ඔය විවාදවලට අභියෝග කරන කතා 1970 වසරේ ඉඳලා අහලා තියෙනවා

73

ඕනෑම කාන්තාවක් කියවන්නට ගියොහොත් තොරතෝංචියක් නොමැතිව කියවීම ඔවුන්ගේ සිරිතය.

බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ කතාවන්වල ගතයුතු බොහෝ දෑ ඇතත් එය කන්දොස් ක්‍රියාවක් බවට පත්කර ගැනීම නිසා පවුල් අතර අසමගිය පවා සිදුවේ. අපේ නිවසේ කුස්සියේ දී බිරිඳ කියන වදන්වලට මම ඉතා උනන්දුවෙන් සවන් දෙන්නෙමි.

ඊට හේතුව ඒ තුළින් යම්කිසි පාඩමක් ගැනීමට ඇති නිසා මෙන්ම ප්‍රශ්නයක් ඇති වුවහොත් තේ කෝප්පය පවා මට අහිමි වෙන නිසාය.

සෑම ගැහැනියක්ම කුස්සියේදී තනිවම කතා කිරීමට පුරුදු වී සිටියි. මේ අපේ කුස්සියයි. ඇගේ වදන් මට ඇසේ. මේ ගෙදර පොල් ටිකක් ගාගන්න කෙනෙක් නැහැනෙ. කොහෙද ඉතින් උදව්වට ආවොත් පොල් ටික මිරිකන්නට බැරිතරම් ගොරෝසුයි.

එදා පරිප්පු හොද්දට අමුමිරිස් ග්‍රෑම් සීයක් විතර කපා දාල තිබුණා. හදිසියේම ඇය මාතෘකාව වෙනස් කළාය. ඇය රට වෙනුවෙන් කතා කළේ ඩයි දමා තිබූ රතු කැකුළු හාල් සුදු වෙනකන් සෝදන්න පටන් ගැනීමෙනි.

“මුන්ට හෙන ගහනවා… සුදු හාල් ඩයි කරලා රතු කැකුළු කියලා විකුණනවා. අනේ හැබෑට මේ වංචාකාරයෝ අල්ලන්න කෙනෙක් නැහැනේ”

“ අර කුකුළු ෆාම් කාරයෝ පුදුම විදිහට ගණන් උස්සන්නේ. උන්ට හිතන හිතන ගණන් කුකුළුමස්වලට අය කරනවා.”

කොහෙද අපේ මනුස්සයාට කිව්වා මේ ගැන පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න කියලා. ඒ මිනිස්සු නිදි කියලා දෙපාරක්ම හැරිලා ආවා.

ඇත්ත නේන්නම් ඒ මිනිස්සු මහා රෑ නිදිමරාගෙන වැඩ කරලා දවල්ට ටිකක් නිදා ගන්නවා තමයි. ඒ මිනිස්සු ඉතා අවංකව රස්සාව කරනවා ඇති යැයි කියමින් ඇය ගෑස් ළිප දැමුවාය. ඇය මා සමග සුහද කතාබහට පැමිණියාය.

“ඔයා දන්නවාද අද ඉන්න මිනිස්සු හඟදෙනෙක් පොඩ්ඩක්වත් සිනා වෙන්නේ නැහැ. සියයට විසිපහක් විතර හිනාවෙන මිනිස්සු ඉන්නවා.” ඇය ප්‍රකාශ කළේ ඉතා වැදගත් කියමනකි. අර පොල් මාර්ටින් ඉතා අගේට හිනා වෙනවා. මිනීපෙට්ටි සාප්පුකාරයෝ නෝමන් මහත්තයා ඕනෑම උදව්වක් ඉල්ලන්න පටස් ගාලා කරලා දෙන්නම් කියලා ඒ මනුස්සයත් නිතරම සිනහවෙලා ඉන්නවා.

මතකද අර හාල් මෝල්කාරයා ඔයාට නක්කලේට වගේ සිනහ වෙලා ඔයාට අතින් නයාගේ පෙනේ පෙන්නුවා යැයි ඇය කීවාය. ඇගේ එම කතාවට මට සිනා ගියේය. ඒ මෙයා නයාගේ පෙනේ නෙවෙයි, ඒකට කියන්නේ, කොකා පෙන්නුවා කියලා මම කිව්වෙමි.

“මිනිස්සු වැඩිපුර හිනාවෙන්නේ නැත්තේ ඇයි” මම ප්‍රශ්න කළෙමි.

ඇයි අනේ අද මිනිස්සු ජීවත් වෙන්න අරගල කරනවා. ඒ තරමට ප්‍රශ්න. බඩු මුට්ටු ආහාර ගිනි ගණන්. මොන හිනාද? ඇත්ත තමයි මිනිස්සුගේ ප්‍රශ්න අති විශාලයි. ඔයාට පුළුවන් ගෝල්ෆේස් එකේ දේශපාලනය කරන ගැහැනු කෙනෙක් එක්ක හොඳ විවාදයක් කරන්න.

“ඔව් මට පුළුවන් ගැහැනියෙක් විදිහට අර 2,500ක මුදලින් පවුලක් කන්න පුළුවන් කියපු කෙනා සමග වුණත් ලොකු විවාදයක් කරන්න. හැබැයි ඔය කොයි කවුරුත් ඔය විවාද කරලා අභියෝග ගැන 1970 ගණන්වල ඉඳලා අපි අහලා තියනවා. ඒවා කතාවටයි මාධ්‍යයටයි විතරයි. ඊට පස්සේ දෙගොල්ලෝම ශබ්ද නැතිව ඉන්නවා. කිල්ලොටේ හුණු තියෙනවා. ඕවා බයිලා කතා. ඒක හින්දා ඔය විවාදය නතර කරලා අපි අපේ වැඩක් බලා ගනිමු’ යැයි ඇය පැවසුවාය.

ඇය තවත් කදිම යෝජනාවක් ඉදිරිපතක් කළාය.

“ මට යෝජනා කරනවා ඔය බොරු කියන දවස අප්‍රේල් 1 වැනිදා වෙනුවට මැයි 1 වැනිදාට යොදන්න කියලා. ඊයේ පෙරේදා මැයි 1 වැනිදා අපි අහපු කතා කොහොමද කම්කරුවා රජකරනවා කියලා. මැයි 2 වැනිදා ඉඳලා ආයෙත් කම්කරුවා වැඩ කරනවා. ඔය ජනතාව වෙනුවෙන් යුක්තිය කතා කරන උදවිය අපිව ගසාගෙන කන වෙළෙඳමාෆියාවට විරුද්ධව කතා කරනවාද? ඔය ගණන් උස්සන වෙළෙඳමාෆියාවට කවුරුත් පාඩම් උගන්වන්නේ නැහැ. ඉන්ධන මිල අඩු කළත් මුන් ශබ්ද නැහැ.

ඇත්ත වශයෙන් ඇගේ කතාව මසුරං වටී.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment