හිටපු උපකුලපතිට පහර දීම: පේරාදෙණියේ සිසුන් 14දෙනාට ඇප

129

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනා එක් අයකුට රුපියල් 15000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහනුවර මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ඊයේ (1 දා) නියෝග කළේය.

හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පවුලේ උදවියට පහර දී නිල නිවසට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ඇපමත මුදාහැරුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවාට සෑම මසකම 01 හා 03 වන ඉරුදින පෙරවරු 09.00 – 12.00 අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වාණිජ අපරාධ (03) අංශයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

මුදල් හා ශරීර ඇප මත මුදාහරින ලද සිසුන්ට තවත් කොන්දේසි රැසක් මහෙස්ත්‍රාත්වරයා විසින් පැනවූ අතර ඒවා කඩකළහොත් ඇප අවලංගු කරන බව ඔවුන්ට දැනුම් දුන්නේය. නඩුව මාර්තු මස 15 දින යළි කැඳවීමට නියමිතය.

මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ සහ අනෙක් සිසුන් 13 දෙනාට සෑම මසකම අවසන් සතියේ ඉරුදින පෙරවරු 09.00 – 12.00 ත් අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වාණිජ අපරාධ (03) අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් 14 දෙනාටම විදෙස් ගමන් තහනමක් පැනවීය.

මෙම නඩුවට අදාළව මේ වන විට සාක්ෂි ලබාදී ඇති පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හා ඉදිරියට සාක්ෂි ලබා ගැනීමට නියමිත ශිෂ්‍යයින්ට සෘජුව හෝ වක්‍රාකාරව කිසිදු බලපෑමක් නොකළ යුතු බවද මහෙස්ත්‍රාත්වරයා සැකකාර සිසුන්ට දැනුම් දුන්නේය.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment