නිවී ගොස් ය… ඒ මහපැණසර ය…

1484

එවකට මා මහනුවර ධර්මරාජයේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබමින් සිටින අවධියේ ‘දිවයින’ පුවත්පතේ පළ වූ ලිපියක් ඇස ගැටිණි. එහි වූයේ ගුරුත්වාකර්ෂණ වාදය සත්‍ය නම් මහසොහොන් වාදය ද සත්‍ය බව යි. මේ මාතෘකාව දුටු සැණින් එලිපිය මා කියැවූයේ එය විප්‍රකාර අදහසක් යැයි සිතූ හෙයිනි. මන්ද? මහසොහොන් කතාව මිථ්‍යාවක් ලෙසත් ගුරුත්වාකර්ෂණ වාදය සපුරා සත්‍යයක් බවත් එකල මගේ අදහස වූ හෙයිනි. මහසොහොන් කතාව සහ ගුරුත්වාකර්ෂණ වාදය එක හා සමාන සත්‍යයන් වන්නේ කෙසේදැයි ඒ ලිපියෙන් අවසන කියැතැයි යන අදහසක් මසිත වීය. එහෙත් ඒ ලිපිය අවසානයේ මට හැඟී ගියේ මහසොහොන් කතාව සහ ගුරුත්වාකර්ෂණ වාදය යන කතා දෙක ම ලොවෙහි සිදුවන දේවල් දෙකක් පිළිබඳ ව මිනිසුන්ගේ සිතීම් මතින් ගොඩනඟන ලද වියුක්ත සංකල්ප, එනම් මනසින් ගොඩනඟන සංකල්ප දෙකක් බව ය. ඒවාහි ඇති සමානත්වය, සත්‍යය එය බව යි එහි වූයේ. එලිපිය ලියා තිබුණේ ආචාර්ය නලින් ද සිල්වා යි.

ඉහත ලිපියේ මාතෘකාවෙන් කියැවෙන දේ තේරුම් ගැනීමට නම් එහි ‘නම්’ යන වචනයට වැඩි බරක් දිය යුතු ය. යම් වාක්‍යයක් එහි ඇති ආකාරයෙන් ම තේරුම් ගැනීම සඳහා ඒ වාක්‍යයේ සෑම අකුරක් ම වචනයක් ම තිතක් ම කොමාවක් ම දැක, සිතා ඒ අනුව එය තේරුම්ගත යුතු යැ යි එදා මට වැටහිණි. ලිපියෙහි මුල සිට අග දක්වා ම වූයේ අපූර්වත්වයකි. එහෙයින් ම එතැන් පටන් සොය සොයා නලින් ද සිල්වා සර්ගේ ලිපි කියැවීමට පටන් ගතිමි. දිනපතා දිවයින සහ ඉරිදා දිවයිනෙහි සර්ගේ ලිපි නිතර පළ විය. පසුව නලින් සර් විදුසරටත් ඉන්පසුව කාලය වෙබ් අඩවියටත් දිගටම ලිවීය. දැක්ම, චින්තනය, ජාතික චින්තනය, සංයුක්ත – වියුක්ත චින්තනය, සාපේක්ෂ – නිරපේක්ෂ සත්‍යය, සංශ්ලේෂණය හා විශ්ලේෂණය, ජාතිකවාදය, ද්වීකෝටිකය – චතුස්කෝටිකය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ආදිය ගැන මා දැනගන්නට පටන් ගත්තේ ඒ ලිපි කියැවීමෙනි. ලෝකයේ ඒකීය, එනම් නිරපේක්ෂ සත්‍යයක් නොමැති බවත් ඇත්තේ සාපේක්ෂ සත්‍යයන් බවත් එතුමාගේ මතය විය.

ලෝකයේ සෑම දැනුම් දහරාවක ම අලුත් දැනුමක් බිහිවන්නේ එය ‘සත්‍යය’ නිසා නොව එය ප්‍රසිද්ධ කරවීමෙන් හෝ පැරණි දැනුම ගුරුකොට ගත්තන් මිය යෑමෙනැයි එතුමා කීය. බොරුව සහ මුසාව යනු දෙකක් බවත් පන්සිල්හී ඇත්තේ මුසාවෙන් වැළකිය යුතු ය යන්න බවත් එහෙත් පැවැත්මේ දී අප බොරු කියන බවත් කොතැන කොයි මොහොතකවත් නැති ‘මම’ යන්න ද බොරුවක් බවත් එමෙන් ම ‘බටහිර විද්‍යාව’ යන්න ද ඊටත් එහාගිය බොරුවක් හෙවත් ’පට්ටපල් බොරුවක්’ බවත් එතුමා කීය. මේ වාක්‍යයයේ වචනාර්ථය පමණක් මතුපිටින් ගෙන එහි ගැඹුරු අර්ථය නොතේරුම් ගත් බොහෝමයක් කළේ ඊට තදබල ලෙස පහර ගැහීම ය. එය අසත්‍ය යි නම් බටහිර විද්‍යාවෙන් අපි වැඩ ගන්නේ කෙසේදැ යි ඔවුන් නිරන්තරයෙන් ඇසූ පිළිතුරට එතුමා දුන් පිළිතුර වූයේ එය ‘නැති මමගෙන්’, එනම් ‘පණවා ගත් මමගෙන්’ වැඩ ගන්නවා මෙන් ම බටහිර විද්‍යාවෙන් ද වැඩ ගැනීමකැයි කීය.

එහෙත් මේ පැහැදිලි කිරීම් ඔවුනට කිසිවිටක තේරුණේ නැත; තේරුම් ගත්ත ද ඊට එරෙහිවීම නතර කළේ නැත. අපගේ ම චින්තන ධාරාවක්, ජාතික චින්තනයක් ගොඩනැඟීම නලින් සර්ගේ මූලික ම අදහස වීය. එහි පදනම විය යුත්තේ බුදුදහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය බැව් සර්ගේ අදහස විය. නූතන බටහිර චින්තනයේ ආධිපත්‍යයෙන් අප මිදිය යුතු බවත් අප කළ යුත්තේ ඒවා අපට අනුගත කරගැනීම මිසක් ගෙඩිපිටින් අනුකාරකත්වයෙන් ගැනීම නොවන බවත් කීවේ ය. අප ගොඩනඟාගන්නා දේශීය චින්තනයෙන් මෙරට සිංහල ජාතියටත්, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසී ආදි සෑම ජනවර්ගයකටමත් නිවහල්, නිදහස් ස්වකීය වූ ජීවිතයක් ලැබෙන බව සර්ගේ අදහස විය.

අපේ ප්‍රවාද යන්න එහි ප්‍රතිඵලයකි. ඊට ප්‍රවේශයක් වූයේ එතුමාගේ චින්තනය ලෝකයට ප්‍රකට කරමින් පළ කළ ‘මගේ ලෝකය’ නම් කෘතිය ලිවීමෙනි. මගේ ලෝකය වනාහී එතෙක් මෙතෙක් මෙරට තමා සහ ලෝකය පිළිබඳ ව දැක්ම පදනම් ව ලියැවුණ උත්කෘෂ්ටත ම ග්‍රන්ථය වන්නේ ය. එතුමා හමුවීමට මා උසස් පෙළ හදාරන ශිෂ්‍යයකු ලෙස මුල්වරට මහරගම පිහිටි ඔහුගේ නිවසට ගියේ මගේ මිත්‍රවර පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් සමඟිනි. එදා පටන් කීපවරක් එතුමා මුණගැසුණ අතර බොහෝ වර දුරකථනයෙන් එතුමා හා සංකථනය කළේ මගේ දැක්මේ නිම්වළලු බොහෝ පුළුල් කරගනිමිනි. එහෙයින් මගේ දැක්මට නලින් සර්ගේ බොහෝ අදහස් මහත් ආලෝකයක් වීය.

මට මේ භවයෙහි හමුවුණ විශිෂ්ටතම ගුරුවරුන් කීපදෙනාගෙන් නලින් සර් ද එක් අයෙකි. වරක් එතුමා මා හා සංවාදයක යෙදෙමින් ප්‍රකාශ කළේ එතුමාට උප්පාද (ඉපදීම), භංග (බිඳීම) යන්න පිළිගත හැකි මුත්, ඨිති (පැවැතීම) යන්න පිළිගත නොහැකි බව ය. හේතුව එවිට ඊට නිරපේක්ෂ ආත්මීය බවක් ලැබෙන බවත් එය බුදුදහමෙහි අනිත්‍යතා ධර්මතාවට පටහැනි බවත් ය. මම ඒ අදහස පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන්ට යොමු කළෙමි. එහිමියෝ එතුමාණන්ගෙන් එක්වන ම ඇසුවේ එතුමාට එය සිතුණේ කෙසේ ද යන්න යි. බුදුදහමේ කාරණා එක්ක සිතන විට එසේ සිතුණා යන්න එතුමාගේ පිළිතුර විය. මෙය ඇසූ උන්වහන්සේ කීවේ ඔබතුමා නම් මහාප්‍රාඥයෙක් ම තමයි, පෙළ පොත්හි ද එය ඇත්තේ ඨිතිය ලෙස නොව ‘ඨිතස්ස අඤ්ඤ ථත්තං පඤ්ඤායති’ එනම් වෙනත් තත්ත්වලට පත්වන පැවතීමක් ඇති බව ය, එනම් ඇත්තේ පැවැතීමක් නොව නොපැවතී වෙනස් වන පැවැතීමක් බව ය යන්න යි. එවිට එය අනිත්‍ය ධර්මතාව හා සැසදෙයි. තවත් වරෙක එතුමා කීවේ ත්‍රිලක්ෂණයේ කියැවෙන තැන එන දුක්ඛ යන අර්ථයෙන් නොවන අර්ථයකින්, චතුරා© සත්‍යයෙහි එන දුක්ඛ ආ© සත්‍ය යන තැන දුක්ඛ යන්න යෙදෙන බව යි. එය ද එසේ බැව් ආචා© පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් මවෙත එවූ සටහනක පැහැදිලි කර තිබිණි.

කවර කාරණයක් ගැන හෝ එතුමා සමඟ සාකච්ඡාවක් පවත්වන සෑමවිට ම අප පුදුමයට පත් වූයේ එතුමාගේ මේ විශ්මිත විශ්ලේෂණාත්මක සහ සංශ්ලේෂණාත්මක සිතීම දැකීමෙනි. පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් ද එවන් සාකච්ඡාවල දී නිරන්තරයෙන් පැවසුවේ නලින් සර් තරම් කාරණාවක් සියුම් ව බෙදා තේරුම් ගෙන සමස්තය සමඟ එය සංගත කර ඒ දෙය තේරුම් ගැනීමේ විසල් පරිකල්පනයක සිටින වෙනත් පුද්ගලයකු හමුනොවූ බව ය. අතිශය පුළුල් වූ චින්තනයකින් සහ පරිකල්පනයකින් ද ඉතා විසල් මතක ශක්තියකින් ද හෙබි මෙබිමෙහි සිටි අග්‍රගණ්‍ය වියතුන් දෙපලක් ම මගේ දැක්මේ ගුරුවරුන් කරගන්නටත් ඔවුන්ගේ ඇසුර ලබන්නටත් මට මහත් වාසනාවක් හිමිවිය. ඉන් එක් අයෙකි නලින් ද සිල්වා වියතාණන්. මෙරටින් බිහි වූ මහා ප්‍රාඥයකු වූ අතිශය විරල ඝනයේ සුවිශිෂ්ට දාර්ශනිකයකු තම දිවිසැරිය අද නිම කර තිබේ. එවන් යුග පුරුෂයකුගේ ප්‍රඥාවෙන් මෙරටට ප්‍රමාණවත් තරම් වැඩක් ගත්තාදැයි සුපුරුදු පැනය යළිත් වරක් ඇසිය යුතු ය. නලින් ද සිල්වා ඇදුරුතුමන්ට නිවීම වේවා…!

වෛද්‍ය ලලිත් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment