවරද ඔහු පූර්ණ යුද්ධයකට නොගොස් යම් ප්‍රහාර පමණක් සිදු කිරීමට හැකිය. මහජන කෝපය සමනය කිරීම වෙනුවෙන් යම් සීමිත ප්‍රහාරවලට යනු ඇති බව බ්‍රහ්ම චෙලනි පවසයි. ප්‍රවීණ විශ්ලේෂක සී. රාජා මෝහන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතක සටහන් කර තිබුණේ “පාකිස්තාන හමුදාවේ සැලකිය යුතු හැකියාවන් ඇතුළුව ඉන්දියානු ආණ්ඩුවට මුහුණදීමට බරපතළ දේ තිබේ. නමුත් ප්‍රහාරයේ බිහිසුණු ස්වභාවය සහ ජාතිය කම්පනය වීම හේතුවෙන් ඇතිව තිබෙන කෝපය සැලකිල්ලට ගෙන අගමැතිවරයාට බරපතළ අවදානම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

ඇමෙරිකානු විශ්ලේෂකයකු වන මයිකල් කුගල්මන් පැවසුවේ “ඉන්දීය රජයේ බොහෝ කෝපයක් සහ දැඩි වාචාල කතා තිබුණද, රජයේ සැබෑ ප්‍රතිචාරය ප්‍රවේශම් සහගත විය හැකි” බවයි. ඇත්තෙන්ම මෙහිදී වඩා පරිස්සම් විය යුතු වන්නේ ඉන්දියාව මිස පාකිස්තානය නොවේ. මන්ද පාකිස්තාන රාජ්‍යයට එරට හමුදාවට අභියෝග කළ නොහැකි වුවද හමුදා ක්‍රියාමාර්ග අවාසිසහගත වුවහොත් එය භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට මහත් ඛේදයක් වනු ඇත. ඉන්දීය අගමැතිවරයාට ශක්තිය තිබෙන නමුත්, සැබෑ ප්‍රායෝගිකව වසර 11 ක් තිස්සේ, ඕනෑම දේශසීමා මෙහෙයුමක් සඳහා හමුදාව භාවිතා කිරීමට ඔහු අකමැති වී තිබේ. මවුලවිවරයකුගේ පුතකු වන වර්තමාන පාකිස්තාන හමුදාපතිවරයා පසුගිය 17 වැනිදා ඉන්දියාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ඔහු පවසා තිබුණේ මුස්ලිම් හා හින්දු ජාතිකයන් සම්පූර්ණයෙන්ම වෙනස් බවයි. එසේම පාකිස්තානය ගොඩනැඟුනේ මේ භේදය නිසා බවත් ඔහු අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය ගැන ඉන්දීය මාධ්‍ය කෝපයෙන් කතා කරමින් සිටියද පහල්ගාම් ප්‍රහාරය එල්ල විය. එයින් ඉන්දීය ආණ්ඩුව දෙදරිණි.

අප්‍රේල් 22 දා සවස 2.30ට පමණ සංචාරක නගරයක් වන පෙහල්ගාම්හි රැස්ව සිටි සංචාරකයන්ට ඒ අසල වූ වනාන්තරයෙන් පිටතට පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනකු වෙඩි තැබූ අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයන් 26 දෙනෙක් මියගියහ. මෙයින් ප්‍රහාරකයන් දෙදෙනෙක් විදේශ ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා කාශ්මීර වැසියන් වේ. ප්‍රහාරය සිදු වූ බයිසරන් මීඩෝ ප්‍රදේශය, පහල්ගාම් සිට කිලෝමීටර් 5ක් (සැතපුම් 3ක්) පමණ දුරින් පිහිටා ඇති අතර එයට ළඟා විය හැක්කේ පයින් හෝ පෝනියන් පිට පමණි. මෝටර් රථවලට එම ස්ථානය වෙත යා නොහැක. මුල් අවස්ථාවේදී තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෝනියන් මතින් රැගෙන යෑමට සිදු විය. මෙම ප්‍රහාරයේ වින්දිතයන් වූයේ සෙබළුන් හෝ රජයේ නිලධාරීන් නොව, ඉන්දියාවේ ඉතාමත් සුන්දර නිම්නවලින් එකක නිවාඩුවක් ගත කළ සිවිල් වැසියන් ය. ඒ නිසාම මෙම ප්‍රහාරය ම්ලේච්ඡ හා සංකේතාත්මක වේ: එය ජීවිතවලට පමණක් නොව කාශ්මීරය නිදහස් යැයි ඉන්දීය රජය ලෝකයට ගෙන යන මතයද මේ හරහා විනාශ විය. 2016 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු සෙබළුන් 19 දෙනකු මියගිය මාරාන්තික ඌරී ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව පාකිස්තාන දේශ සීමාවට ගොස් ත්‍රස්ත කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබිණි. එසේම 2019දී, පුල්වාමාහි හමුදා භටයන් 40 දෙනකු මියගිය පසු, ඉන්දියාව බාලාකෝට්හි සටන්කාමී කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. 1971න් පසු පාකිස්ථානය තුළ අභ්‍යන්තරයට වන්නට එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව එයයි. පාකිස්ථානය ද ගුවන් ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූ අතර, එය ගුවන් සටනකට තුඩු දුන් අතර ඉන්දියානු ගුවන් නියමුවකු කෙටි කලකට සිය ග්‍රහණයට ගත්තේ ය. දෙපාර්ශ්වය ම ශක්තිය පෙන්වූ නමුත් පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති වීම වළක්වා ගත්හ.

ඉන්දියාව සමග උග්‍රව පවතින අර්බුදය ගැන නොතකමින් පාකිස්තාන හමුදාපති ජෙනරාල් මුනීර් පසුගිය සිකුරාදා දිනයේ එරට හමුදා නිලධාරීන් අමතමින් පවසා තිබුණේ පාකිස්තානය නිර්මාණය කර ගත්තේ බොහෝ කැපකිරීම්වලින් පසුව බවත් එය ආරක්ෂිතව තබා ගැනීම සන්නද්ධ හමුදාවන්ගේ යුතුකම බවත් ය. පාකිස්ථානය නිර්මාණය කිරීම සඳහා අපගේ මුතුන් මිත්තන් අතිමහත් කැපකිරීම් කළහ. එය ආරක්ෂා කරන්නේ කෙසේදැයි අපි දනිමු” යනුවෙන් ඔහු පවසා තිබිණි. අපේ මුතුන් මිත්තන්ගේ පටන් ජීවිතයේ සෑම අංශයකින්ම අපි හින්දු භක්තිකයන්ගෙන් වෙනස්, එසේම ඔබ ඔබේ දරුවන්ට පාකිස්තානයේ කතාව පැවසිය යුතුයි. අපේ ආගම් වෙනස්, අපේ සිරිත් විරිත් වෙනස්, අපේ සම්ප්‍රදායන් වෙනස්, අපේ සිතුවිලි වෙනස්, අපේ අභිලාෂයන් වෙනස්. එහි තැබූ ද්වි-ජාතීන් න්‍යායේ පදනම එයයි. අපි ජාතීන් දෙකක්, අපි එක ජාතියක් නොවේ, ඔහු තවදුරටත් පැවසීය. මෙයින් පෙනී යන්නේ හමුදාපතිවරයා නැවත නැවතත් ඉන්දීය විරෝධය මතුකරමින් සිටින බවයි. මේ නිසා ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළහොත් එයට තීරණාත්මක ලෙස පාකිස්තාන හමුදාව ප්‍රතිචාර දක්වනු ඇත. රෝ ඔත්තු සේවය බලුකිස්තානයේ මෙන්ම කයිබර් ප්‍රාන්තයේද ත්‍රස්ත කල්ලිවලට සහය ලබා දෙන නිසා එයට ප්‍රබල පිළිතුරක් ලබා දීමට පාකිස්තානයේ බලවත් පුද්ගලයාට අවශ්‍ය වී තිබිණි. එයට එරෙහිව කටයුතු කිරීමට පාකිස්තාන ආණ්ඩුවට හෝ නොහැකිය. යුද්ධය හෝ සාමය පිළිබඳ අවසන් තීරකයා වන්නේ අසීම් මුනීර් මිස අන් කවරෙකු හෝ නොවේ. කුරානය කටපාඩමින් කිවවිය හැකි මේ ජෙනරාල්වරයා මීට පෙර පාකිස්තානයේ හිටපු හමුදාපතිවරුන්ට වඩා වෙනස් වේ. එම නිසාම ඔහු හින්දු මුස්ලිම් වෙනස ගැන නිතර කියයි.

මේ ගැටුම දෙස නිහඬව බලා සිටීම හැර අපට කරන්නට දෙයක් නැත. ත්‍රස්තවාදය අප කිසිම විටක අනුමත කරන්නේ නැත. ඉන්දියාව මෙන්ම පාකිස්තානයද තමන්ගේ සහචරයන් ලවා විවිධ ප්‍රහාර එල්ල කරයි. එය අනවරත ගැටුමකි. නමුත් පහලගාම් ප්‍රහාරය මෝදි ආණ්ඩුවේ රෙදි ගැලවූ ප්‍රහාරයක් විය. එනිසාම සවුදි සංචාරය නතර කළ මෝදි වහාම දිල්ලියට පැමිණ හමුදාවට උපදෙස් දෙන්නට විය. හින්දු ජාතිකවාදීන් සනසන්නට හමුදා ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමට නොහැකිය. එය කවරක් වෙයිද? අපි බලා සිටිමු.

චතුර පමුණුව


advertistmentadvertistment