සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනය කළ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ආදායම් වාර්තා අලුත් කරමින් පසුගියදා අති සාර්ථක ලෙස දින සියය පසුකළා. සිනමා ඉතිහාසයේ වාර්තා අලුත් කරමින් දින සියයක් තුළ ලක්ෂ 2750 ක ආදායම් වාර්තාවක් සමගින් සිනමාවංශ කථාවම උඩුයටිකුරු කර තිබේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා වැල්ලවත්ත සැෆායා හෝටලයේදී පැවැත්විණි. එහිදී කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

රැජිනි ශාරුක් සමග අපි හැප්පෙනවා - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

සියලුම සිංහල චිත්‍රපටකරුවන්ට තියෙන අභියෝගය තමයි එක්කෝ ෂාරුක් ඛාන් එනවා. එහෙම නැතිනම් රැජිනි ඛාන්ත් එනවා. ඉතිං දැන් රැජිනි ඛාන්ත් එක්ක සටන් කර කර ෂාරුක් ඛාන් එක්ක සටන් කර කර තමයි මේ සිංහල චිත්‍රපට දුවන්න වෙලා තියෙන්නේ. චිත්‍රපටය දුවන්න දාන්න හදනකොට රැජිනි ඛාන්ත්ගේ ජේලර් එනවා. අපි ඉතිං දැන් බලාගෙන ඉන්නවා ජේලර් ආවහම අපිට මොකද වෙන්නේ කියලා. මම යාපනයේ හිටියා අවුරුදු තුනක් විතර. ඇත්තටම දමිළ ජනතාවට තමයි සිනමා සංස්කෘතියක් තියෙන්නේ. අපිට නෙමෙයි. ඒක හරියට ඉන්දියාවේ තමිල්නාඩුවේ වගේමයි. අපට වඩා ඉදිරියෙන් ඉන්නවා දමිළ රසිකයෝ. ඒ අය පුල පුලා බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද දමිළ චිත්‍රපටයක් රිලීස් කරන්නේ කියලා. ඔවුන් කොහොම හරි ඒ චිත්‍රපටය නරඹලා රසවිඳිනවා. මායි මිස්ටර් ප්‍රේමසිරියි එක දවසක ගියා රැජිනි කාන්ත්ගේ චිත්‍රපටයක් බලන්න. මගදී නැගිටලා ආවා. ඒක බලාගෙන ඉන්න බැහැ. මොකද නැගිටලා කෑ ගහනවා, ෂර්ට් ගලවලා වීසි කරනවා. ඔහොම තමයි දමිළ ජනතාව චිත්‍රපටයක මංගල දර්ශනයේදී ප්‍රතිචාර දක්වන්නේ. ඇත්තටම ඒ චිත්‍රපටයට හොඳ උත්කර්ෂවත්භාවයක් ඇතිකරනවා. අපිට එහෙම එකක් නැහැ. අපිට පුරුදුත් නැහැ.

වරින් වරට අපේ චිත්‍රපට එන කාලේට මොන තරම් දමිළ, හින්දි චිත්‍රපට ආවද?. රැජිනි කාන්ත්ගේ චිත්‍රපට දෙකක් හෝ තුනක් ආවා. ඉතිං ඒවත් එක්ක තරග කරලා තමයි කදිර දිව්‍යරාජ චිත්‍රපටය දින සියය අරගෙන ආවේ. ඉතිං ඒක ඇත්තට බොහෝ ආශ්චර්යමත් දෙයක්. සාමාන්‍යයෙන් අපි ඉඩදීලයි තියෙන්නේ දමිළ චිත්‍රපටයක් ආවහම ඕනෑතරම් දර්ශන වාර ප්‍රදර්ශනය කරන්න. මොකද ඒ අයට හොඳ ආදායමක් ලැබෙනවා සතියකට හමාරකට මේ දමිළ චිත්‍රපට නිසා. දමිළ, හින්දි චිත්‍රපට රිලීස් කරහම තාවකාලිකව අපේ දර්ශන වාර සතියකට හමාරකට අඩුවෙනවා. නමුත් අපි ඒවාට අත තිබ්බේ නැහැ. අපි දන්නවා සිනමාශාලා නඩත්තු කරන්න සිනමාශාලාවලට එවැනි ක්ෂණික ලොකු ආදායමක් අවශ්‍ය වෙනවා කියලා. ඒ අයත් අපේ දර්ශනවාර දෙකක් හෝ තුනක් අඩුකළාට ඊළඟ මොහොතේ නැවත අපිට අර දර්ශනවාර දීලා චිත්‍රපට පවත්වාගෙන ගියා.

රැජිනි ශාරුක් සමග අපි හැප්පෙනවා - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

මේ චිත්‍රපටයේ සාර්ථකත්වය මම නෙමෙයි. ආචාර්ය රවී ලියනගේ සහ ඔහුගේ මේ රයිගම් පුතුන්. ඔවුන් තමයි මේක අරගෙන ගියේ. මේ චිත්‍රපටයේ වැඩවලට අපි කතරගමට දෙපාරක් තුන්පාරක් යනකොට මම හිතන්නේ ඒ පෝස්ටර් ඇලවිල්ල කිසිම චිත්‍රපටයක දැකලා නැහැ. මගේ චිත්‍රපට කිසිම එහෙක ඒවගේ පෝස්ටර් අලවලා නැහැ. අනෙක් අයගේ චිත්‍රපටවලත් එහෙම තමයි. මේ චිත්‍රපටය දිව්වේ එහි යම්කිසි ප්‍රමාණයක් ශක්තියක් තියෙන්න ඇති. නමුත් රයිගම් ශක්තියෙන් තමයි චිත්‍රපටය අරගෙන ගියේ. මම විශ්වාස කරනවා, අපි දන්නවා හොඳ සිංහල චිත්‍රපට හදන අය ඉන්නවා කියලා. වාණිජ චිත්‍රපට හදන අධ්‍යක්ෂවරුත් ඉන්නවා. අපිට තියෙන ලොකුම අවාසනාව තමයි චිත්‍රපටය මාර්කට් කරන්න අපි දන්නේ නැහැ. පළමු වතාවට මගේ චිත්‍රපටය මාර්කට් කරන්න මාර්කටිං කණ්ඩායමට භාරදුන්නා. ඒක නිසා තමයි මේ සාර්ථකත්වය ලැබුවේ. ඇත්තටම අපේ සිංහල චිත්‍රපට කාරයන්ට තමන්ගේ චිත්‍රපටය හැදුවාට පස්සේ ඒවා මාර්කට් කරන්න කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා නම් මේ කදිර දිව්‍යරාජ ලැබූ සාර්ථකත්වය වගේ සාර්ථකත්වයක් බොහෝ සිංහල චිත්‍රපටවලට ලබාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද අපේ එහෙම ක්‍රමයක් නැහැ. මාර්කටිං කියලා දෙයක් නැහැ. මාර්කට් කරන්න අපි දන්නේ නැහැ. අපි දන්නේ චිත්‍රපට හදන්න විතරයි. සෑම සිංහල චිත්‍රපටකරුවෙකුටම ඒ වාසනාව ලැබෙනවා නම් ඔවුන්ගේ චිත්‍රපටත් ඇත්තටම සාර්ථක වේවි කියලා මම විශ්වාස කරනවා.

● දිනේෂ් විතාන

රැජිනි ශාරුක් සමග අපි හැප්පෙනවා - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
advertistmentadvertistment
advertistmentadvertistment