ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉන්දියාවේ සහ චීනයේ භූමිකාව

369

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදයෙන් මිදීමට අපේක්ෂා කරන බැවින් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු ණය ලබා දුන් පාර්ශ්වයන් සමග මේ වන විට ඵලදායී ලෙසට සාකච්ඡා පවත්වාගෙන යන බව රජයේ පාර්ශ්වය අවධාරණය කර සිටියි.

මිලියන 22 ක ජනගහනයක් වෙසෙන රටේ ජනතාවගේ ඉන්ධන, ආහාර, ගෘහස්ථ ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ගෙවීමට ඩොලර් සපයා ගැනීම දෛනිකව අභියෝගයක්ව පවතී. එම භාණ්ඩ ප්‍රවාහන නැව් සමාගම්වලට දෛනිකව ප්‍රමාද ගාස්තු ගෙවමින් සිටින අතර එයින් මෙම අර්බුදයේ අවසානයක් තවම පේන මානයක නොමැති බව වටහා ගත හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අදාළව ණය හිමියන් සමග මේ වන විට ඵලදායි සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෑතකදී ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාව පළමු වරට විදේශ ණය පැහැර හැරීම සිදු කළේ මැයි මාසයේදීය. ජපානය, ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන අතර චීනයේ එක්සිම් බැංකුව මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක පමණ ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. එබැවින් මෙම පාර්ශ්වයන් සමග රජයේ බලධාරීන් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර ඇත.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාව මේ මොහොතේ බැටකන අවස්ථාවක ඉන් ගොඩවීමට හැකි මාර්ගයක් ලෙසට ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල කතා බහක් ඇතිවී තිබේ. මේ දරුණු අර්බුදය සමනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ණය ලබා දීමේ කාලය තීරණය කිරීමේ ප්‍රධාන සාධකය චීනය බවට පත්විය හැකි බව දේශීය හා ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති.

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කිරීමට චීනය එකඟ වී ඇති නමුත් මෙතෙක් කිසිදු ණය ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සඳහා කැපවී නොමැති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව චීනය මේ වන විට සෘජු පිළිතුරක් ලබා දී නැති අතර ඒ වෙනුවට ප්‍රතිමූල්‍යකරණ උපාය මාර්ගයක් යෝජනා කර ඇත. ඒ අනුව චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ණය දිගින් දිගටම ගෙවීමට බලාපොරොත්තු වන අතර ඒ වෙනුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය පහසුකම් ලබා දීම අරමුණු කරයි. දැනට සිදු කරන සාකච්ඡාවන් හරහා චීනයේ මෙම ස්ථාවරයේ වෙනස් වීමක් මෙරට බලධාරීන් ඉදිරියේ අපේක්ෂා කරයි.

චීනය සිය කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය ඔක්තෝබර් අගදී අවසන් කළ පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව සුබදායි තීරණයක් ගනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණත් මේ වන තෙක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැන්නක් සිදු වී නොමැත.

මේ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පිරිසක් පසුගිය දිනක චීන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. කෙසේ වෙතත් එම උද්ඝෝෂණය සඳහා තම පක්ෂයේ සෘජු අධීක්ෂණයක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය පසුව නිවේදනය කර තිබුණි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ණය ලබා දුන් ප්‍රධාන රටවල් එකම ස්ථාවරයක සිටිමින් ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවය පළකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරනු ලබයි.

ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් මූලික කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ එක් ණය හිමියකු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුණත්, එය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ අර්බුදය ගැඹුරු අතකට ගෙන යනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් අතර පැරිස් සමාජය නියෝජනය කරන එකම රට ජපානයයි. පැරිස් සමාජය මූලිකව බටහිර රටවල්වලින් සැදුම්ලත් සංවිධානයක් වන අතර ඉන්දියාව සහ චීනය වැනි අනෙකුත් ප්‍රධාන ණය දෙන්නන් එහි සාමාජිකයන් නොවේ. එම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකාව ජපානයේ සෘජු මැදිහත් වීම අයැද සිටියි. ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් කිහිප වතාවක් ඉල්ලීම් කර තිබුණි. ඉන්දියාව සිය ස්ථාවරය ඉදිරිපත් කරමින් ඉතා යහපත් ප්‍රතිචාර මේ සඳහා පළ කර ඇති අතර ණය හිමියන් සමාන ලෙස සැලකීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවයක් ඉන්දියාව අපේක්ෂා කර සිටියි.

පුද්ගලික සහ ද්විපාර්ශ්වික යන අංශ දෙකම නියෝජනය කරන ණයහිමියන් සමඟ තිරසාර එකඟතාවයකට එළඹෙන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරයන් මන්දගාමීව සිදු වනු ඇති බවට විශ්ලේෂකයන් මත පළකර සිටියි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථම අරමුදල් මුදා හැරීමට පෙර ශ්‍රී ලංකාව, චීනය සමඟ සාකච්ඡා කර ප්‍රගතියක් අත්කර ගත යුතුව තිබේ. ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ චීනයේ හැසිරීම චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක දී ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන බවයි. සැම්බියාව 2020 නොවැම්බරයේ ණය පැහැර හරින ලද අතර 2021 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු කරන ලදි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට අනුමැතිය ලබා දුන්නේ මෑතකදී සමස්ත ණය ප්‍රමාණයෙන් කොටසක් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟතාව පළකිරීමත් සමඟ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැදගත් වන ප්‍රධාන සාධක දෙකක් ආර්ථික විශ්ලේෂකයන් හඳුනා ගෙන ඇත. ඉන් පළමු කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා දෙන්නේ කවදාද යන්නයි. දෙවන කරුණ ලෙසට හඳුනා ගෙන ඇත්තේ චීනය මෙම සිද්ධි මාලාවේදී කුමන ආකාරයකට කටයුතු කරන්නේද යන්නයි.

චීනය ඉතියෝපියාව සහ සැම්බියාව වෙත ණය ලබා දීමට සම්බන්ධ විය. එම රටවල් ද පසුගිය වසර දෙක තුළ ස්වෛරී ණය ගෙවීම පැහැර හරින ලදි.

ගොඩබිමක ඉදිකෙරෙන වරායක් සඳහා සහ ඵලදායි නොවන ගුවන්තොටුපළක් ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව පසුගිය දශකය තුළ චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ඇත. ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට ව්‍යාපෘති අපොහොසත් වූ අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුක්ඛිත තත්ත්වයට හේතු විය. ශ්‍රී ලංකාවේ මුළු ජාත්‍යන්තර ණයවලින් 10% ක් පමණ ලබා ගෙන ඇත්තේ චීනය මගිනි. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් පමණ වේ. ජපානය ඩොලර් බිලියන 2.7 ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ක් ණය ලබා දී ඇත. ශ්‍රී ලංකා රජයේ වාර්තා අනුව ජූනි මස අවසානයේදී රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 46.6 ක් හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණයවලින් සියයට 10 ක් පමණ චීනයෙන් ලබා ගෙන ඇත. එය මුළු ණය ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිශතයක් ලෙසට පෙන්නුම් කළත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ අනුමැතිය තීරණාත්මක ය. චීනය අතිරේක ණයක් ලබා දුන්නද, එය කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකට කැපවී නැති බැවින්

ශ්‍රී ලංකාවේ ඉරණම අද වන විට චීනය මත රඳා පවතින තත්ත්වයට පත්ව ඇති බව මූල්‍ය විශ්ලේෂකයන්ගේ මතයයි. මේ වසර මුලදී ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ගොදුරු වූ විට, ඉන්දියාව ආහාර, ඖෂධ සහ ඉන්ධන හදිසි මිලදී ගැනීම් සඳහා ණය මුදල් හුවමාරු කිරීම සහ ණය ආපසු ගෙවීම කල් දැමීමේ පහසුකම් සහිතව ඩොලර් බිලියන 3.8 ක් වටිනා හදිසි ආධාර ලබා දීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය සම්බන්ධයෙන් වන අරගලයේදී චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ තරගකරුවන් වන අතර ඔවුන්ගේ සැබෑ මිත්‍රත්වය ශ්‍රී ලංකාව දෙසට ප්‍රදර්ශනය කිරීම මෙය කදිම අවස්ථාවක් වනු නොඅනුමානය.

ආචාර්ය තිස්ස ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment