ගංජා නිසා තහනම් වී ඇති කංසා

769

නිධානයක් මත නිදාගෙන හිඟාකන රටක් බවට මේ වන විට අප රට පත්ව ඇත්තේ මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයන්ගේ වැරදි සහ ඔවුනට උපදෙස් දෙන නිලධාරීන්ගේ වැරදි නිසා බව මේ වන විට අනාවරණය වී ඇත.

එලෙස සිදුකළ වරදක් ලෙස අප රට පාලනය කළ ඉංග්‍රීසින් විසින් තහනම් කළ කංසා වගාව සම්බන්ධ නීති මේ දක්වාම ක්‍රියාත්මක වේ. ඉංග්‍රීසින් විසින් කංසා වගාව තහනම් කර දුම්කොළ වගා කිරීමට ජනතාව හුරු කරනු ලැබීය. එසේ සිදුකරනු ලැබුවේ කංසාවල ඇති ඖෂධීය ගුණය සහ ශක්ති ජනක ගුණය නිසාය. දුම්කොළවල ඇත්තේ සිරුරේ ශක්තිය විනාශ කරන රසායන ද්‍රව්‍යයයි.

කංසා, ගංජා, ත්‍රෛයිලෝක පත්‍ර විජය ලෙසින් දේශීයවද Cannabis ලෙස බටහිරද මෙම ශාකය හඳුන්වනු ලබයි.

ගංජා නිසා තහනම් වී ඇති කංසා

මෙම ශාකය වියළි කලාපය ආශ්‍රීතව ඉතා බහුලව වැවේ. සෙසු කලාපවලද සාමාන්‍ය මට්ටමින් වගා කළ හැකිය. මෙම ශාකයේ මුල්, පත්‍ර, මල් ඇට ආදී සියල්ලම දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා ඉන්ධන නිපදවීම, ලණු නිපදවීම සඳහා කඩදාසි නිපදවීම සඳහා වාජීකරණ ඖෂධ නිපදවීමට, පිළිකා රෝග මර්දනයට, ඇල්සයිමර් වැනි ස්නායු රෝග පාලනයට අවශ්‍ය ඖෂධ නිපදවීමට ආහාර රසකාරක ලෙස භාවිතයට ආදී විවිධ කටයුතු සඳහා යොදාගනු ලබයි.

එවැනි ශාකයක් අප රට තුළ තහනම් කර ඇත්තේ මත්ද්‍රව්‍යයක් ලෙසය. එනිසා මෙම තහනම ඉවත් කිරීමට එරෙහිව විවිධ ආගමික සංවිධාන කිසිදු පදනමකින් තොරව නැඟී සිටිති.

දැනට ශ්‍රී ලංකාවේ කංසා වගා කළ හැක්කේ ආයුර්වේද ඖෂධ නිපදවීම සඳහා පමණි. එසේම ළඟ තබාගත හැක්කේ ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුනට පමණි.

නමුත් මේ වන විට කංසා ශාකය ලොව රටවල් 120 කට ආසන්න ප්‍රමාණයක ඖෂධයක් ලෙස සහ ආහාර රස ගන්වන පෝෂ්‍ය ගුණය සහිත ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි.

චීස්, බටර්, කේක්, බිස්කට්, චොක්ලට් ඇතුළු විවිධ ආහාර වර්ග මෙම ශාකයේ නමින් නිෂ්පාදනය කරනු ලබයි. (Cannabis Food) එවැනි ආහාර වර්ග පමණක් සහිත සුපිරි වෙළෙඳ සංකීර්ණද පවතී.

අප රට තුළ යළි කංසා වගාවට අවසර ලබාදුනහොත් එය දේශීය භාවිතයට පමණක් නොව පරිභෝජනය සඳහා වූ අපනයන භෝගයක් ලෙස භාවිතා කළ හැකිය. එසේම ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් ලෙස අපනයන කළ හැකිය. මෙමගින් අප රටට විදේශ විනිමය විශාල වශයෙන් උපයාගත හැකිය.

ඒ අනුව රට තුළ දැනට පවතින විදේශ විනිමය අර්බුදයට මෙය එක් විසඳුමක් කර ගත හැකිය. කැනඩාව, දකුණු අප්‍රිකානු රටවල්, ජර්මනිය, ඇමරිකාව වැනි රටවලට මෙම ශාකය අපනයනය කිරීමේ අවස්ථාව උදාකරගත හැකිය.

කංසා වගාව සඳහා විශේෂ පොහොර අවශ්‍ය නැත. එනිසා ඉතා පහසුවෙන් වගා කළ හැකි මෙම ශාකය අප රට තුළ තිබෙන නිධානවලින් එකක් බව මින් අප වටහාගත යුතුය. නමුත් අප රට තුළ මෙම ශාකය ගංජා ලෙස හඳුන්වමින් ගංජා නමැති මත්වන ද්‍රව්‍යයක් නිපදවන ශාකයක් වැරදි ආකල්පයක් ඇතිකර තිබේ. එනිසා දැනට මෙම ශාකය වගා කිරීම තහනම්ය. සාමාන්‍ය ජනතාවට ළඟ තබාගත නොහැකිය.

එසේ මෙම වටිනා ශාකය තහනම් කරමින් සිරුරට ඉතා අහිතකර දුම්වැටි, මත්පැන් සඳහා නීත්‍යානුකූලව අවසර ලබාදී ඇත. ඊට හේතුවී ඇත්තේ අප තවම සිටින්නේ සුද්දා ඇති කළ නීතිය හිසමත තබාගෙන කළු සුද්දන් ලෙස කටයුතු කිරීමට හුරුවී තිබීමය. එනිසා ‘සිස්ටම් චේන්ජ්’ කරනවානම් කළ යුතු එක් වෙනසක් ලෙස කංසා තහනම ඉවත් කිරීම කළ හැකිය.

සකස් කළේ –
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment